9. 1. 3. 9.
ආඝාත වත්ථු සූත්රය
[සැවැත්නුවර නිදානයි]
29. “මහණෙනි, මේ ආඝාත වස්තු නවයක් වෙති.
“කවර නවයක්ද? මට අනර්ත්ථය පිණිස හැසුරුනේයයි වෛරය බඳීද, මට අනර්ත්ථය පිණිස හැසිරේයයි වෛහය බඳීද, මට අනර්ත්ථය පිණිස හැසිරෙන්නේයයි වෛරය බඳීද, මට පියවූ මනාපවූවහුට අනර්ත්ථය පිණිස හැසුරුනේයයිද, අනර්ත්ථය පිණිස හැසිරේයයිද, අනර්ත්ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මට අප්රියවූ අමනාපවූවහුට අර්ත්ථය පිණිස හැසුරුනේයයිද, අර්ත්ථය පිණිස හැසිරේයයිද, අර්ත්ථය පිණිස හැසිරෙන්නේයයිද, වෛරය බඳීද, මහණෙනි, මේ නව ආඝාත වස්තූහු වෙති.”
9. 1. 3. 10.
ආඝාත විනය සූත්රය
[සැවැත්නුවර නිදානයි]
30. “මහණෙනි, මේ නවය වෛර නැතිකිරීම් වෙති.”
“කවර නවයක්ද? ‘මට අනර්ත්ථය පිණිස හැසුරුනේය. එය මට කොතනකින් ලැබිය යුතුදැ’ යි ආඝාතය දුරු කරයි. ‘මට අනර්ත්ථය පිණිස හැසිරේයයි. එය මට කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට අනර්ත්ථය පිණිස හැසිරෙන්නේයයි. එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට ප්රියවූ මනාප වූවහුට අනර්ත්ථය පිණිස හැසුරුනේයයි, අනර්ත්ථය පිණිස හැසිරේයයි. අනර්ත්ථය පිණිස හැසිරෙන්නේයයි එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. ‘මට අප්රියවූ අමනාප වූවහුට අර්ත්ථය පිණිස හැසුරුනේය, අර්ත්ථය පිණිස හැසිරේය. අර්ත්ථය පිණිස හැසිරෙන්නේයයි එය මෙහි කොතැනකින් ලැබිය යුතුදැ’ යි වෛරය දුරු කරයි. මහණෙනි, මේ වෛරය දුරු කිරීම් නවයය.”
9. 1. 3. 11.
අනුපුබ්බ නිරෝධ සූත්රය
[සැවැත්නුවර නිදානයි]
31. “මහණෙනි, මේ අනු පිළිවෙලින් වන නැතිවීම් නවයෙකි.
“කවර නවයක්ද? ප්රථම ධ්යානයට පැමිණියහුගේ කාම සංඥාව නැති වෙයි. වීතීයධ්යානයට පැමිණියහුගේ විතර්ක විචාරයෝ නැති වෙත්. තෘතීය ධ්යානයට පැමිණියහුගේ ප්රීතිය නැතිවේ. චතුර්ත්ථධ්යානයට පැමිණියහුගේ ආශ්වාස ප්රස්වාසයෝ නැතිවෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප හැඟීම නැතිවේ. විඤ්ඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන හැඟීම නැතිවේ. ආකිඤ්චායතනයට පැමිණියහුගේ විඤ්ඤාණඤ්චායතන හැඟීම නිරුද්ධවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චාඤ්ඤායතන හැඟීම නැතිවේ. නිරෝධ සමාපත්තියට පැමිණියහුගේ සංඥාවද වේදනාවද නැති වෙති. මහණෙනි, මේ අනු පිළිවෙලින් වන නැතිවීම් නවයෙකි.
තුනවෙනි සත්තාවාස වර්ගය නිමි.
එහි උද්දානය:
ඨාන, බලුංක, තණ්හා, සත්තපඤ්ඤා, සිලායූප, වෙර සූත්ර දෙකක් ද, ආඝාත සූත්ර දෙකක් ද, අනුපුබ්බනිරෝධය ද වේ යැයි (මේ වග්ගයේ සූත්ර දහයකි)