116. චිතකපූජක ථේරාපදානය
1725. “ලෝක බන්ධු වූ සිඛී භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මම ඇමතියන් සහිතවූයේ පිරිවර ජනයා සමග (රාජායතනයෙහි) විසීමි.
1726. “(ඉක්බිති) පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, (ඒ) චිතකය වෙත ගියෙමි. එහි තූර්ය්ය වාදනය කරවා සුවඳ මල් ඉස්සෙමි.
1727. “මම සෑයෙහි පූජාව කොට, චිතකයද වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ස්වකීය භවනයට එළඹියෙමි.
1728. “භවනයෙහි හුන්නාවූ මම චිතක පූජාව සිහි කළෙමි. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යේෂඨයන් වහන්ස, නරශ්රේෂඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙණ
1729. “දිව්ය මනුෂ්ය දෙගතියෙහි සම්පත් අනුභවකොට, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1730. “මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
1731. “මින් එක්තිස්වන කපෙහි නම්න් උග්ගත නම්වූ මහත් බල ඇති සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1732. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
චිතකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
117. බුද්ධසඤ්ඤක ථේරාපදානය
1733. “යම් කලෙක් විපස්සී බුදුරජතෙම ආයු සංස්කාරය අත් හළේද (එකල්හි) සයුරු මෙවුල්කොට ඇති (සයුරෙන් වටවූ) පෘථිවිය කම්පාවිය.
1734. “දිගු විසල් විසිතුරු මලින් සැරසූ මාගේ භවනයද, තථාගතයන් වහන්සේගේ ආයු සංස්කාරය හරනා කල්හි කම්පනය විය.
1735. “මාගේ භවනය කම්පාවන කල්හි තැතිගැනීමද ඇතිවිය. (කෙසේද යත්?) භූත විකෘතියක්දෝ, විශාල ආලෝකයක් කුමක් නිසා ඇතිවීදෝ කියායි.
1736. “වෛශ්රවණතෙම මෙහි පැමිණ ප්රාණීන්හට බියක් නැත. ශාන්තව එකඟ සිත් ඇත්තෝ වේයයි මහජනයා සන්සිඳවීය.
1737. “යම් බුදු කෙණෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පාවීද, ඒ බුදුරජතෙම ආශ්චර්ය්යයකි. ධර්මයෝද ආශ්චර්ය්යයහ. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්ය්යයකි කියායි.
1738. “මම බුදුගුණ පවසා කපක් ස්වර්ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1739. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් සම්බුද්ධ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
1740. “මින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නම්න් සමිත නම්වූ ප්රතාපවත් රජෙක් වීමි.
1741. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං සත්තමං.
118. මග්ග සඤ්ඤක ථේරාපදානය
1742. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ වචනයෙහි හැසිරෙන ශ්රාවකයෝ මහවනයෙහි මංමුළාවූවාහු අන්ධවූවෝ මෙන් ඒ මේ අත හැසිරෙත්.
1743. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඒ මහ වෙනෙහිවූ මංමුළාවූ ශ්රාවකයන්ද සිහිකොට (සංවේගයට පත්වීමි.)
1744. “භවනයෙන් බැස එම භික්ෂූන් වෙතට පැමිණයෙමි. මම උන්වහන්සේලාට මාර්ගයද කීමි. බොජුන්ද දුනිමි.
1745. “විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, එම පුණ්ය කර්මය කරණ කොට ගෙණ උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවටද පැමිණියෙමි.
1746. “මින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නම්න් සචක්ඛු නම්වූ දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1747. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා මග්ගසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මග්ගසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.
119. පච්චුපඨාන සඤ්ඤක ථේරාපදානය
1748. “අත්ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරුව යසසට පත් මම යක්ෂ යෝනියෙහි ඉපදුනිමි. එකල්හි (මම මෙසේ සිතීමි.)
1749. “මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවි සේක්ද, එය මට අයහපත් ලැබුමක් විය, අයහපත් උදෑසනක් විය, අයහපත් හිරු උදාවක් විය, කියායි.