9. 2. 2. 8.
උද්‍ධම්භාගීය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. කවර පසක්ද යත්?
රූප රාගය, අරූප රාගය, මානය, උද්‍ධච්චය, අවිජ්ජාය කියායි. මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පස වෙත්.
“මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 9.
චෙතොඛීල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ පස චෙතොඛිලයෝය. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, කියායි. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවෙනි චෙතොඛීලයයි.
මහණෙනි, තවද මහණ ධර්මය කෙරෙහි සැක කරයි -පෙ- සංඝයා කෙරෙහි සැක කරයි -පෙ- ශික්ෂාව කෙරෙහි සැක කරයි -පෙ- සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපුණේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුණු සිත් ඇත්තේ, සිත තද වූයේ (ඛිලජාත) වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපුණේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුණු සිත් ඇත්තේ, සිත තද වූයේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්යය (ආතප්ප) පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්යය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්යය පිණිස නොනැමේද, මේ පස්වන චේතෝඛිලයයි. මහණෙනි, මේ වනාහි චේතෝඛිල පසයි.
“මහණෙනි, මේ පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.