12. මහා පරිවාර වග්ග
111. මහා පරිවාර ථේරාපදානය
1677. “ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂඨවූ, විපස්සී නම් බුදුරජාණන් වහන්සේ එකල්හි අට සැට දහසක් භික්ෂූන් සමග බන්ධුම නගරයට පිවිසි සේක.
1678. “නුවරින් නික්ම දිවයිනෙහිවූ චෛත්ය ස්ථානයට ගියෙමි. (එහිදී) කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.
1679. අසූ දහසක් අවශේෂ යක්ෂයෝ මා සමීපයෙහි, තව්තිසා වැසි දිව්ය සමූහයා ශක්රයාට මෙන් (මට) සකසා උවටැන් කරත්.
1680. “මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්රයක්ද ගෙන බුදුරජුන්හට හිස නමා වැන්දෙමි. එම වස්ත්රද දුනිමි.
1681. “බුදුරජතෙම ආශ්චර්ය්යයකි. ධර්මයෝද ආශ්චර්ය්යයය. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්ය්යයකි. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පා විය.
1682. “ආශ්චර්ය්යවූ, ලොමු දැහැ ගන්නාවූ, එම විෂ්මය දැක, තාදී ගුණ ඇති, විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීමි.
1683. “ඒ මම සිත පහදවා ශාස්තෲන්වහන්සේට වස්ත්රය පුදා, ඇමතියන් සහිතවූ පිරිවර ජනයා සමග සරණගතද වීමි.
1684. “මින් එක්අනූවන කපෙහිවූ එකල්හි යම් පුණ්ය කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
1685. “මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සූවාහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1686. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා මහාපරිවාරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මහාපරිවාරත්ථෙරස්ස අපදානං පඨමං.
112. සුමඞ්ගල ථේරාපදානය
1687. “ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂඨවූ, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගය වෙත එළඹි සේක.
1688. “භාග්යවත් සර්වඥ තෙම (එහි) නා (පැන්) බී (ඉන්) එතරව (හඳනය පමණක්) එක සිව්ර ඇත්තේ දිශානුදිශාවන් බලමින් එහි වැඩ සිටි සේක.
1689. “(රුක්දෙවිවූ) මම භවනයෙහි හුන්නේ එකල්හි ලෝක නායකයන් වහන්සේ දුටිමි. (දැක) සතුටුවූයේ සතුටු සිතින් අත්පොලසන් දුනිමි.
1690. “සූර්ය්යයා මෙන් බළන, ස්වර්ණයක් මෙන් දිළිසෙන (බුදුරජුන් දැක) නෘත්යයෙහිද, ගීතයෙහිද, පඤ්චාංගීක තූර්ය්යයෙහිද යෙදුනාවූ මම (පූජා කෙළෙමි).
1691. “දිව්යවූ හෝ, යලි මනුෂ්යවූ හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (යසසින්) සියළු සත්ත්වයන් ඉක්මවමි. මාගේ යසස විශාලවේ.
1692. “පුරුෂ ශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. සර්වඥයන් වහන්ස, ඔබ (වහන්සේ) තමා තුටුකොට අනුනුදු තුටු කෙරෙහිය.”
1693. “මනාව්රත ඇත්තේ (මෙසේ තථාගතයන්) පිරිවරාගෙන හිඳ (උන්වහන්සේද) සතුටුකොට, මම බුදුරජාණන් වහන්සේට උවැටැන්කොට තුසිත භවනයෙහි උපදිමි.
1694. “මින් එක්දහස් සසියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති එකචින්තික නම් එකොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1695. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සුමඞ්ගලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සුමඞ්ගලත්ථෙරස්ස අපදානං දුතියං.
113. සරණගමනීය ථේරාපදානය
1696. “දිව්යරාජයන් දෙදෙනෙකුන්ගේ සංඝ්රාමයක් එළඹ සිටියේය. (පෙරමුණට පැමිණ) රැස්ව සිටියේ විය. මහත් ඝෝෂාවද පැවැත්තේය.
1697. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ, ලෝකය දත්, ශාස්තෘවූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මහජනයා සංවේගයට පත්කෙළෝය.
1698. “එකෙණෙහි සියලු දෙවිවරු සතුටුවූවාහු, බැහැර කරණ ලද යුද ඇඳුම් හා ආයුධ ඇත්තාහු, බුදුරජාණන් වහන්සේට වැඳ එකඟව සිටියාහුය.