189. එකචාරිය ථේරාපදානය
2202. “එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝෝෂාවක් විය. (කෙසේද යත්?) බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක්ම) රාග සහගතයෝ වෙමුය කියායි.
2203. “ඒ සංවේගයට පත්, ශෝක නමැති උල් ඇණුනු එම දෙවියන් අතුරෙන් මම බල සහිත බැවින් (දුර්වල නොවී) බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. “මවන ලද සියුම්වූ මදාරා (මල්) ගෙන පිරිනිවන් පානා වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. “එකල්හි සියළු දෙවියෝද, අප්සරාවෝද, මාගේ (පිණ) අනුමෝදන්වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.
2206. “මින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහා මල්ලජන නම් සොළොස් සක්විති රජෙක් වූහ.
2207. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකචාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකචාරියත්ථෙරස්සාපදානං නවමං.
190. තිවණ්ටිපුප්ඵිය ථේරාපදානය
2208. “ඒ සියල්ලෝ මා වෙත රැස්ව දුකින් පීඩිතවූවාහු ලතැවෙමින් සිතත්. එසේ සිතන්නාහු ඔවුන්හට දාහයද ඇතිවිය.
2209. “එකල්හි ධම්මදස්සී බුදුරජාණන් වහන්සේගේ ‘සුනන්ද’ නම් ශ්රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය.
2210. “එකල්හි යම් කෙනෙක් මාගේ සහචරයෝ වූවාහුද ඔවුහු මට මල් දුන්නාහුය. මම ඒ මල් ගෙන (එම සුනන්ද නම්) ශ්රාවකයන් වහන්සේට පිදීමි.
2211. “(ඉක්බිති) කළුරිය කළාවූ (මම) එම දෙව්ලොවෙහිම උපනිමි. මම එක් දහස් අටසියවන කපෙහිද දුගතියකට නොගියෙමි.
2212. “මින් එක් දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති රජ කෙනෙක් වූහ.
2213. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිවණ්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
කුටජ, බන්ධුජීවක, කොටුම්බරික, (පඤ්ච) හත්ථිය, ඉසිමුග්ග, බොධි, එකචින්තී, තිකණ්ණික, එකචාරී සහ තිවණ්ටි (යන මේ තෙරවරුන්ගේ) ගාථා සැටදෙකක් (මෙහි) කීර්තනය කරන ලදි.
කුටජපුප්ඵියවග්ගො එකූනවීසතිමො.
20. තමාල පුප්ඵිය වග්ග
191. තමාලපුප්ඵිය ථේරාපදානය
2214. මට කප්රුකක් (දිව්ය වෘක්ෂයක්) වැනි විමනක් මවන ලදී. එහි ස්වර්ණමයවූ අසූහාරදහසක් ස්ථම්භයෝ (කණු) වූහ.
2215. තමලු මලක් ගෙන පැහැදි සිතින් ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්ට පිදීමි.
2216. මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2217. මින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
2218. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තමාලපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
192. තිණසන්ථරදායක ථේරාපදානය
2219. වනවැසි තවුසෙක් තෙම බුදුරජාණන් වහන්සේට තණ කපයි. ප්රදක්ෂිණාවර්තවූ (දකුණට කැරකුණු) ඒ සියල්ලෝ බිම (පොළොවෙහි) වැටුනාහුය.
2220. මම ඒ තෘණ ගෙණ බිම ඇතිරීමි. එකල්හි මම තල්පත් තුනක්ද ගෙන
2221. තෘණයෙන් සෙවෙණියක් කොට සිද්ධාර්ත්ථ බුදුරජුන්හට දුනිමි. (එය) දෙවි මිනිසුනට ශාස්තෘවූ උන්වහන්සේ සතියක් දැරුවාහුය.
2222. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් තණ (සෙවෙණියක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තණ (සෙවෙනි) දනෙහි විපාකයයි.
2223. මින් පන්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් ඵල ඇති මහධන නම් සක්විති රජකෙනෙක් වූහ.
2224. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණසන්ථරදායකත්ථෙරස්ස අපදානං දුතියං.