3. තෙවන පණ්ණාසකය
(11) 1. සම්බොධි වර්ගය
3. 3. 1. 1. පුබ්බෙ සම්බොධ සූත්රය
[සැවැත් නිදානයි]
1. “මහණෙනි, චතුස්සත්යය අවබෝධ කිරීමට පළමුවම, බුදු නොවූ, බෝධිසත්ත්වවූම මාහට මෙසේ අදහස් විය. ලෝකයෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කියායි.
“ඒ මට මෙසේ අදහස්විය. ලෝකයෙහි යමක් නිසා සැපක්, සොම්නසක් උපදීද, මේ, ලෝකයෙහි ආශ්වාදයයි. “යමක් ලෝකයෙහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවය ඇත්තේද, මේ, ලෝකයෙහි ආදීනවයයි. “ලෝකයෙහි යම් ඡන්ද රාගය දුරුකිරීමක්, ඡන්ද රාගය පහකිරීමක් වේද, මේ ලෝකයෙහි නිස්සරණයයි.
“මහණෙනි, මම, යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් නොදන්නෙම්ද, “මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්රතිඥා නොකෙළෙමි.
යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් අවබෝධ කෙළෙම්ද, මොනවට දැනගත්තෙම්ද, “මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි “ප්රතිඥා කෙළෙමි.
“දැන් උත්පත්තියක් නැතැයි යන ප්රත්යවෙක්ෂා ඥානය පහළවිය. මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක. මේ මාගේ අන්තිම ජාතියයි.
3. 3. 1. 2. අස්සාද පරියෙසන සූත්රය
2. “මහණෙනි, මම ලෝකයාගේ ආශ්වාදය සොයනු පිණිස හැසුරුණෙමි. ලෝකයෙහි යමක් ආශ්වාදය නම් එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම්තාක් ආශ්වාදය වේද, එය මා විසින් ප්රඥාවෙන් මනාකොට දක්නා ලදී. “මහණෙනි, මම ලෝකයාගේ ආදීනව සෙවීමෙහි හැසුරුණෙමි. යමක් ලෝකයෙහි ආදීනව නම් එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම්තාක් ආදීනව වේ නම්, එය මා විසින් ප්රඥාවෙන් මොනවට දක්නා ලදී. “මහණෙනි, මම ලෝකයාගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුණෙමි. ලෝකයෙහි යමක් නිස්රණය නම් එය අවබෝධ කෙළෙමි. ලෝකයෙහි යම්තාක් නිස්සරණය වේද, එය මා විසින් ප්රඥාවෙන් මනාව දක්නා ලදී.
“මහණෙනි, මම, යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් නොදන්නෙම්ද, “මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්රතිඥා නොකෙළෙමි.
යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් අවබෝධ කෙළෙම්ද, මොනවට දැනගත්තෙම්ද, “මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි “ප්රතිඥා කෙළෙමි.
“දැන් උත්පත්තියක් නැතැයි යන ප්රත්යවෙක්ෂා ඥානය පහළවිය. මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක. මේ මාගේ අන්තිම ජාතියයි.
3. 3. 1. 3. දුතියඅස්සාද සූත්රය
3. මහණෙනි, ලෝකයෙහි ඉදින් ආශ්වාදයක් නැත්තේ නම් මේ සත්ත්වයෝ ලෝකයෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ලෝකයෙහි ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ලෝකයෙහි ඇලෙත්.
මහණෙනි, මේ ලෝකයෙහි ඉදින් ආදීනවයක් නැත්තේ නම් මේ සත්ත්වයෝ ලෝකයෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම්හෙයකින් වනාහි ලෝකයෙහි ආදිනවය ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ලෝකයෙහි කලකිරෙත්.
මහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයක් නැත්තේ නම් සත්ත්වයෝ ලෝකයෙන් නොනික්මෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ලෝකයෙහි නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ලෝකයෙන් නික්මෙත්.
මහණෙනි, සත්ත්වයෝ යම්තාක් කල් ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්වාකාරයෙන් නොදැන ගත්තාහුද, මහණෙනි, ඒ තාක් කල් “දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, සත්ත්වයෝ ශ්රමණ බ්රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ “ප්රජාව කෙරෙන් නික්මී, නොබැඳී, මිදී, සීමා කළ සිතින් වාසය නොකළාහුය.
“මහණෙනි, යම් කලෙක පටන් සත්ත්වයෝ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්. නිස්සරණය, නිස්සරණය වශයෙනුත් තත්ත්වාකාරයෙන් දැනගත්තාහුද, එකල්හි සත්ත්වයෝ “දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ ලෝකයෙන් ශ්රමණ බ්රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ “ප්රජාව කෙරෙන් නික්මී, නොයෙදී, මිදී, සීමා කරන ලද සිතින් වාසය කරත්.
3. 3. 1. 4. සමණබ්රාහ්මණ සූත්රය
4. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ලෝකයෙහි ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්ත්වාකාරයෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණයයි සම්මත වූවාහු හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණයයි සම්මත වූවාහු හෝ නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රමණ අර්ථය හෝ බ්රාහ්මණ අර්ථය හෝ මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය නොකරත්.