114. එකාසනිය ථේරාපදානය
1707. “එකල්හි නම්න් වරුණ නම්වූ දිව්‍යරාජයෙක්ව මම සමර්ත්‍ථවූ බල වාහන සහිතව බුදුරජුන්හට උවැටැන් කෙළෙමි.
1708. “අත්‍ථදස්සී නරශ්‍රේෂ්ඨයන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙන උතුම් බෝ රුක වෙත ඩළඹියෙමි.
1709. වාදිතයෙන්ද, නෘත්‍යයෙන්ද, කුළුතාලම් ආදියෙන්ද යුක්තවූයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය ඉදිරියට එළඹියෙමි.
1710. “මම ඒ බෝධියට උවැටැන්කොට පර්‍ය්‍යඞ්කයක් බැඳගෙන (එරමිනිය ගොතාගෙන) එහි කළුරිය කෙළෙමි.
1711. “ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහිද පැහැදුණේ, එම පහන් සිතින් නිර්‍මානරතී දෙව්ලොව ඉපදුනෙමි.
1712. “හැම කල්හි තූර්‍ය්‍යයෝ සැට දහසක් මිනිසුන් අතුරෙහිද, දෙවියන් අතුරෙහිද, යන කුදු මහත් භවයෙහි ඉපිද සිටින්නාවූ මා පිරිවරත්.
1713. “මින් පන්සියවන කපෙහි සත් රුවනින් යුත් නම්න් සබාහු නම් සූතිස් රජකෙණෙක් වූහ.
1714. “මා විසින් ත්‍රිවිධාග්නීහු නිවණ ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
1715. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා එකාසනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
එකාසනියත්ථෙරස්සාපදානං චතුත්ථං.
115. සුවණ්ණපුප්ඵිය ථේරාපදානය
1716. “ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී භාග්‍යවත් තෙමේ ජන සමූහයාට අමෘත පදය (නිර්‍වාණ ධර්මය) දේශනා කරයි.
1717. “මම තාදී ගුණ ඇති, විපදෝත්තමවූ උන්වහන්සේගේ ධර්මය අසා රන් මල් සතරක් බුදුරජාණන් වහන්සේට පිදීමි.
1718. “එකල්හි යම්තාක් පිරිසවීද, ඒතාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්‍ධ රශ්මියද, ස්වර්ණ රශ්මියද (මිශ්‍රවී) ආලෝකය මහත්විය.
1719. “ඔදවැඩි සිත් ඇති, සොම්නස්වූ, හටගත් සතුට ඇති (මම) දොහොත් මුදුන් දී වැඳ, ප්‍රීතිය උපදවන්නාවූ ඔවුනට මෙලොව සුව ගෙන දෙන්නාවූ (බුදුරජුන් දුටිමි).
1720. “බුදුරජාණන් වහන්සේට අයැද මනාව්‍රත ඇති උන්වහන්සේට වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
1721. “භවනයෙහි හුන් මම බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහි කෙළමි. මම එම චිත්ත ප්‍රසාදය හේතුකොට ගෙන තුසිත භවනයෙහි උපනිමි.
1722. “මින් එක් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1723. “මින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1724. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සුවණ්ණපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සුවණ්ණපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.