9. 1. 3. 3.
නවතණ්හාමූලක සූත්‍රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, තෘෂ්ණා මූලික ධර්ම නවය දේශනා කරන්නෙමි. එය මනා කොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි. “ස්වාමීන් වහන්ස. එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“මහණෙනි, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය කවරහුද? තෘෂ්ණාව නිසා තෘෂ්ණාවෙන් භොගයන් සෙවීම වෙයි. සෙවීම නිසා ලාභය වෙයි. ලාභය නිසා මගේ යයි විනිශ්චය වෙයි. විනිශ්චය නිසා දැඩි ආශාව වෙයි. ආශාව නිසා මමය, මාගේයයි සනිටුහන් කර ගැනීම වෙයි. සනිටුහන් කිරීම නිසා තෘෂ්ණා දෘෂ්ටියෙන් දැඩිව අල්ලාගැනීම වෙයි. දැඩිව අල්ලාගැනීම නිසා මසුරුකම වෙයි. මසුරු බව නිසා ආරක්‍ෂා කිරීමට හේතු වෙයි. අඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලහය, විරුද්‍ධවාදය (නුඹය, නුඹය) යන ප්‍රියශූන්‍ය මුසාවාද වූ නොයෙක් ලාමකවූ අකුශල ධර්‍මයෝ ලැබීම වෙත්. මහණෙනි, මේ නවය, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්මයෝය.”
9. 1. 3. 4.
නවසත්තාවාස සූත්‍රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, මොවුහු සත්ත්‍වයන් වසන තැන් නවයය. “කවර නවයක්ද?
මිනිසුන් මෙන්ද, ඇතැම් දෙවියන් මෙන්ද, ඇතැම් දුගතියෙහි උපන්නවුන් මෙන්ද, නානාත්ම කාය ඇති, නානාත්ම හා සංඥා ඇති, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ පළමුවෙනි සත්ත්‍වාවාසයයි.
මහණෙනි, කල්පයේ පළමුව පහළවූ බ්‍රහ්මකායික දෙවියන් මෙන් නානාත්ම කාය ඇති, එක සමාන සංඥා ඇති, සත්ත්‍වයෝ ඇත්තාහුය. මෙය දෙවෙනි සත්ත්‍වාවාසයයි.
මහණෙනි, ආභස්සර දෙවියන් මෙන් එක සමාන කාය ඇති, නානාත්ම සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ තුන්වෙනි සත්ත්‍වාවාසයයි.
මහණෙනි, සුභකින්නක දෙවියන් මෙන් එක සමාන කායවූ, එක සමාන සඤ්ඤාවූ, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සතරවෙනි සත්ත්‍වාවාසයයි.
මහණෙනි, අසඤ්ඤසත්ත දෙවියන් මෙන් සංඥාවක් නැත්තාවූ, විඳීමක් නැත්තාවූ, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ පස්වෙනි සත්තාවාසයයි.
මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූප හැඟීම ඉක්මවීමෙන්ද, ක්‍රොධ සිතිවිලි (දුරු කිරීමෙන්) නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් “ආකාශය අනන්තයයි” ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සයවෙනි සත්තාවාසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම විඤ්ඤාණය අනන්තයයි ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සත්වෙනි සත්තාවාසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ අටවෙනි සත්ත්‍වාවසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම සංඥාවක් නැත, සංඥාවක් නැත්තේ නොවේය, යන හැඟීම් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ නවවෙනි සත්තාවාසයයි.”
මහණෙනි, මේ වනාහි නව සත්තාවාසයෝය.
9. 1. 3. 5.
පරිඤ්ඤාපරිවිත සූත්‍රය
[සැවැත් නිදානයි]
“මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුවකගේ සිත ප්‍රඥාවෙන් මොනවට පුරුදු කරණ ලද්දේ වේද, මහණෙනි, ඒ භික්‍ෂුවට ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කරණ ලද කටයුතු කරණ ලදී. මේ ආත්ම භාවය හැර අනිකක් නොදනිමියි කීම පිණිස මෙය සුදුසුය.
“මහණෙනි, කෙසේ නම් භික්‍ෂුවකගේ සිත ප්‍රඥාවෙන් පුරුදු කරණ ලද්දේ වේද? ‘මාගේ සිත පහවූ රාග ඇත්තේය’ යි ප්‍රඥාවෙන් පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත පහවූ ද්වේෂ ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත පහවූ මෝහ ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත නොසැලෙන ස්වභාවය ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත නොකිපෙන ස්වභාව ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද,