10. භද්දාජානීය සූත්‍රය
40. මහණෙනි, භද්‍ර අශ්වාජානේයයන් තිදෙනෙකුත්, භද්‍ර පුරුෂාජානේයයන් තිදෙනෙකුත් දේශනා කරන්නෙමි. එය අසව් -පෙ-
මහණෙනි, භද්‍ර අශ්වාජානේයයන් තිදෙන කවරහුද?
මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානේයයෙක් ජවයෙන් යුක්ත වෙයි, (-පෙ- ආරෝහපරිණාහයෙන් (උස මහත් බවින්) යුක්ත නොවෙයි -පෙ- මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානේයයෙක් ජවයෙන් යුක්තත් වෙයි,) වර්ණයෙන් යුක්තත් වෙයි, ආරෝහපරිණාහයෙන් යුක්තත් වෙයි. මහණෙනි, මේ වනාහි භද්‍ර අශ්වාජානේයයෝ තිදෙනා යි.
මහණෙනි, භද්‍ර පුරුෂාජානේයයන් තිදෙන කවරහු ද? (-පෙ-)
මහණෙනි, මෙලොව භද්‍ර පුරුෂාජානේයයා ජවයෙන් යුක්තත් වෙයි, වර්ණයෙන් යුක්තත් වෙයි, ආරෝහපරිණාහයෙන් යුක්තත් වෙයි. (-පෙ-)
මහණෙනි, කෙසේ නම් භද්‍ර පුරුෂාජානේය තෙම ජවයෙන් යුක්තවූයේත් වර්ණයෙන් යුක්තවූයේත් ආරෝහපරිණාහයෙන් යුක්තවූයේත් වෙයිද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මේ ආත්මයෙහිම තෙමේම විශිෂ්ට නුවණින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කරයි. මෙය ඔහුගේ ජවය (ඥාන ජවය) යයි කියමි. අභිධර්මයෙහි හා අභිවිනයෙහි ප්‍රශ්න අසනු ලැබූ කල ඒවා විසඳයි, නොපැකිළෙයි. මෙය ඔහුගේ වර්ණය (ගුණ වර්ණය) යයි කියමි. සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. මෙය ඔහුගේ ආරෝහපරිණාහය (උස මහත් බව) යයි කියමි. මහණෙනි, මෙසේ භද්‍ර පුරුෂාජානේයයා ජවයෙන් යුක්තත් වෙයි, වර්ණයෙන් යුක්තත් වෙයි, ආරෝහපරිණාහයෙන් යුක්තත් වෙයි.
මහණෙනි, මේ වනාහි තිදෙනා වූ භද්‍ර පුරුෂාජානේයයෝයි.
11. පඨමමොරනිවාපසුත්තං
41. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි,’ යි ආමන්ත්‍රණය කළ සේක. භික්ෂූහු, “ස්වාමීනි,” යි පිළිතුරු දුන්නෝය.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්ම තුනකින්ද?
“අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන්ද, අශෛක්ෂවූ සමාධිස්කන්ධයෙන්ද අශෛක්ෂවූ ප්රඥාස්කන්ධයෙන්ද වෙයි.
මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙම ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
12. මොරනිවාප සූත්‍රය
42. මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ඨාවට පැමිණියේ, ඒකාන්තයෙන් යෝගයන්ගෙන් නිදහස් වූයේ (යෝගක්ෂේමී), ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී වූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්ම තුනකින්ද?
“ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, ආදේසනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනා ප්රතිහාර්ය්යයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂු තෙමේ ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කෙළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
13. තතියමොරනිවාපසුත්තං
43. මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ඨාවට පැමිණියේ, ඒකාන්තයෙන් යෝගයන්ගෙන් නිදහස් වූයේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී වූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්ම තුනකින්ද?
සම්‍යක් දෘෂ්ටියෙන්, සම්‍යක් ඥානයෙන්, සම්‍යක් විමුක්තියෙන් ය.
මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ඨාවට පැමිණියේ, ඒකාන්තයෙන් යෝගයන්ගෙන් නිදහස් වූයේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී වූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
දසසතරවැනි යොධාජීව වර්ගය නිමි.
[5. මංගල වර්ගය]
1. අකුසල කම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
44. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
අකුසලවූ කාය කර්මයෙන්ද, අකුසලවූ වාක් කර්මයෙන්ද, අකුසලවූ මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
කුසල කාය කර්මයෙන්ද, කුසල වාක් කර්මයෙන්ද, කුසල මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”