9. 1. 4. 9.
ආරඤ්ඤකනාග (හෝ) ආකිඤ්ඤ විහාර සූත්රය
[සැවැත් නිදානය]
“මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතිනියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද ගොදුරු ගැනීමෙහි යෙදුණු වණයෙහි වූ ඇතෙකුගේ ඉදිරියෙන් ගොස් තණ අග්ගිස් සිඳගනිත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්යක හස්තියා පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද. මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතිනියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද ගොදුරු ගැනීමෙහි යෙදුනු වණයෙහි වූ ඇතෙකුගේ ඉදිරියෙන් ගොස් නමන ලද අතු කැබලි කත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්යක හස්තියා පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද.
“මහණෙනි, යම් සමයෙක්හි ඇත්තුද, ඇතින්නියෝද, ඇත් නාම්බෝද, ඇත් පැටවුද දිය තොටට බැස්සාවූ ආරණ්යක හස්තියාගේ ඉදිරියෙන් ගොස් සොඬවැලෙන් වතුර කළඹවත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්යක හස්ති තෙම පීඩා වෙයිද, ලජ්ජා වෙයිද, පිළිකුල් වෙයිද.
මහණෙනි, යම් සමයෙක්හි දිය තොටට බැස්සාවූ, ආරණ්යක හස්තියාගේ ඇඟෙහි ගැටෙමින් ඇතින්නියෝද යෙත්ද, මහණෙනි, ඒ කරණකොට ආරණ්යක ඇත්තෙම පීඩාවෙයිද, ලජ්ජාවෙයිද, පිළිකුල් වෙයිද.
“මහණෙනි, ඒ කාලයෙහි ආරණ්යක හස්තියාට මෙබඳු සිතක් වෙයි. (එනම්) ‘මම වනාහි දැන් ඇතුන්ගෙන්ද, ඇතිනියන්ගෙන්ද, ඇත් නාම්බන්ගෙන්ද, ඇත් පැටවුන්ගෙන්ද ආකීර්ණව වසමි. සුන්වූ අග් ඇති තණ කොළ කමි. මා විසින් කඩන ලද අතු කැබලි (ඔවුහු) කති. (මම) (ඔවුන්ගෙන්) කැළඹුණාවූ පැන් බොමි. ඇතින්නියෝ දියට බැස්සාවූ මගේ සිරුර ගැටෙමින් යති. මම හුදකළාවූයෙමි. සමූහය (රැළ) කෙරෙන් වෙන්වුයෙමි වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.
“හෙතෙම පසු කාලයක හුදකළාවූයේ, සමූහයා කෙරෙන් වෙන්වූයේ, මෙසේ නොසුන් අග් ඇති තණකොළ කයි. ඔහු විසින් නමන ලද අතු කැබලි (ඔවුහු) නොකත්. නොකැළඹුණු දිය බොයි. ඇතින්නියෝ දිය තොටට බැස්සාවූ ඔහුගේ ඇඟෙහි නොගැටෙමින් යත්ද, ඒ කාලයෙහි ආරණ්යක හස්තියාට මෙබඳු සිතක් වෙයි.
‘ඇතුන්ගෙන්ද, ඇතිනියන්ගෙන්ද, ඇත් නාම්බන්ගෙන්ද, ඇත් පැටවුන්ගෙන්ද පෙර මම වනාහි ආකීර්ණව විසූයෙමි. සුන්වූ අග් ඇති තණ කොළ කෑවෙමි. මා විසින් බිඳින ලද අතු කැබලි (ඔවුහු) කෑවාහුය. කැළඹුණාවූ පැන් බීවෙමි. ඇතින්නියෝ දියට බැසගන්නා ලද මාගේ ඇඟෙහි ගැටෙමින් ගියාහුය. “ඒ මම මේ කාලයෙහි හුදකළාවූයෙම්, ගණයා කෙරෙන් වෙන්වුයෙම්, නොසුන් අග් ඇති තණකොළ කමි. මා විසින් බිඳින බිඳින ලද අතු කැබලිති (ඔහු) නොකත්. නොකැළඹුණු පැන් බොමි. ඇතිනියෝ දියට බැස්සාවූ මගේ සිරුර ගටමින් නොයත්’ ය කියායි. ‘ඒ මට සොඬින් අතු කැබලිති කඩාගෙන, අතු කැබලිත්තෙන් සිරුර පිරිමැද, සතුටු සිත් ඇත්තේ කැසිල්ල දුරු කෙරෙත්.”
“මහණෙනි, එසේම වනාහි යම් සමයෙක්හි මහණෙක් තෙම භික්ෂූන්ගෙන්ද, භික්ෂුණීන්ගෙන්ද, උපාසකයන්ගෙන්ද, උපාසිකාවන්ගෙන්ද, රාජ රාජ මහාමාත්යයන්ගෙන්ද, තීර්ත්ථකයන්ගෙන්ද, තීර්ත්ථක ශ්රාවකයන්ගෙන්ද, ආකීර්ණව වෙසේද, මහණෙනි, ඒ කාලයෙහි භික්ෂුවට මෙසේ සිතක් වේ. ‘මම වනාහි දැන් භික්ෂූන්ගෙන්ද, භික්ෂුණීන්ගෙන්ද, උපාසකයන්ගෙන්ද, උපාසිකාවන්ගෙන්ද, රාජ රාජ මහාමාත්යයන්ගෙන්ද, තීර්ත්ථකයන්ගෙන්ද, තීර්ත්ථක ශ්රාවකයන්ගෙන්ද, ආකීර්ණව වාසය කරම්ද, මම හුදකලාවුයෙම්, සමූහයා කෙරන් වෙන්වූයෙම්, වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. හෙතෙම අරණ්යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, ගිරිගුහාය, සුසානය, වනමාර්ගය, අභ්යවකාශය, පලාලපුංජය (පිදුරුගොඩය), යන සෙනසුන් භජනය කරයි. හෙතෙම අරණ්යයකට ගියේ හෝ, වෘක්ෂමූලයකට ගියේ හෝ, ශූන්යාගාරයකට ගියේ හෝ, පලක් බැඳ, කය කෙලින් තබාගෙන, ඉදිරියෙහි සිහිය පිහිටුවාගෙන හිඳියි.