9. 1. 3. 7.
පඨමවෙරභය සූත්රය
[සැවැත්නුවර නිදානයි]
27. ඉක්බිති අනේපිඬු ගෘහපති තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ අනේපිඬු ගෘහපතියාට භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ගෘහපතිය, යම් හෙයකින් වනාහි ආර්ය්ය ශ්රාවකයාගේ වෛරී භය පස සංසිඳුනාහු වෙත්ද, සතර සෝවාන් අඞ්ගයන්ගෙන් සමන්විත වේද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්ෂයවූ නිරය ඇත්තෙම්යයිද, ක්ෂයවූ තිරිසන් යෝනි ඇත්තෙම්යයිද, ක්ෂයවූ ප්රේත විෂය ඇත්තෙම්යයිද, ක්ෂයවූ අපාය දුගතියේ වැටිම ඇත්තෙම් යයිද, නිරයේ වැටෙන ස්වභාව නැති, නියතවූ සම්බෝධිය පිහිටකොට ඇති, සෝවාන්වූයේ වෙම්යයිද, තෙමේම තමා ප්රකාශ කරන්නේය.
“කවර නම්වූ වෛරී භය පසක් සංදිඳුනාහු වෙත්ද?
ගෘහපතිය, පරපණ නසන සුළුවූ යමෙක් තෙම ප්රාණඝාත කිරීම හේතුකොට මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, ප්රාණඝාතයෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, පාණාතිපාතයෙන් වැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, නොදෙනලද වස්තුව ගන්නා සුළුවූ යමෙක් තෙම අදින්නාදානය හේතුකොටගෙන මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, අදින්නාදානයෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, අදින්නාදානයෙන් වැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුළුවූයේ යමෙක් තෙම කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙන මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි. පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්රව්ය පානය කිරීමේ හේතුවෙන් මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්රව්ය පානය කිරීමෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්රව්ය පානය කිරීමෙවැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි. මේ වෛරී භය පස සංසිඳුනාහු වෙති.
“කවර නම් සතර සෝවාන් අඞ්ගයෙන් යුක්ත වේද,
ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්ය්ය ශ්රාවකයෙක් තෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වේද, ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්ය, සම්යක් සම්බුද්ධය, අෂ්ටවිද්යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය, පුරුෂයන් හිත්මවන උතුම් රියැදුරෙක, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුරාර්ය්ය සත්යය අවබෝධ කළ සේකැයි
“එනම් භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්මය සිහි කරයි.