188. තිකණ්ණිපුප්ඵිය ථේරාපදානය
2197. “දෙවියෙකුවූ මම අප්සරාවන් විසින් පිරිවරන ලදුයේ, පෙර කරණ ලද කර්‍මය සිහි කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2198. “සිහින් මිදිමල් තුණක් ගෙන සිය සිත පහදවා විපස්සී බුදුජුන් කෙරෙහි පිදීමි.
2199. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2200. “මින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රමුත්තම නම් සිධි සක්විත් රජකෙනෙක් වූහ.
2201. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිකණ්ණිපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
189. එකචාරිය ථේරාපදානය
2202. “එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝෝෂාවක් විය. (කෙසේද යත්?) බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක්ම) රාග සහගතයෝ වෙමුය කියායි.
2203. “ඒ සංවේගයට පත්, ශෝක නමැති උල් ඇණුනු එම දෙවියන් අතුරෙන් මම බල සහිත බැවින් (දුර්‍වල නොවී) බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. “මවන ලද සියුම්වූ මදාරා (මල්) ගෙන පිරිනිවන් පානා වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. “එකල්හි සියළු දෙවියෝද, අප්සරාවෝද, මාගේ (පිණ) අනුමෝදන්වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.
2206. “මින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහා මල්ලජන නම් සොළොස් සක්විති රජෙක් වූහ.
2207. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකචාරියත්ථෙරස්සාපදානං නවමං.
190. තිවණ්ටිපුප්ඵිය ථේරාපදානය
2208. “ඒ සියල්ලෝ මා වෙත රැස්ව දුකින් පීඩිතවූවාහු ලතැවෙමින් සිතත්. එසේ සිතන්නාහු ඔවුන්හට දාහයද ඇතිවිය.
2209. “එකල්හි ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගේ ‘සුනන්‍ද’ නම් ශ්‍රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය.
2210. “එකල්හි යම් කෙනෙක් මාගේ සහචරයෝ වූවාහුද ඔවුහු මට මල් දුන්නාහුය. මම ඒ මල් ගෙන (එම සුනන්‍ද නම්) ශ්‍රාවකයන් වහන්සේට පිදීමි.
2211. “(ඉක්බිති) කළුරිය කළාවූ (මම) එම දෙව්ලොවෙහිම උපනිමි. මම එක් දහස් අටසියවන කපෙහිද දුගතියකට නොගියෙමි.
2212. “මින් එක් දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති රජ කෙනෙක් වූහ.
2213. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිවණ්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
කුටජ, බන්‍ධුජීවක, කොටුම්බරික, (පඤ්ච) හත්‍ථිය, ඉසිමුග්ග, බොධි, එකචින්තී, තිකණ්ණික, එකචාරී සහ තිවණ්ටි (යන මේ තෙරවරුන්ගේ) ගාථා සැටදෙකක් (මෙහි) කීර්තනය කරන ලදි.
කුටජපුප්ඵියවග්ගො එකූනවීසතිමො.