9. නවක නිපාතය
1. පළමු පණ්ණාසකය
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
1. සම්බොධි වර්ගය
9. 1. 1. 1.
සම්බොධිපක්ඛිය සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවූහ. භික්ෂූහු භාග්යවතුන් වහන්සේට, “පින්වතුන් වහන්සැ” යි පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ: ‘ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට කුමක් උපනිශ්රය වේදැ’ යි ඔබ විචාරන්නාහු නම් ඒ අන් තොටු පිරිවැජියන්ට කුමක් කියන්නහුද?
ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්යවත්හු මුල්කොට ඇත්තේය. භාග්යවත්හු නායකකොට ඇත්තෝය. භාග්යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්යවතුන් වහන්සේටම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්.
මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි. එසේය ස්වාමීනි යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ: ‘ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට කුමක් උපනිශ්රය වේදැ’ යි විචාරන්නහුද, මහණෙනි, ඔබ එසේ විචාරන්නාවු ඒ අන් තොටු පිරිවැජියන්ට මෙසේ ප්රකාශ කරව:
1. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ මිතුරන් යහළුවන් කොට ඇත්තේ වේද, කලණ මිතුරන් හා එක්ව වසන්නේ වේද. ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට මේ පළමුවන උපනිශ්රය වේ.
2. ඇවැත්නි, නැවතද භික්ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවරව වසයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දකින සුළුව, සිකපද සමාදන්ව වසයිද, ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට මේ දෙවන උපනිශ්රය වේ.
3. ඇවැත්නි, නැවතද භික්ෂුවක් කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන යම් කථාවක් ඇත්ද, එනම්: අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, පවිවේක කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, සමාධි කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද. ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට මේ තුන්වන උපනිශ්රය වේ.
4. ඇවැත්නි, නැවතද භික්ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, පටන්ගන්නා ලද වීර්ය්යය ඇතුව වසයිද, ධෛර්යවත් වූයේ දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොහෙළන ලද බර ඇත්තේ වෙයිද, ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට මේ සතරවන උපනිශ්රය වේ.
5. ඇවැත්නි, නැවතද භික්ෂුවක් ප්රඥාවත් වේද, උදයත්ථය (ඇතිවීම නැතිවීම) වටහාගන්නා වූ ආර්යවූ, නිර්වේධිකවූ (කෙලෙස් විනිවිදින), මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන ප්රඥාවෙන් යුක්ත වේද, ඇවැත්නි, සම්බෝධි පාක්ෂික ධර්මයන්ගේ වැඩීමට මේ පස්වන උපනිශ්රය වේ.
මහණෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, කලණ මිතුරන් හා එක්ව වසන භික්ෂුවට මෙය කැමති විය යුතුය: හෙතෙම සිල්වත් වන්නේය, පාමොක් සංවරයෙන් සංවරව වසන්නේය, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය.
මහණෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, කලණ මිතුරන් හා එක්ව වසන භික්ෂුවට මෙය කැමති විය යුතුය: හෙතෙම කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන යම් කථාවක් ඇත්ද, එනම්: අප්පිච්ඡ කථාව ...පෙ... මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන්නේ වෙයි, නිදුකින් ලැබීම ඇත්තේ වෙයි, පහසුවෙන් ලැබීම ඇත්තේ වෙයි.