115. සුවණ්ණපුප්ඵිය ථේරාපදානය
1716. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී භාග්‍යවත් තෙමේ ජන සමූහයාට අමෘත පදය (නිර්‍වාණ ධර්මය) දේශනා කරයි.
1717. “මම තාදී ගුණ ඇති, විපදෝත්තමවූ උන්වහන්සේගේ ධර්මය අසා රන් මල් සතරක් බුදුරජාණන් වහන්සේට පිදීමි.
1718. “එකල්හි යම්තාක් පිරිසවීද, ඒතාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්‍ධ රශ්මියද, ස්වර්ණ රශ්මියද (මිශ්‍රවී) ආලෝකය මහත්විය.
1719. “ඔදවැඩි සිත් ඇති, සොම්නස්වූ, හටගත් සතුට ඇති (මම) දොහොත් මුදුන් දී වැඳ, ප්‍රීතිය උපදවන්නාවූ ඔවුනට මෙලොව සුව ගෙන දෙන්නාවූ (බුදුරජුන් දුටිමි).
1720. “බුදුරජාණන් වහන්සේට අයැද මනාව්‍රත ඇති උන්වහන්සේට වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. “භවනයෙහි හුන් මම බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහි කෙළමි. මම එම චිත්ත ප්‍රසාදය හේතුකොට ගෙන තුසිත භවනයෙහි උපනිමි.
1722. “මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1723. “මින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1724. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සුවණ්ණපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සුවණ්ණපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
116. චිතකපූජක ථේරාපදානය
1725. “ලෝක බන්ධු වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මම ඇමතියන් සහිතවූයේ පිරිවර ජනයා සමග (රාජායතනයෙහි) විසීමි.
1726. “(ඉක්බිති) පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, (ඒ) චිතකය වෙත ගියෙමි. එහි තූර්‍ය්‍ය වාදනය කරවා සුවඳ මල් ඉස්සෙමි.
1727. “මම සෑයෙහි පූජාව කොට, චිතකයද වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ස්වකීය භවනයට එළඹියෙමි.
1728. “භවනයෙහි හුන්නාවූ මම චිතක පූජාව සිහි කළෙමි. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යේෂඨයන් වහන්ස, නරශ්‍රේෂඨයන් වහන්ස, එම කර්‍මය කරණකොටගෙණ
1729. “දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභවකොට, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1730. “මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
1731. “මින් එක්තිස්වන කපෙහි නම්න් උග්ගත නම්වූ මහත් බල ඇති සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1732. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
චිතකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
117. බුද්‍ධසඤ්ඤක ථේරාපදානය
1733. “යම් කලෙක් විපස්සී බුදුරජතෙම ආයු සංස්කාරය අත් හළේද (එකල්හි) සයුරු මෙවුල්කොට ඇති (සයුරෙන් වටවූ) පෘථිවිය කම්පාවිය.
1734. “දිගු විසල් විසිතුරු මලින් සැරසූ මාගේ භවනයද, තථාගතයන් වහන්සේගේ ආයු සංස්කාරය හරනා කල්හි කම්පනය විය.
1735. “මාගේ භවනය කම්පාවන කල්හි තැතිගැනීමද ඇතිවිය. (කෙසේද යත්?) භූත විකෘතියක්දෝ, විශාල ආලෝකයක් කුමක් නිසා ඇතිවීදෝ කියායි.
1736. “වෛශ්‍රවණතෙම මෙහි පැමිණ ප්‍රාණීන්හට බියක් නැත. ශාන්තව එකඟ සිත් ඇත්තෝ වේයයි මහජනයා සන්සිඳවීය.
1737. “යම් බුදු කෙණෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පාවීද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මයෝද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි කියායි.
1738. “මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.