214. එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2335. ගසක අත්තක ලැග තිබූ ශාස්තෲන් වහන්සේගේ පාංශුකූල සිවුර දැක, දෑත් එක් කොට වැඳ ඒ පාංශුකූලයට නමස්කාර කළෙමි.
2336. මෙයින් තිස් එක් වන කපෙහි යම් සංඥාවක් ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2337. මෙයින් විසිපස් වන කපෙහි ‘අමිතාභ’ නම් මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2338. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය සිව්වැනියි.
215. රංසිසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2339. උදාවන හිරු මෙන් ද, රැස් විහිදෙන සඳු මෙන් ද, ව්‍යාඝ්‍රර්ෂභයකු මෙන් ද පර්වත අතුරෙහි සිටි ශ්‍රේෂ්ඨ වූ සුජාත බුදුරදුන් දුටුවෙමි.
2340. පර්වත අතුරෙහි බුදුරදුන්ගේ ඒ ආනුභාවය බබලයි. ඒ රශ්මියෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්ගයෙහි සතුටු වූයෙමි.
2341. ඒ චිත්ත ප්‍රසාදයෙනුත්, බුද්ධානුස්සතියෙනුත් මම අවශේෂ කල්පයන්හි යහපත් කුසල් කළෙමි.
2342. මෙයින් කල්ප තිස් දහසකට පෙර යම් සංඥාවක් ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ සංඥාවේ ඵලයයි.
2343. පණස් හත් වන කපෙහි ‘සුජාත’ නම් වූ මහත් බල ඇති එක් සක්විති රජෙක් විය.
2344. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් රංසිසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රංසිසඤ්ඤක තෙරුන්ගේ අපදානය පස්වැනියි.
216. සණ්ඨිත තෙරුන්ගේ අපදානය
2345. නිල්වන් ඵල ඇති, මනාව වැඩුණු ඇසතු බෝ රුකෙහි සිහිය පිහිටුවාගෙන එක් බුද්ධ ගත සංඥාවක් ලැබුවෙමි.
2346. මෙයින් තිස් එක් වන කපෙහි යම් සංඥාවක් ලැබුවෙම් ද, ඒ සංඥාවගේ බලයෙන් මට ආශ්‍රවක්ෂය (රහත් බව) පැමිණියේය.
2347. මෙයින් තෙළෙස් වන කපෙහි ‘ධනිට්ඨ’ නම් වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2348. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සණ්ඨිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සණ්ඨිත තෙරුන්ගේ අපදානය හයවැනියි.