4. මහා වර්‍ගය
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සූත්‍රය
[සාවත්ථිනිදානං]
මහණෙනි, අනු පිළිවෙළින් වාසය කිරීම් නවයක් වෙත්. කිනම් නවයක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද,
සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් (ක්‍රෙධ) සංඥාවන්ගේ (දුරලීමෙන්) (වෙන වෙනම ආත්ම ඇත්තේය යන සංඥාවන්) මෙනෙහි නොකිරීමෙන් (අහසෙහි කෙළවරක් නැත්තේයයි) ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමවත ඉක්ම “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතන සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමවත ඉක්මවා (සංඥාවක් නැත්තේමය, නැත්තේත් නොවේය යන) සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමවත ඉක්මවා නිරෝධ සමවතට පැමිණ වෙසේද,
මහණෙනි, මේ අනු පිළිවෙළින් වාසය කිරීම් නවය වෙති” යි වදාළ සේක.
9. 1. 4. 2.
අනුපුබ්බවිහාරසමාපත්ති සූත්‍රය
[සාවත්ථිනිදානං]
මහණෙනි, මේ අනුක්‍රමයෙන් සමවැද වාසය කිරීම් නවය දේශනා කරන්නෙමි. එය මනාකොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි. “ස්වාමීන් වහන්ස, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භිග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“යම් තැනෙක්හි කාමයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් කාමයන් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය.
(කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි කාමයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු කාමයන්ද අතශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,
“යම් තැනෙක්හි විතර්‍ක විචාරයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් විතර්‍ක විචාරයෝ අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ‘ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ විතර්‍ක විචාරයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. වීතීය ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු විතර්‍ක විචාරයෝද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි. මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,