216. සණ්ඨිත තෙරුන්ගේ අපදානය
2345. නිල්වන් ඵල ඇති, මනාව වැඩුණු ඇසතු බෝ රුකෙහි සිහිය පිහිටුවාගෙන එක් බුද්ධ ගත සංඥාවක් ලැබුවෙමි.
2346. මෙයින් තිස් එක් වන කපෙහි යම් සංඥාවක් ලැබුවෙම් ද, ඒ සංඥාවගේ බලයෙන් මට ආශ්රවක්ෂය (රහත් බව) පැමිණියේය.
2347. මෙයින් තෙළෙස් වන කපෙහි ‘ධනිට්ඨ’ නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2348. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සණ්ඨිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සණ්ඨිත තෙරුන්ගේ අපදානය හයවැනියි.
217. තාලවණ්ටදායක (තල් වැටක් දුන්) තෙරුන්ගේ අපදානය
2349. ග්රීෂ්මය නිවීම පිණිසත්, දාහය සංසිඳුවීම පිණිසත් ආදිත්යබන්ධු වූ තිස්ස බුදුරජාණන් වහන්සේට මම තල් වැටක් දුනිමි.
2350. (එයින්) රාග ගින්න නිවමි. ඊට මත්තෙන් ද්වේෂ ගින්න ද, මෝහ ගින්න ද නිවමි. මේ තල් වැට දීමේ ඵලයයි.
2351. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්මා සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් අනූ දෙවන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2353. මෙයින් හැට තුන් වන කපෙහි ‘මහානාම’ නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2354. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් තාලවණ්ටදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලවණ්ටදායක තෙරුන්ගේ අපදානය හත්වැනියි.
218. අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2355. පෙර මම කුසතණ හා ලී කැබලි ගෙන උපාධ්යායයන් වහන්සේගේ කටයුතු පිණිස ද, මන්ත්ර උගෙනීම පිණිස ද (වනයෙහි) හැසිරෙමි.
2356. එහිදී කෙලෙස් රජස් රහිත වූ, පූජාවන් පිළිගැනීමට සුදුසු වූ, උසභයක්හු වැනි වූ, ශ්රේෂ්ඨ වූ, ගණයාට උතුම් වූ තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
2357. නරෝත්තම වූ, මහාවීර වූ, ලෝකජ්යේෂ්ඨ වූ, නරශ්රේෂ්ඨයන් වහන්සේ (මම අතුළ) කුසතණ මත පෑ තබනු (දුටුවෙමි).
2358. ලෝකාලෝක වූ, නිර්මල වූ, පුන්සඳ වැනි වූ ඒ බුදුරදුන් දැක, පැහැදුණු සිතින් ශාස්තෲන් වහන්සේගේ පාදයන් වැන්දෙමි.
2359. මෙයින් අනූ හතර වන කපෙහි යම් කුසතණ මිටියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ කුසතණ දීමේ ඵලයයි.
2360. මෙයින් තිස් හත් වන කපෙහි ‘සුනන්ද’ නම් වූ මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2361. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය අටවැනියි.