22. ඇතුන් පිළිබඳ වර්ගය
211. හත්ථිදායක (ඇතෙක් දුන්) තෙරුන්ගේ අපදානය
2319. තාදී ගුණ ඇති, දෙපාවුන්ට අධිපති වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට මම ඊෂා දළ ඇති උරූළ්හ (නැගීමට සුදුසු) උතුම් ඇතෙකු දිනිමි.
2320. සියලු ලෝකයාට හිත කැමති වූ (බුදුරදුන්ට) දුන් අග්‍ර දානය හේතුවෙන්, මම අනුත්තර වූ ශාන්ත පදය වන උත්තම අර්ථය අනුභව කරමි.
2321. මම මෙයින් අනූ හතර වන කපෙහි යම් ඇතෙකු දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඇතුන් දීමේ ඵලයයි.
2322. හැත්තෑ අට වන කපෙහි ‘සමන්තපාසාදික’ නම් මහත් බල ඇති සක්විති රජවරු සොළොස් දෙනෙක් වූහ.
2323. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් හත්ථිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
හත්ථිදායක තෙරුන්ගේ අපදානය පළමුවැනියි.
212. පානධිදායක (පාවහන් දුන්) තෙරුන්ගේ අපදානය
2324. වනයෙහි වසන, බොහෝ කල් තපස් රැකීමෙහි යෙදුනු, වැඩුණු ගුණ ඇති, වැඩූ සිත් ඇති ඍෂිවරයෙකුට මම පාවහන් දුනිමි.
2325. දෙපාවුන්ට අධිපති වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ කර්මයෙන් මම සියලු යානාවන් අනුභව කරමි. මේ පෙර පුණ්‍ය කර්මයේ ඵලයයි.
2326. මෙයින් අනූහතර වන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පාවහන් දීමේ ඵලයයි.
2327. මෙයින් හැත්තෑ හත වන කපෙහි ‘සුයාන’ නම් වූ මහත් බල ඇති සක්විති රජවරු අට දෙනෙක් වූහ.
2328. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පානධිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පානධිදායක තෙරුන්ගේ අපදානය දෙවැනියි.
213. සච්චසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2329. එසමයෙහි වෙස්සභූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහාජනයා නිවන් සුවයෙහි පිහිටුවමින් ආර්ය සත්‍යයන් දේශනා කරති.
2330. මම පරම කරුණාවට පත් වූවෙම්, ඒ රැස්වීමට ගියෙමි. (එහි) සිටි මම ශාස්තෲන් වහන්සේගේ ධර්මය ඇසුවෙමි.
2331. උන්වහන්සේගේ ධර්මය අසා මම දෙව්ලොවට ගියෙමි. පෙර මම එහි දෙවියන් අතර කල්ප තිහක් විසුවෙමි.
2332. මෙයින් තිස් එක් වන කපෙහි යම් සඤ්ඤාවක් (ආර්ය සත්‍යය පිළිබඳ හැඟීමක්) ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සත්‍ය සංඥාවේ ඵලයයි.
2333. මෙයින් විසි හය වන කපෙහි ‘එකඵුසිත’ නම් මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2334. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සච්චසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සච්චසඤ්ඤක තෙරුන්ගේ අපදානය තෙවැනියි.
214. එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2335. ගසක අත්තක ලැග තිබූ ශාස්තෲන් වහන්සේගේ පාංශුකූල සිවුර දැක, දෑත් එක් කොට වැඳ ඒ පාංශුකූලයට නමස්කාර කළෙමි.
2336. මෙයින් තිස් එක් වන කපෙහි යම් සංඥාවක් ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2337. මෙයින් විසිපස් වන කපෙහි ‘අමිතාභ’ නම් මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2338. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය සිව්වැනියි.