217. තාලවණ්ටදායක (තල් විජිනිපතක් දුන්) තෙරුන්ගේ අපදානය
2349. ග්‍රීෂ්මයේ උෂ්ණය නිවීම පිණිසත්, දැවිල්ල සංසිඳුවීම පිණිසත් ආදිත්‍යබන්ධු වූ තිස්ස බුදුරජාණන් වහන්සේට මම තල් විජිනිපතක් (තල්වැටක්) පිදුවෙමි.
2350. රාග ගින්න නිවමි. ඊට මත්තෙන් ද්වේෂ ගින්න ද නිවමි. මෝහ ගින්න ද නිවමි. මේ තල් විජිනිපත දීමේ ඵලයයි.
2351. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්මා සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් අනූ දෙවන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2353. මෙයින් හැට තුන් වන කපෙහි මහානාම නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2354. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් තාලවණ්ටදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලවණ්ටදායක තෙරුන්ගේ අපදානය හත්වැනියි.
218. අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2355. මම පෙර උපාධ්‍යායයන් සඳහා දළ රෙදි කඩක් ගෙන (ගියෙමි). (එකල) හී පහර බිඳී යන සේ (ජප කරන) මන්ත්‍රයක් ද ඉගෙන ගතිමි.
2356. කෙලෙස් රජස් රහිත වූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ, අග්‍ර වූ, ගණයාට උතුම් වූ තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
2357. ලොව පහළ වූ, මහාවීර වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ, නරෝත්තම වූ බුදුරජාණන් වහන්සේ මා අතුළ ඒ රෙදි කඩ මතින් පියවර තබා වැඩි සේක.
2358. ලෝකයට පහනක් වැනි වූ, නිර්මල වූ, සඳ වැනි වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. මෙයින් අනූ හතර වන කපෙහි යම් රෙදි කඩක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ රෙදි කඩ දීමේ ඵලයයි.
2360. මෙයින් තිස් හත් වන කපෙහි ජනාධිපති වූ, නමින් සුනන්ද නම් වූ, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
2361. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය අටවැනියි.
219. සප්පිදායක (ගිතෙල් දුන්) තෙරුන්ගේ අපදානය
2362. උතුම් ප්‍රාසාදයෙහි ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලදුව හුන් මම, රෝගී වූ ශ්‍රමණයකු දැක (මාගේ) නිවසට කැඳවා ගතිමි.
2363. (අසුනෙහි) වැඩ හුන්, මහාවීර වූ, දෙවියන්ටත් දෙවි වූ, නරශ්‍රේෂ්ඨ වූ, සිද්ධත්ථ මහර්ෂීන් වහන්සේට මා විසින් ගිතෙල් දෙන ලදී.
2364. පීඩාව සංසිඳුණු, ඉතා පැහැදුණු මුහුණ හා ඉඳුරන් ඇති උන්වහන්සේ දැක, ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිට ප්‍රශංසා කළෙමි.
2365. මා ඉතා පැහැදුණු සිත් ඇති බව දැක, ඍද්ධියෙහි කෙළවරට පැමිණි ධීර වූ ඒ බුදුරජාණන් වහන්සේ අහසෙහි යන හංස රාජයකු මෙන් අහසට නැඟී වැඩි සේක.
2366. මෙයින් අනූ හතර වන කපෙහි යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ගිතෙල් දීමේ ඵලයයි.
2367. මෙයින් දාහත් වන කපෙහි ජුතිදේව නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2368. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සප්පිදායක තෙරුන්ගේ අපදානය නවවැනියි.
220. පාපනිවාරිය තෙරුන්ගේ අපදානය
2369. මම පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ සක්මන් මළුව පිරිසිදු කළෙමි. සුළඟ හා අව්ව වළක්වන පරිදි එය බට දඬුවලින් වසන ලදී.
2370. පාපය දුරු කිරීම පිණිසත්, කුසල් උපදවා ගැනීම පිණිසත්, ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිසත් බුදු සසුනෙහි වීර්යය කළෙමි.
2371. මෙයින් එකොළොස් වන කපෙහි අග්ගිදේව නමින් ප්‍රසිද්ධ වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2372. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් පාපනිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාපනිවාරිය තෙරුන්ගේ අපදානය දසවැනියි.
උද්දානය:
හත්ථිදායක ද, පානධිදායක ද, සච්චසඤ්ඤක ද, එකසඤ්ඤක ද, රංසිසඤ්ඤක ද, සණ්ඨිත ද, තාලවණ්ටදායක ද, අක්කන්තසඤ්ඤක ද, සප්පිදායක ද, පාපනිවාරිය ද යන මෙහි ගාථා පනස් හතරකි.
හත්ථි වර්ගය විසිදෙවැනියි.