215. රංසිසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2339. උදාවන හිරු මෙන් ද, එසේම රැස් පැතිරුණු හිරු මෙන් ද, යහපත් උපතක් ඇති උතුම් ව්‍යාඝ්‍ර රාජයකු මෙන් ද කඳු අතර වැඩ හුන් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
2340. පර්වත අතුරෙහි බුදුරදුන්ගේ ඒ ආනුභාවය බබලයි. ඒ රශ්මියෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්ගයෙහි සතුටු වූයෙමි.
2341. ඒ චිත්ත ප්‍රසාදයෙනුත්, බුද්ධානුස්සතියෙනුත් මම අවශේෂ කල්පයන්හි යහපත් කුසල් කළෙමි.
2342. මෙයින් කල්ප තිස් දහසකට පෙර යම් සංඥාවක් ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ සංඥාවේ ඵලයයි.
2343. මෙයින් පනස් හත් වන කපෙහි ජනාධිපති වූ, නමින් සුජාත නම් වූ, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
2344. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් රංසිසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රංසිසඤ්ඤක තෙරුන්ගේ අපදානය පස්වැනියි.
216. සණ්ඨිත තෙරුන්ගේ අපදානය
2345. කොළ පැහැයෙන් බබළන, මනාව වැඩුණු ඇසතු බෝ රුක කෙරෙහි සිහියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ අරබයා එක් සංඥාවක් ලැබුවෙමි.
2346. මෙයින් තිස් එක් වන කපෙහි එකල්හි යම් සංඥාවක් ලැබුවෙම් ද, ඒ සංඥාවේ බලයෙන් මම ආස්‍රවක්ෂයට (රහත් බවට) පැමිණියෙමි.
2347. මෙයින් තෙළෙස් වන කපෙහි සප්ත රත්නයෙන් යුත්, මහත් බල ඇති ධනිට්ඨ නම් ක්ෂත්‍රිය වූ සක්විති රජෙක් වීමි.
2348. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් සණ්ඨිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සණ්ඨිත තෙරුන්ගේ අපදානය හයවැනියි.
217. තාලවණ්ටදායක (තල් විජිනිපතක් දුන්) තෙරුන්ගේ අපදානය
2349. ග්‍රීෂ්මයේ උෂ්ණය නිවීම පිණිසත්, දැවිල්ල සංසිඳුවීම පිණිසත් ආදිත්‍යබන්ධු වූ තිස්ස බුදුරජාණන් වහන්සේට මම තල් විජිනිපතක් (තල්වැටක්) පිදුවෙමි.
2350. රාග ගින්න නිවමි. ඊට මත්තෙන් ද්වේෂ ගින්න ද නිවමි. මෝහ ගින්න ද නිවමි. මේ තල් විජිනිපත දීමේ ඵලයයි.
2351. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්මා සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් අනූ දෙවන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2353. මෙයින් හැට තුන් වන කපෙහි මහානාම නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2354. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් තාලවණ්ටදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තාලවණ්ටදායක තෙරුන්ගේ අපදානය හත්වැනියි.
218. අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2355. මම පෙර උපාධ්‍යායයන් සඳහා දළ රෙදි කඩක් ගෙන (ගියෙමි). (එකල) හී පහර බිඳී යන සේ (ජප කරන) මන්ත්‍රයක් ද ඉගෙන ගතිමි.
2356. කෙලෙස් රජස් රහිත වූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ, අග්‍ර වූ, ගණයාට උතුම් වූ තිස්ස බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
2357. ලොව පහළ වූ, මහාවීර වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ, නරෝත්තම වූ බුදුරජාණන් වහන්සේ මා අතුළ ඒ රෙදි කඩ මතින් පියවර තබා වැඩි සේක.
2358. ලෝකයට පහනක් වැනි වූ, නිර්මල වූ, සඳ වැනි වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. මෙයින් අනූ හතර වන කපෙහි යම් රෙදි කඩක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ රෙදි කඩ දීමේ ඵලයයි.
2360. මෙයින් තිස් හත් වන කපෙහි ජනාධිපති වූ, නමින් සුනන්ද නම් වූ, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
2361. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අක්කන්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය අටවැනියි.