134. පුප්ඵඡදනිය ථේරාපදානය
1895. මන්ත්රයන්හි පරතෙරට ගිය, වේද හදාරන්නාවූ, යාග කිරීමෙහි යෙදුන, නම්න් සුනන්ද නම් බමුණු තෙමේ මහා යාගයක් කෙළේය.
1896. අග්ර කාරුණීකවූ, ඎෂීවූ, පදුමුත්තර සර්වඥතෙම ජන සමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
1897. උපධි රහිත ලෝකනායකවූ සර්වඥ බුදුරජතෙම (අහසෙහි) සක්මන්කොට අප්රමාණ සත්ත්වයා කෙරෙහි මෛත්රිය පැතිරවූ සේක.
1898. මන්ත්රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙම මල් නටුවෙන් කඩා, සියළු ශිෂ්යයන් රැස්කරවා අහසෙහි දැම්මවීය.
1899. එකල්හි නගරය යම්තාක් වීනම් ඒතාක් මල් වියනක්මෙන් (අහසෙහි) විය. (එය) බුද්ධානුභාවයෙන් සතියක් මුළුල්ලෙහි (ඉවත්ව) නොගියේය.
1900. එම කුශල මූලය කරණකොටගෙන සම්පත් අනුභවකොට සියළු ආශ්රවයන් (ප්රහාණ පරිඥා වශයෙන්) දැන, ලෝකයෙහි විසත්තිකා නම්වූ කෘෂ්ණාව තරණය කරණ ලදී.
1901. එක් දහස්වන කපෙහි මහත් බල ඇති ‘අම්බරංස’ නම්වූ ඒ පස් සක්විති රජ කෙනෙක් වූහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵජදනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵඡදනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
135. රහොසඤ්ඤක ථේරාපදානය
1902. හිමවතට නුදුරු වසභ නම් පර්වතයක් විය. එම පර්වත පාදයෙහි අසපුවක් මවන ලදුයේ විය.
1903. එකල්හි තුන් දහසක් බමුණු සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා (තෙමේ) විවේක ස්ථානක හුන්නේය.
1904. මන්ත්රයන්හි පරතෙරට ගිය එම බමුණුතෙමේ එකත්පසෙක හිඳ, බුද්ධ ධර්මය සොයන්නේ (මෙනෙහි කරන්නේ) බුද්ධ ඥානයෙහි සිත පැහැදවීය.
1905. ඒ මම එහි සිත පහදවාගෙන පන් ඇතිරියක හුනිමි. එහි පළක් බැඳගෙනම කළුරිය කෙළේද වෙමි.
1906. මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඥාන සංඥාවෙහි මේ විපාකයයි.
1907. සත්විසි වෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විති රජෙක් විය.
1908. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රහොසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
රහොසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
136. චම්පකපුප්ඵිය ථේරාපදානය
1909. (සුපිපි) කිණිහිරි රුකක් මෙන් කඳු අතරෙහි හුන්නාවූ ඔසධි තාරකාවක් මෙන් සියලු දිගුන් ආලෝකවත් කරණ (බුදුරජුන්) දිටීමි.
1910. ස්වකීය (බ්රාහ්මණ ධර්ම) යෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් වූහ. (ඔවුහු) පිරිකර බර ගෙන මා පසුපසින් එත්.
1911. තවුසෙකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙන (ඒ මල්) වෙස්සභූ බුදුරජුන්ගේ සර්වඥතාඥානයට පිදීමි.
1912. මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.
1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් විය.
1914. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.