[2. ආපායික වර්‍ගය]
3. 2. 2. 1. ආපායික සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
11. මහණෙනි, මේ ධර්‍ම තුනක් අත් නොහැර අපායෙහි උපදින්නාවූ, නිරයෙහි උපදින්නාවූ මේ සත්ත්‍වයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද?
බ්‍රහ්මචාරී බව ප්‍රතිඥා කරන්නාවූ යම් අබ්‍රහ්මචාරී පුද්ගලයෙක් වේද, යමෙක් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නහුට අමූලික අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් අපහාස කරයිද, යමෙක් කාමයෙහි දෝෂයක් නැතැයි මෙසේ කියනසුලු, මෙසේ දෘෂ්ටි ඇත්තෙක්ව කාමයන්හි සේවනය කළයුතු බවට පැමිණෙයිද,
මහණෙනි, මේ කරුණු තුන දුරු නොකොට අපායෙහි උපදින්නාවූ, නිරයෙහි උපදින්නාවූ මොහු තුන් දෙන වෙත්.”
3. 3. 2. 2. දුල්ලභ පාතුභාව සූත්‍රය
12. මහණෙනි, ලෝකයෙහි තිදෙනෙකුන්ගේ පහළවීම දුර්ලභ වන්නේය. කවර තිදෙනෙකුන්ගේද යත්?
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභය. තථාගතයන් විසින් අවබෝධ කරන ලද ධර්‍මවිනය දේශනා කරන පුද්ගල තෙමේ ලෝකයෙහි දුර්ලභය. කළගුණ දන්නාවූ, කළගුණ සලකන්නාවූ පුද්ගල තෙමේ ලෝකයෙහි දුර්ලභය.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් තිදෙනාගේ පහළවීම දුර්ලභය.”
3. 3. 2. 3. අප්පමෙය්‍ය සූත්‍රය
13. මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්? පහසුවෙන් මැනිය හැකි පුද්ගලයාද, මැනීමට දුෂ්කර පුද්ගලයාද, නොමැනිය හැකි පුද්ගලයාද වෙත්.
මහණෙනි, පහසුවෙන් මැනිය හැකි පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්‍ෂිප්ත වූයේ, උඩඟු වූයේ, චපල වූයේ, මුඛර වූයේ, අසංවර වචන ඇත්තේ, තැන්පත් සිතක් නැත්තේ, කලබලවූ සිත් ඇත්තේ, නොවැසූ ඉන්‍ද්‍රියයන් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙතෙම වනාහි පහසුවෙන් මැනියහැකි පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, මැනීමට දුෂ්කර පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වික්‍ෂිප්ත නොවූයේ, උඩඟු නොවූයේ, චපල නොවූයේ, මුඛර නොවූයේ, සංවර වචන ඇත්තේ, තැන්පත් සිත් ඇත්තේ, කලබල නොවූ සිත් ඇත්තේ, වැසූ ඉන්‍ද්‍රියයන් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙතෙම වනාහි මැනීමට දුෂ්කර පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, නොමැනිය හැකි පුදගලයා නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්‍ෂ්‍ය කළ අර්‍හත් පුද්ගලයෙක් වෙයිද, මහණෙනි, මෙතෙම මැනිය නොහැකි පුද්ගලයායයි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තිදෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.”
3. 3. 2. 4. අරිය පුථුජ්ජන සූත්‍රය
14. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙනෙකේ වෙත්. කවර තිදෙනෙක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මවා ද්වාරාරම්මණ වශයෙන් ගැටීම් ස්වභාවය ඇති රූප සංඥා දුරුකොට, නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන්, ආකාසය අනන්තයයි මෙනෙහිකොට, ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ ධ්‍යානය ආශ්වාදය කරයි. ඊට කැමති වෙයි. එයින් සතුටට පැමිණෙයි. එහි සිට ඒ අදහසින් යුක්තව එය බහුලකොට වාසය කිරීමෙන් ධ්‍යානයෙන් නොපිරිහී කාලක්‍රියා කරණුයේ ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.