218. අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2355. පෙර මම කුසතණ හා ලී කැබලි ගෙන උපාධ්‍යායයන් වහන්සේගේ කටයුතු පිණිස ද, මන්ත්‍ර උගෙනීම පිණිස ද (වනයෙහි) හැසිරෙමි.
2356. එහිදී කෙලෙස් රජස් රහිත වූ, පූජාවන් පිළිගැනීමට සුදුසු වූ, උසභයක්හු වැනි වූ, ශ්‍රේෂ්ඨ වූ, ගණයාට උතුම් වූ තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
2357. නරෝත්තම වූ, මහාවීර වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්සේ (මම අතුළ) කුසතණ මත පෑ තබනු (දුටුවෙමි).
2358. ලෝකාලෝක වූ, නිර්මල වූ, පුන්සඳ වැනි වූ ඒ බුදුරදුන් දැක, පැහැදුණු සිතින් ශාස්තෲන් වහන්සේගේ පාදයන් වැන්දෙමි.
2359. මෙයින් අනූ හතර වන කපෙහි යම් කුසතණ මිටියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ කුසතණ දීමේ ඵලයයි.
2360. මෙයින් තිස් හත් වන කපෙහි ‘සුනන්ද’ නම් වූ මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2361. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය අටවැනියි.
219. සප්පිදායක (ගිතෙල් දුන්) තෙරුන්ගේ අපදානය
2362. උතුම් ප්‍රාසාදයේ කාන්තා සමූහයා පිරිවරා වැඩ හුන් මම, රෝගී වූ ශ්‍රමණයක්හු දැක නිවසට කැඳවා ගෙන ආවෙමි.
2363. (අසුනෙහි) වැඩ සිටි, මහාවීර වූ, දෙවිදෙව් වූ, නරශ්‍රේෂ්ඨ වූ, සිද්ධාර්ථ මහර්ෂීන් වහන්සේට මම ගිතෙල් දුනිමි.
2364. පීඩාව සංසිඳුණු බව දැක, විශේෂයෙන් පැහැදුනු මුහුණින් යුතුව ශාස්තෲන් වහන්සේගේ පාදයන් වැඳ පෙර (එම පිනේ) අනුසස් පැතුවෙමි.
2365. මා මැනවින් පැහැදුනු බව දැක, ධීර වූ බුදුරජාණන් වහන්සේ හංස රාජයකු මෙන් අහසට නැඟ වැඩි සේක.
2366. මෙයින් අනූ හතර වන කපෙහි යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ගිතෙල් දීමේ ඵලයයි.
2367. මෙයින් දාහත් වන කපෙහි ‘ජුතිදේව’ නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2368. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සප්පිදායක තෙරුන්ගේ අපදානය නවවැනියි.
220. පාපනිවාරිය තෙරුන්ගේ අපදානය
2369. මම පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ සක්මන් මළුව සුද්ධ කළෙමි. බට දඬු වලින් වටකොට සුළඟින් හා අව්වෙන් ආරක්ෂා කළෙමි.
2370. පාපය දුරු කිරීම පිණිසත්, කුසල් උපදවා ගැනීම පිණිසත්, ක්ලේශයන් ප්‍රහාණය කිරීම පිණිසත් බුදු සසුනෙහි වීර්යය කළෙමි.
2371. මෙයින් එකොළොස් වන කපෙහි ‘අග්ගිදේව’ නමින් ප්‍රසිද්ධ වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2372. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පාපනිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාපනිවාරිය තෙරුන්ගේ අපදානය දසවැනියි.
උද්දානය
හත්ථිදායක ද, පානධිදායක ද, සච්චසඤ්ඤක ද, එකසඤ්ඤක ද, රංසිසඤ්ඤක ද, සණ්ඨිත ද, තාලවණ්ටදායක ද, අක්කන්තසඤ්ඤක ද, සප්පිදායක ද, පාපනිවාරිය ද යන මෙහි ගාථා පනස් හතරකි.
විසි දෙවන හත්ථි වර්ගයයි.