3. සත්තාවාස වර්‍ගය
9. 1. 3. 1.
උත්තරකුරු ධම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“කවර නම් තුණකින්ද යත්? පහව ගිය තෘෂ්ණාවෙන්ද, නොහොත් නිදුකින්ද, (මේ මගේයයි) අයිතියක් නොකිරීමෙන්ද, විශේෂවු නියත ආයුෂ විඳීමෙන්ද, යන මේ තුණෙකි. මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“කවර නම් තුනකින්ද යත්? දිව්‍යමය ආයුෂයෙන්ද, දිව්‍යමය වර්‍ණයෙන්ද, දිව්‍යමය සැපයෙන්ද යන මේ තුණෙනි. මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්.
“කවර තුනකින්ද යත්? සූරයෝය, සතිමත්හුය, මෙහි (දඹදිවෙහි) බ්‍රහ්මචරිය වාසය යන මේ තුනයි. මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්.
9. 1. 3. 2.
ඛළුඞ්කොපම සූත්‍රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, අශ්වපොතකයන් (අසු පැටවුන්) තිදෙනෙක්ද, පුරිස පොතකයන් තිදෙනෙක්ද, අසුන් අතුරෙහි යහපත් අසුන් තිදෙනෙක්ද, පුරුෂයන් අතුරෙහි යහපත් පුරුෂයන් තිදෙනෙක්ද, සොඳුරුවූ අස්සාජානීයියයන් තිදෙනෙක්ද, සොඳුරුවූ පුරුෂාජානීයයන් තිදෙනෙක්ද දේශනා කරන්නෙමි. එය මනා කොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි.
“ස්වාමීන් වහන්ස. එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“මහණෙනි, ඒ අශ්වපොතකයන් තිදෙනා කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ අශ්ව පොතකයන් තිදෙනාය.
“මහණෙනි, පුරුෂ පොතකයන් තිදෙනා කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ පුරුෂ පොතකයන් තිදෙනාය.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද?
මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි වනාහි, අභි විනයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ පසු බසියි. නොවිසඳයි. මෙය ඔහුගේ වර්‍ණයෙහියයි නොකියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන බෙහෙත් සමූහය ලබන සුළු වූයේ නොවේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නයෙහි වේයයි නොකියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න නොවෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි.