133. චන්දනපූජක ථේරාපදානය
1886. එකල්හි මම චන්ද්රභාගා නදී තීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නේද, එසේම මල් හැඳින්නේද වෙමි.
1887. නරශ්රේෂඨවූ, ලෝකජ්යෙෂ්ඨවූ, අත්ථදස්සී භාග්යවතුන් වහන්සේද අහසෙහි හංස රාජයෙකු මෙන් වනය කෙළවරින් නික්මුණු සේක.
1888. පුරුෂ ශ්රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබගේ සිත මැනවින් පිරිසිදුය. ඔබ ප්රසන්නවූ මුඛය හා නෙත් ඇත්තේ වෙහිය. අතිශයින් ප්රසන්නවූ මුහුණ හා ඉන්ද්රියයන් ඇත්තේ වෙහිය.
1889. (ඉක්බිති) මනා නුවණැති, මහා ප්රඥාවත් සර්වඥ තෙම අහසින් බැස, සඟල සිව්ර අතුරා, පර්ය්යඞ්කයෙන් (එරමිණිය ගොතාගෙන) වැඩ හුන් සේක.
1890. දියව ගිය සඳුන් ගෙන බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සර්වඥයන් වහන්සේට පිදීමි.
1891. ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ බුදුරජාණන් වහන්සේට අභිවාදනයකොට සතුට උපදවා උත්තර දිශාභිමුඛව ගියෙමි.
1892. එක් දහස් අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1893. මින් එක් දහස් හාරසියවන කපෙහි නම්න් රෝහිත නම්වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
1894. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්දනපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චන්දනපූජකත්ථෙරස්ස අපදානං තතියං.
අටවැනි බණවරයි.
134. පුප්ඵඡදනිය ථේරාපදානය
1895. මන්ත්රයන්හි පරතෙරට ගිය, වේද හදාරන්නාවූ, යාග කිරීමෙහි යෙදුන, නම්න් සුනන්ද නම් බමුණු තෙමේ මහා යාගයක් කෙළේය.
1896. අග්ර කාරුණීකවූ, ඎෂීවූ, පදුමුත්තර සර්වඥතෙම ජන සමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
1897. උපධි රහිත ලෝකනායකවූ සර්වඥ බුදුරජතෙම (අහසෙහි) සක්මන්කොට අප්රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්රිය පැතිරවූ සේක.
1898. මන්ත්රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙම මල් නටුවෙන් කඩා, සියළු ශිෂ්යයන් රැස්කරවා අහසෙහි දැම්මවීය.
1899. එකල්හි නගරය යම්තාක් වීනම් ඒතාක් මල් වියනක්මෙන් (අහසෙහි) විය. (එය) බුද්ධානුභාවයෙන් සතියක් මුළුල්ලෙහි (ඉවත්ව) නොගියේය.
1900. එම කුශල මූලය කරණකොටගෙන සම්පත් අනුභවකොට සියළු ආශ්රවයන් (ප්රහාණ පරිඥා වශයෙන්) දැන, ලෝකයෙහි විසත්තිකා නම්වූ කෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එක් දහස්වන කපෙහි මහත් බල ඇති ‘අම්බරංස’ නම්වූ ඒ පස් සක්විති රජ කෙනෙක් වූහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵජදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵඡදනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.