9. 1. 4. 10.
උරුවෙලකප්ප (තපුස්ස) සූත්‍රය
“මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලතනම් දනව්වෙහි, උරුවෙල්කප්ප නම් මලත රට වාසීන්නේ නියම් ගමක් වේද, (එහි) වැඩ වාසය කරන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, උරුවෙල කප්පයට පිඬු පිණිස වැඩි සේක. උරුවෙල කප්පයෙහි පිඬු පිණිස වැඩ, පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. “ආනන්‍දයෙනි, දිවා විහරණය පිණිස මම යම්තාක් කල් මහවනයට වැදගන්නෙම්ද. ඒ තාක් කල් ඔබ මෙහිම වනු මැනව” යනුයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, “ස්වාමීන් වහන්ස, එසේය” යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැඩ, එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණය කිරීම පිණිස වැඩ උන් සේක.
ඉක්බිත්තෙන් තපුස්ස ගෘහපති තෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත්වූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවු තපුස්ස ගෘහපති තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීයේය.
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයානෙනි, කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, අපි කාමභෝගීවූ ගිහියෝ වෙමු. කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, කාමභෝගීවූ ඒ අපට යම් මේ නෛෂ්ක්‍රම්‍යය, ප්‍රපාතයක් මෙන් වැටහෙයි. ස්වාමීනි, මේ ශාසනයෙහි දහරවූ (ඉතා දහර) භික්‍ෂූන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනියි, පහදියි, මේ ශාන්තයයි සිටියි, මිදෙයි, යන මේ කාරණ මා විසින් අසන ලදි. ස්වාමීනි, මහජනයා හා අසදෘශවූ යම් මේ නෛෂ්ක්‍රම්‍යයක් වේද, මේ ශාසනයෙහි ඒ මේ නෛෂ්ක්‍රම්‍යය දක්නාවූ භික්‍ෂූන්ට මෙය ශාන්තය යනුයි.”
“ගෘහපතිය, කථා මූලයක් ඇත්තේමය. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන්නෙමු. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කරන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරන්නේද, එය එසේ දරන්නෙමු” යි. “ස්වාමීනි, එසේය” යි තපුස්ස ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්නේය. ඉක්බිත්තෙන් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආනන්‍ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළෝය.
“ස්වාමීනි, තපුස්ස ගෘහපතිතෙම මෙසේ කියයි. “ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයානෙනි, කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, අපි කාමභෝගීවූ ගිහියෝ වෙමු. කාමයෙහි සිත් ඇලවීම් ඇති, කාමයෙහි ඇලුනාවූ, කාමයෙහි මුදිතවූ, කාමභෝගීවූ ඒ අපට යම් මේ නෛෂ්ක්‍රම්‍යය, ප්‍රපාතයක් මෙන් වැටහෙයි. ස්වාමීනි, මේ ශාසනයෙහි දහරවූ (ඉතා දහර) භික්‍ෂූන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනියි, පහදියි, මේ ශාන්තයයි සිටියි, මිදෙයි, යන මේ කාරණ මා විසින් අසන ලදි. ස්වාමීනි, මහජනයා හා අසදෘශවූ යම් මේ නෛෂ්ක්‍රම්‍යයක් වේද, මේ ශාසනයෙහි ඒ මේ නෛෂ්ක්‍රම්‍යය දක්නාවූ භික්‍ෂූන්ට මෙය ශාන්තය යනුයි.”
“ආනන්‍දය, ඒ කාරණය එසේය. ආනන්‍දය, ඒ කාරණය එසේය. ආනන්‍දය, චතුස්සත්‍යාවබෝධ නොකළාවූ, බෝධිසත්ත්‍වවූම මට සම්‍යක් සම්බෝධියෙන් පූර්‍වයෙහිම ‘නෛෂ්ක්‍රම්‍යය යහපත්ය. උසස්වූ විවේකය යහපත්ය’ යි මෙබඳු සිතක් විය. ආනන්‍දය, මේ ශාන්තයයි දක්නාවූ මගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නොබසියි. නොපහදියි. නොසිටියි. කෙලෙසුන්ගෙන් නොමිදෙයි. ආනන්‍දය, ඒ මට මෙබඳු සිතක් විය. ‘මා විසින් කාමයන්හි ආදීනව නොදක්නා ලද්දේය. හෙද මා විසින් බහුල වශයෙන් නොකරණ ලද්දේය. නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස නොලබන ලද්දේය. හෙද මා විසින් නොසෙවුනා ලද්දේය. එහෙයින් මෙය ශාන්තයයි නෛෂ්ක්‍රම්‍යයෙහි සිත නොබසී, නොපහදී. නොසිටී. කෙලෙසුන්ගෙන් නොමිදේ.
ආනන්‍දය, ඒ මට මේ සිතක් පහළ විය. ‘ඉදින් වනාහි මම කාමයන්හි ආදීනව දැක, එය බහුල වශයෙන් කරන්නෙම්ද, නෛෂ්ත්‍රම්‍යයෙහි ආනිසංසයට පැමිණ, එය සේවනය කරන්නෙම්ද, එනම් යම් හෙයකින් මේ ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගන්නේද, පහදින්නේද, සිටින්නේද, කෙලෙසුන්ගෙන් මිදෙන්නේද යන මේ කාරණය විද්‍යමාන වෙයි.
ආනන්‍දය, ඒ මම පසු කාලයක කාමයන්හි ආදීනවය දැක එය බහුල වශයෙන් කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසයට පැමිණ එය සේවනය කෙළෙමි. “ආනන්‍දය, එය ශාන්තයයි දක්නාවූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගනී. පහදී. පිහිටා සිටී. කෙලෙසුන්ගෙන් මිදේ.
ආනන්‍දය, ඒ මම පසු කාලයක කාමයන්ගෙන් වෙන්වම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙම්ද, ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මට කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ආනන්‍දය, යම් සේ, යම්තාක් ආබාධය පිණිසද, ඒතාක් සුවපත් වූවහුට දුකක් උපදින්නේද, එය ඒ මට ආබාධයෙක් වෙයි. එසේම ඒ මට කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඒ මට එය ආබාධයෙක් වෙයි.