9. 1. 3. 11.
අනුපුබ්බ නිරෝධ සූත්රය
[සැවැත්නුවර නිදානයි]
31. “මහණෙනි, මේ අනු පිළිවෙලින් වන නැතිවීම් නවයෙකි.
“කවර නවයක්ද? ප්රථම ධ්යානයට පැමිණියහුගේ කාම සංඥාව නැති වෙයි. වීතීයධ්යානයට පැමිණියහුගේ විතර්ක විචාරයෝ නැති වෙත්. තෘතීය ධ්යානයට පැමිණියහුගේ ප්රීතිය නැතිවේ. චතුර්ත්ථධ්යානයට පැමිණියහුගේ ආශ්වාස ප්රස්වාසයෝ නැතිවෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප හැඟීම නැතිවේ. විඤ්ඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන හැඟීම නැතිවේ. ආකිඤ්චායතනයට පැමිණියහුගේ විඤ්ඤාණඤ්චායතන හැඟීම නිරුද්ධවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චාඤ්ඤායතන හැඟීම නැතිවේ. නිරෝධ සමාපත්තියට පැමිණියහුගේ සංඥාවද වේදනාවද නැති වෙති. මහණෙනි, මේ අනු පිළිවෙලින් වන නැතිවීම් නවයෙකි.
තුනවෙනි සත්තාවාස වර්ගය නිමි.
එහි උද්දානය:
ඨාන, බලුංක, තණ්හා, සත්තපඤ්ඤා, සිලායූප, වෙර සූත්ර දෙකක් ද, ආඝාත සූත්ර දෙකක් ද, අනුපුබ්බනිරෝධය ද වේ යැයි (මේ වග්ගයේ සූත්ර දහයකි)
4. මහා වර්ගය
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සූත්රය
[සාවත්ථිනිදානං]
මහණෙනි, අනු පිළිවෙළින් වාසය කිරීම් නවයක් වෙත්. කිනම් නවයක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. ප්රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්යස්ථවූ) උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියවූ, චතුර්ත්ථ ධ්යානයට පැමිණ වෙසේද,
සර්වප්රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් (ක්රෙධ) සංඥාවන්ගේ (දුරලීමෙන්) (වෙන වෙනම ආත්ම ඇත්තේය යන සංඥාවන්) මෙනෙහි නොකිරීමෙන් (අහසෙහි කෙළවරක් නැත්තේයයි) ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ වෙසේද, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමවත ඉක්ම “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතන සමවතට පැමිණ වෙසේද, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමවත ඉක්මවා (සංඥාවක් නැත්තේමය, නැත්තේත් නොවේය යන) සමවතට පැමිණ වෙසේද, සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමවත ඉක්මවා නිරෝධ සමවතට පැමිණ වෙසේද,
මහණෙනි, මේ අනු පිළිවෙළින් වාසය කිරීම් නවය වෙති” යි වදාළ සේක.