9. 1. 3. 2.
ඛළුඞ්කොපම සූත්රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, අශ්වපොතකයන් (අසු පැටවුන්) තිදෙනෙක්ද, පුරිස පොතකයන් තිදෙනෙක්ද, අසුන් අතුරෙහි යහපත් අසුන් තිදෙනෙක්ද, පුරුෂයන් අතුරෙහි යහපත් පුරුෂයන් තිදෙනෙක්ද, සොඳුරුවූ අස්සාජානීයියයන් තිදෙනෙක්ද, සොඳුරුවූ පුරුෂාජානීයයන් තිදෙනෙක්ද දේශනා කරන්නෙමි. එය මනා කොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි.
“ස්වාමීන් වහන්ස. එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“මහණෙනි, ඒ අශ්වපොතකයන් තිදෙනා කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වූයේම වේද, වර්ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ අශ්ව පොතකයන් තිදෙනාය.
“මහණෙනි, පුරුෂ පොතකයන් තිදෙනා කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වූයේම වේද, වර්ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වේද, වර්ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද,
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජව සම්පන්න වේද, වර්ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ පුරුෂ පොතකයන් තිදෙනාය.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වේද, වර්ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද?
මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්මයෙහි වනාහි, අභි විනයෙහි ප්රශ්න විචාරණ ලද්දේ පසු බසියි. නොවිසඳයි. මෙය ඔහුගේ වර්ණයෙහියයි නොකියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්රත්යය යන බෙහෙත් සමූහය ලබන සුළු වූයේ නොවේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නයෙහි වේයයි නොකියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වෙයි. වර්ණ සම්පන්න නොවෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි.