9. 1. 3. 8.
දුගතිවෙරභය සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
ගෘහපතිය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයාගේ භය වෛර පස සංසිඳුණාහු වෙත් ද, සෝතාපත්ති අංග සතරකින් ද යුක්ත වේ ද, හෙතෙම කැමති නම් තමා විසින් ම තමා ගැන ප්‍රකාශ කරන්නේ ය: ‘මම නිරය ක්ෂය කළෙක් වෙමි, තිරිසන් යෝනිය ක්ෂය කළෙක් වෙමි, ප්‍රේත විෂය ක්ෂය කළෙක් වෙමි, අපාය දුර්ගති විනිපාත ක්ෂය කළෙක් වෙමි. මම සෝවාන් වූයේ වෙමි, අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තෙක් වෙමි, නියත වූයේ වෙමි, සම්බෝධිය පිහිට කොට ඇත්තෙක් වෙමි.’ කවර භය වෛර පසක් සංසිඳුණාහු වෙත් ද? -පෙ- මේ භය වෛර පස සංසිඳුණාහු වෙති.
“කවර නම් සතර සෝවාන් අඞ්ගයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් තෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය, පුරුෂයන් හිත්මවන උතුම් රියැදුරෙක, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ සේකැයි “එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්මය සිහි කරයි. “නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්මයෙන් සතුට ලබයි. ධර්මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි. “(හේ වනාහි) කඩ නොවූ, නොසිදුරුවූ, සබල නොවූ, කැලැල් නොවූ, නිදහස්වූ නුවණැතියන් විසින් පසස්නා ලද්දාවූ, පරාමර්ශණය නොකරන ලද්දාවූ, සමාධිය සංවත්තනිකවූ, (සමාධිය සමග පවත්නාවූ) ආර්‍ය්‍යකාන්ත සීලයෙන් යුක්තවුයේ වෙයි. මේ සතර සෝවාන් අඞ්ගයෙන් යුක්තවුයේ වේ.
“මහණෙනි, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෛරී භය පස සංසිඳුනාහු වෙත්ද, සතර සෝවාන් අඞ්ගයන්ගෙන් සමන්විත වේද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්ෂයවූ නිරය ඇත්තෙම්යයිද, ක්ෂයවූ තිරිසන් යෝනි ඇත්තෙම්යයිද, ක්ෂයවූ ප්‍රේත විෂය ඇත්තෙම්යයිද, ක්ෂයවූ අපාය දුගතියේ වැටිම ඇත්තෙම් යයිද, නිරයේ වැටෙන ස්වභාව නැති, නියතවූ සම්බෝධිය පිහිටකොට ඇති, සෝවාන්වූයේ වෙම්යයිද, තෙමේම තමා ප්‍රකාශ කරන්නේය.
9. 1. 3. 9.
ආඝාත වත්ථු සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
“මහණෙනි, මේ ආඝාත වස්තු නවයක් වෙති.
“කවර නවයක්ද? මට අනර්‍ත්‍ථය පිණිස හැසුරුනේයයි වෛරය බඳීද, මට අනර්‍ත්‍ථය පිණිස හැසිරේයයි වෛහය බඳීද, මට අනර්‍ත්‍ථය පිණිස හැසිරෙන්නේයයි වෛරය බඳීද, මට පියවූ මනාපවූවහුට අනර්‍ත්‍ථය පිණිස හැසුරුනේයයිද, අනර්‍ත්‍ථය පිණිස හැසිරේයයිද, අනර්‍ත්‍ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මට අප්‍රියවූ අමනාපවූවහුට අර්ත්ථය පිණිස හැසුරුනේයයිද, අර්ත්ථය පිණිස හැසිරේයයිද, අර්ත්ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මහණෙනි, මේ නව ආඝාත වස්තූහු වෙති.”
9. 1. 3. 10.
ආඝාත විනය සූත්‍රය
[සැවැත්නුවර නිදානයි]
“මහණෙනි, මේ නවය වෛර නැතිකිරීම් වෙති.”
“කවර නවයක්ද? ‘මට අනර්‍ත්‍ථය පිණිස හැසුරුනේය. එය මට කොතනකින් ලැබිය යුතුදැ’ යි ආඝාතය දුරු කරයි. ‘මට අනර්‍ත්‍ථය පිණිස හැසිරේයයි. එය මට කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට අනර්‍ත්‍ථය පිණිස හැසිරෙන්නේයයි. එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට ප්‍රියවූ මනාප වූවහුට අනර්‍ත්‍ථය පිණිස හැසුරුනේයයි, අනර්‍ත්‍ථය පිණිස හැසිරේයයි. අනර්‍ත්‍ථය පිණිස හැසිරෙන්නේයයි එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට අප්‍රියවූ අමනාප වූවහුට අර්ත්ථය පිණිස හැසුරුනේය, අර්ත්ථය පිණිස හැසිරේය. අර්ත්ථය පිණිස හැසිරෙන්නේයයි එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. මහණෙනි, මේ වෛරය දුරු කිරීම් නවයය.”