138. එකපසාදනිය ථේරාපදානය
1923. නාරද යනු මාගේ (කුලයෙන් ආ) නාමයයි. කෙසව යන (ගොත්‍ර නාමයෙනුදු) මා දැනගනිත්. කුසල් අකුසල් මොනවාදැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණුනෙමි.
1924. මෛත්‍රී චිත්තයෙන් යුත්, කාරුණීකවූ, පසැස් ඇති, මහාමුනිවූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.
1925. සිය සිත පහදවා, මුදුනෙහි ඇඳිලි බැඳ, ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
1926. සතළොස්වන කපෙහි වන කපෙහි මහත් බල ඇති මිහිපතිවූ අමිත්ත තාපන නම් සක්විති රජෙක් විය.
1927. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපසාදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපසාදනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
139. සාලපුප්ඵදායක ථේරාපදානය
1928. එකල්හි විශිස්ඨ ජන්ම ඇති, මහා කෙසෙුරු ඇති, සිංහ රජෙක් වීමි. ගිරි දුර්ගයක් සොයන්නේ බුදුරජාණන් වහන්සේ දුටිමි.
1929. මේ මහාවීර තෙම මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවාදෝ මම දේවාති දේවවූ නරශ්‍රේෂ්ඨයන් වෙත එළඹෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි (සිතීමි.)
1930. සල් අත්තක් බිඳ, (සල්) මලක් තමා වෙතට ගෙන ආමි. සම්බුදුන් වහන්සේ වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
1931. මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයාගේ මේ විපාකයි.
1932. මින් නවවන කපෙහි මහත් බල ඇති විරොචනා නම්වූ තුන් සක්විති රජ කෙනෙක් වූහ.
1933. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලපුප්ඵදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සාලපුප්ඵදායකත්ථෙරස්ස අපදානං නවමං.
140. පියාල ඵලදායක ථේරාපදානය
1934. එකල්හි (මම) අනුන්ගේ ජීවිතයනට අවහිර කරනු වැද්දෙක්වීමි. සිඛී බුදුරජාණන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
1935. ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන් සවස හා උදෑසනද දකිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, උන්වහන්සේට දෙය්‍ය ධර්‍මයකුදු (දියයුතු දෙයක්) මට නැත.
1936. පියල් ගෙඩියක් ගෙන, (මම) බුදුරජුන් වෙතට ගියෙමි. (ඉක්බිති (එය) පිළිගැනීම සඳහා බුදුරජුන්හට ආරාධනා කෙළෙමි.) ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් තෙමේ එය පිළිගත් සේක.
1937. මම එම චිත්ත ප්‍රසාදයෙන් යුතුව එහිම කළුරිය කෙළේ (වෙමි.)
1938. මින් එක්තිස් වන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පල දානයාගේ මේ විපාකයයි.
1939. මින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
1940. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාල ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
සොභිතවග්ගො චුද්දසමො.