14. සොභිත වග්ග
131. සොභිත ථේරාපදානය
1870. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත්වූ ජන සමූහයාට අමෘතපදය, (නිර්‍වාණය) දේශනා කරණ සේක. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ,
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙන එකඟ සිත් ඇත්තේ වීමි. (බුදු නුවණද මෙසේ පැසසීමි. කෙසේදයත්)
1872. යම්සේ මහසයුර ජලාශයනට අග්‍ර වේද, සිනෙරු පර්‍වතය පර්‍වතයනට අග්‍රවේද, එසේම යමෙක් චිත්ත (ඤාණ) වශයෙන් පවතිත් නම් ඔවුහු බුදු නුවණින් කලාවකටද නොපැමිණෙත්. (හැම නුවණකටම වඩා බුදු නුවණ අග්‍රය කියායි.)
1873. (එකල්හි) කාරුණීක ඎෂිවූ බුදුරජාණන් වහන්සේ ධර්‍මයෙහි ක්‍රමය (දහම් දෙසුම) තබා, භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
1874. “ලෝකනායක බුදුරජුන් කෙරෙහිවූ නුවණ යමෙක් (ප්‍රශංසා මුඛයෙන්) පැවසීද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයන්නේය.
1875. “එකඟව, සන්සුන්ව, කෙළෙස් දවා නම්න් සෝභිත නම්වූ ශ්‍රාවකයෙක් වන්නේය.”
1876. මින් පණස් දහස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, යසුග්ගත නම් සත් සක්විති රජ කෙනෙක් වූහ.
1877. මා විසින් කෙළස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. පමුණුවන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. බුදුසසුන කරණ ලදී.
1878. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොභිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සොභිතත්ථෙරස්ස අපදානං පඨමං.
132. සුදස්සන ථේරාපදානය
1879. චින්තා නදී තීරයෙහි පුලිල ගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නේ ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
1880. එකල්හි මම පිපුණු වැටකේ ගසක් දැක (එම මල්) නටුවෙන් කඩා ලෝකබන්ධූවූ සිඛි බුදුරජාණන් වහන්සේට පිදීමි.
1881. මහා මුනීන් වහන්ස, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ, (ඔබ) අව්‍යුත නම්වූ අමෘතපද නම් නිවණට යම් නුවණක් කරණකොටගෙන පැමිණියේ වෙහිද, එම නුවණට පුදමි.
1882. මම බුදුරජාණන් වහන්සේගේ සර්‍වඥතාඥානයට පුදා (ඉක්බිති) පළොල් ගස දුටිමි. (ඒ පූජා හේතුවෙන්) එම ප්‍රඥාව ලැබුයේ වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
1883. මින් තිස් එක්වන කපෙහි යම් මලක් පිදුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
1884. මින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, පලුග්ගත නම් දොළොස් සක්විති රජ කෙනෙක් විය.
1885. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුදස්සනත්ථෙරස්ස අපදානං දුතියං.
133. චන්දනපූජක ථේරාපදානය
1886. එකල්හි මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නේද, එසේම මල් හැඳින්නේද වෙමි.
1887. නරශ්‍රේෂඨවූ, ලෝකජ්‍යෙෂ්ඨවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේද අහසෙහි හංස රාජයෙකු මෙන් වනය කෙළවරින් නික්මුණු සේක.
1888. පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබගේ සිත මැනවින් පිරිසිදුය. ඔබ ප්‍රසන්නවූ මුඛය හා නෙත් ඇත්තේ වෙහිය. අතිශයින් ප්‍රසන්නවූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇත්තේ වෙහිය.