7. කම්මන්ත සූත්රය
17. මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද? කර්මාන්ත විපත්තියද, ආජීව විපත්තියද, දෘෂ්ටි විපත්තියද වෙත්.
මහණෙනි, කර්මාන්ත විපත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයිද, බොරු කියන්නේ වෙයිද, කේලාම් කියන්නේ වෙයිද, ඵරුස වචන කියන්නේ වෙයිද, ප්රලාප කියන්නේ වෙයිද, මහණෙනි, මේ කර්මාන්ත විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, ආජීව විපත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් මිථ්යාජීවය ඇත්තේ වෙයිද, මිථ්යා ජීවිකාවෙන් ජීවිකාව කරයිද, මහණෙනි, මේ ආජීව විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, දිට්ඨි විපත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, විපරීත දැකුම් ඇත්තේ වෙයිද, දීමෙහි පලක් නැත, මහා දානයෙහි පලක් නැත, පිදීමෙහි පලක් නැත, කරනලද හොඳ නරක කර්මයන්ගේ පල විපාක නැත. මෙලොවක් නැත, පරලොවක් නැත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත. මැරී නැවත උපදින්නාවූ සත්ත්වයෝ නැත. ලෝකයෙහි යහපත් මග ගියාවූ, මනාව පිළිපදින්නාවූ, මෙලොවත් පරලොවත් තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට යම් මහණ බමුණු කෙනෙක් ප්රකාශ කෙරෙද්ද, එවැනි මහණ බමුණෝ ලෝකයෙහි නැත. යන දෘෂ්ටි ඇත්තේ වෙයිද, මහණෙනි, මේ දිට්ඨි විපත්තියයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහි තුන් විපත්තීහු වෙති.
මහණෙනි, මේ සම්පත්ති තුනෙකි. කවර තුනෙක්ද? කර්මාන්ක සම්පත්තියද, ආජීව සම්පත්තියද, දිට්ඨි සම්පත්තියද වෙත්.
මහණෙනි, කර්මාන්ත සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වේද, සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේද, බොරු කීමෙන් වැළකුණේ වේද, කේලාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වේද, ප්රලාප කීමෙන් වැළකුණේ වේද, මහණෙනි, මේ කර්මාන්ත සම්පත්තියයි කියනු ලැබේ.
මහණෙනි, ආජීව සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් යහපත් ආජීවය ඇත්තේ වෙයිද, යහපත් ආජීවයෙන් ජීවිකාව කරන්නේ වෙයිද, මහණෙනි, මේ ආජීව සම්පත්තියයි කියනු ලැබේ.
මහණෙනි, දිට්ඨි සම්පත්තිය නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් දෙයෙහි විපාක ඇත, මහා දානයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, කරන ලද හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත. මැරී නැවත උපදින්නාවූ සත්ත්වයෝ ඇත. යම් කෙනෙක්, මෙලොවද පරලොවද තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ප්රකාශ කරද්ද, යහපත් මාර්ගයෙහි ගමන් කළාවූ, මනාව පිළිපන්නාවූ, එවැනි ශ්රමණ බ්රාහ්මණයෝ ලෝකයෙහි ඇතැයි ගත් සම්යක් දෘෂ්ටි ඇත්තෝ වෙයිද, විපරීත නොවූ දෘෂ්ටි ඇත්තෝ වෙයිද, මහණෙනි, මෙය දිට්ඨි සම්පත්තියයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහි සම්පත් තුන වෙත්.
8. සොචෙය්ය සූත්රය
18. මහණෙනි, මේ පිරිසිදු බැව් තුනක් වෙත්. කවර තුනක්ද? කයේ පිරිසිදු බවද, වචනයේ පිරිසිදු බවද, සිතේ පිරිසිදු බවද වෙත්.
මහණෙනි, කයේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ කයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, වචනයේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් බොරු කීමෙන් වැළකුණේ වෙයිද, කේළාම් කීමෙන් වැළකුණේ වෙයිද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, ප්රලාප කීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ වචනයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, සිතේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අභිද්යාව බහුලකොට නැත්තෙක් වේද, ව්යාපාද සිත් නැත්තෙක් වේද, සම්යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයිද, මහණෙනි, මේ සිතේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, මේ පිරිසිදු බැව් තුන වෙති.