(14) 4. යොධාජීව වර්ගය
1. යොධාජීව සූත්රය
[සාවත්ථි නිදානයි]
134. “මහණෙනි, අඞ්ග තුනකින් යුත් යුද්ධභට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞ්ගයක යන සංඛ්යාවට පැමිණෙයි.
කවර තුනකින්ද යත්?
මහණෙනි, මෙහි යුද්ධභට තෙමේ දුර විදින්නේ වේද, නොවරදින සේ විදින්නේ වේද, මහත් ඝන දේ විදින්නේ වේද, මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් යුද්ධ භට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞඟය යන සංඛ්යාවට පැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආහුනෙය්ය වන්නේද, පාහුණෙය්ය වන්නේද, දක්ඛිණෙය්ය වන්නේද, අඤ්ජලිකරණීය වන්නේද, ලෝකයාගේ අනුත්තර පුන්ය ක්ෂෙත්රය වන්නේද වෙයි.
කවර තුනකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුර විදින්නේ වෙයි. නොවරදිනසේ විදින්නේ වෙයි. ඝන දෙය විදින්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම දුර විදින්නේ වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්රණීතවූද, දුරවූද, සමීපවූද යම් රූපයක් ඇත්තේද, ඒ සියලු රූපය, එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්රණීතවූද, ඒ සියලු වේදනා, ඒ මාගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්රණීතවූද, ඒ සියලු සංඥා, ඒ මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද, “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්රණීතවූද, ඒ සියලු සංස්කාර, ඒ මගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද, යම් කිසි විඤ්ඤාණයක් අතීතානාගත පච්චුප්පන්න වූද ... ඒ සියලු විඤ්ඤාණය ‘එය මගේ නොවේ, එය මම නොවෙමි, එය මගේ ආත්මය නොවේ’ යයි තත්ත්වාකාරයෙන් සම්ප්රඥාවෙන් දකියි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර විදින්නෙක් වෙයි.
මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම නොවරදින සේ විදින්නෙක් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ දුකයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුකට හේතුවයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුක නැති කිරීමයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුක නැතිකිරීමේ මාර්ගයයි තත්ත්වාකාරයෙන් දකියිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොවරදින සේ විදින්නෙක් වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම මහත් දෙයක් පලායන සේ විදින්නෙක් වේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත් අවිද්යාස්කන්ධය පලන්නේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම මහත් දෙයක් පලන්නෙක් වෙයි.
මහණෙනි, මේ ධර්ම තුනෙන් සමන්විතවු මහණ තෙමේ, ආහුනෙය්ය වෙයි. පාහුනෙය්ය වෙයි. දක්ඛිනෙය්ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්යක්ෂෙත්රය වෙයි.”
2. උක්කාචිත විනීත සූත්රය
135. “මහණෙනි, මේ පිරිස් තුනෙකි.
කවර තුනක්ද යත්?
කරුණු විමසා නොහික්මවන ලද පිරිසය, කරුණු විමසා හික්මවන ලද පිරිසය, අදහස් දැන හික්මුනාවූ පිරිසය යන තුනයි.
මහණෙනි, මේ තෙපිරිස වන්නීය.”
3. දුද්දදමිත්ත සූත්රය
136. “මහණෙනි, මේ අඞඟ තුනකින් සමන්විතවූ මිත්ර තෙම සේවනය කළ යුතුය.
කවර තුනකින්ද යත්?
දීමට දුෂ්කර දෙය දෙන්නේද, කිරීමට දුෂ්කර දේ කරන්නේද, ඉවසීමට දුෂ්කර දේ ඉවසන්නේද,
මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් මිත්ර තෙම සේවනය කළ යුත්තේය.”
4. ධම්මනියාමතා සූත්රය
137. “මහණෙනි, තථාගතයන් උපන් කල හෝ නුපන් කල හෝ සියලු සංස්කාරයෝ අනිත්යය යන ධර්මස්වභාවය, ධර්මනියාමය ඇත්තේමය. “ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්රතිවේධ කරයි. අවබෝධකොට, ප්රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්යයයි ප්රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්ම ස්වභාවය, ධර්ම නියාමය ඇත්තේය. “ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්රතිවේධ කරයි. අවබෝධකොට, ප්රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ දුකයයි ප්රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්රකට කරයි.