9. අස්සසදස්ස සූත්‍රය
142. “මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙනෙකුත්, දැමුණු අශ්වයන් බඳු පුරුෂයන් තිදෙනෙකුත් දේශනා කරමි. එය අසව්. “මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක
“මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙන නම් කවරහුද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්ත නොවූයේ වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවුයේ වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේ වෙයි, උස මහතින් යුක්තවූයේ නොවෙයි. “මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ දැමුණු අශ්වයෝ තිදෙන වෙති.
“මහණෙනි, දැමුණු අශ්වයා බඳු පුරුෂයන් තිදෙන කවරහුද?
මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්ත නොවූයේ වෙයි. උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයාට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද, වර්‍ණයෙන් යුක්ත නොවූයේ වෙයිද, උස මහතින් යුක්ත නොවූයේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පඤ්ච ඔරංභාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහිම පිරිනිවන් පාන්නාවූ, ඒ බඹ ලොවින් ආපසු නොඑන ස්වභාවය ඇත්තාවූ ඔපපාතික අනාගාමී පුද්ගලයෙක් වේද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ පැකිලෙයිද, නොවිසඳයිද, මෙය ඔහුගේ වර්‍ණයෙන් යුක්ත නොවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නෙක් වේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. “මහණෙනි, මෙසේ වනාහි දැමුණු අශවයෙකුට බඳු පුරුෂ තෙමේ ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්‍ණයෙන් යුක්ත නොවූයේද, උස මහතින් යුක්ත නොවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද, වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, උස මහතින් යුක්ත නොවූයේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චඔරංභාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහිම පිරිනිවන් පාන්නාවූ, ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ, ඕපපාතික අනාගාමී පුද්ගලයෙක් වෙයිද, මෙය ඔහුගේ ජවයෙන් යුක්තවීම යයි කියමි. “අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද, නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්‍ණයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නෙක් වේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි දැමුණ අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්‍ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේත් වෙයිද, වර්‍ණයෙන් යුක්තවූයේත් වෙයිද, උස මහතින් යුක්තවූයේත් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චඔරංභාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහිම පිරිනිවෙන්නාවූ, ඒ ලෝකයෙන් නැවත නොඑන්නාවූ, ඕපපාතික අනාගාමී පුද්ගලයෙක් වේද, මෙය ඔහුගේ ජවයෙන් යුක්තවීම යයි කියමි. “අභිධර්‍මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද, නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්‍ණයෙන් යුක්තවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් ලබන්නේ වෙයිද, මෙය ඔහුගේ උස මහතින් යුක්තවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි දැමුණ අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේද, වර්‍ණයෙන් යුක්තවූයේද, උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, මේ වනාහි දැමුණු අශ්වයාට බඳු පුරුෂයන් තිදෙන වෙති.