2. සතිපට්ඨාන වර්‍ගය
9. 2. 2. 1.
සික්ඛාදුබ්බල්‍ය සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
63. “මහණෙනි, මේ පසක් ශික්‍ෂා දුර්බල්‍යයෝය. (ශික්‍ෂාවගේ දුර්වලභාව කිරීම්හුය.) “කවර පසෙක්ද යත්? ප්‍රාණාතිපාතය, අදින්නාදානය, කාමෙසුමිච්ඡාචාරය, මුසාවාදය, සුරාමෙරයමජ්ජපමාදට්ඨානය යනුයි. මහණෙනි, මේ පසක් ශික්‍ෂා දුර්බල්‍යයෝය. (ශික්‍ෂාවගේ දුර්වලභාව කිරීම්හුය.) “මහණෙනි, මේ පඤ්ච ශික්‍ෂා දුර්බල්‍යයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච ශික්‍ෂා දුර්බල්‍යයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 2.
නීවරණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
64. “මහණෙනි, මේ නීවරණ පසක් වෙත්. කවර පසක්ද යත්?
කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන මේවාය. මහණෙනි, මේ පඤ්ච නීවරණයෝය.
මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 3.
කාමගුණ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
65. “මහණෙනි, මේ කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්?
ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, ඇසින් දත යුතුවූ රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, කනින් දැනගතයුතුවූ ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, නහයෙන් දැනගතයුතුවූ ගන්‍ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, දිවෙන් දැනගතයුතුවූ රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, කයින් දැනගතයුතුවූ ස්පර්‍ශයෝය. මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.
“මහණෙනි, මේ පස්කම් ගුණයන්ගේ හැරදැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පස්කම් ගුණයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 4.
උපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
66. “මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසක් වෙත්. කවර පසක්ද යත්?
රූපූපාදානස්කන්‍ධය, වේදනූපාදානස්කන්‍ධය, සඤ්ඤූපාදානස්කන්‍ධය, සංඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්‍ධය යන පසයි. මහණෙනි, මේ පඤ්චොපාදානස්කන්‍ධයෝය.
“මහණෙනි, මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
67. “මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. කවර පසක්ද යත්?
විචිකිච්ඡාවය, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාදය කියායි. මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.
“මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.