8. සොචෙය්ය සූත්රය
18. මහණෙනි, මේ පිරිසිදු බැව් තුනක් වෙත්. කවර තුනක්ද? කයේ පිරිසිදු බවද, වචනයේ පිරිසිදු බවද, සිතේ පිරිසිදු බවද වෙත්.
මහණෙනි, කයේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ කයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, වචනයේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් බොරු කීමෙන් වැළකුණේ වෙයිද, කේළාම් කීමෙන් වැළකුණේ වෙයිද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, ප්රලාප කීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ වචනයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, සිතේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අභිද්යාව බහුලකොට නැත්තෙක් වේද, ව්යාපාද සිත් නැත්තෙක් වේද, සම්යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයිද, මහණෙනි, මේ සිතේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, මේ පිරිසිදු බැව් තුන වෙති.
9. දුතිය සොචෙය්ය සූත්රය
19. මහණෙනි, මේ පිරිසිදු බැව් තුනකි. කවර තුනක්ද? කයේ පිරිසිදු බවද, වචනයේ පිරිසිදු බවද, සිතේ පිරිසිදු බවද වෙත්.
මහණෙනි, කයේ පිරිසිදු බව නම් කුමක්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතුන් මැරීමෙන් වැළකුණේ වෙයිද, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද, අබ්රහ්මචර්ය්යාවෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ කයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, වචනයේ පිරිසිදු බව නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොරු කීමෙන් වැළකුණේ වෙයිද, කේළාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද, ප්රලාප කීමෙන් වැළකුණේ වෙයිද, මහණෙනි, මේ වචනයේ පිරිසිදු බවයයි කියනු ලැබේ.
මහණෙනි, සිතේ පිරිසිදු බව නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, තමන් තුළ ඇත්තාවූ කාමච්ඡන්දය, ‘මා තුළ කාමච්ඡන්දය ඇතැ’ යි දැන ගනීද, තමා තුළ නැත්තාවූ කාමච්ඡන්දය, ‘මා තුළ කාමච්ඡන්දය නැතැ’ යි දැන ගනීද, යම් ආකාරයකින් නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, එයත් දැනගනීද, යම් ආකාරයකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ ප්රහාණය වේද, එයත් දැනගනීද, යම් ආකාරයකින් පහවූ කාමච්ඡන්දයාගේ නැවත නූපදීමක් වේද, එයත් දැනගනීද,
තමා තුළ ඇත්තාවූ ව්යාපාදය, ‘මා තුළ ව්යාපාදය ඇතැ’යි දැන ගනීද, තමා තුළ නැත්තාවූ ව්යාපාදය, ‘මා තුළ ව්යාපාදය නැතැ’යි දැන ගනීද, යම් ආකාරයකින් නූපන් ව්යාපාදය උපදීද, එයත් දැනගනීද, යම් ආකාරයකින් උපන් ව්යාපාදය පහ වේද, එයත් දැනගනීද, යම් ආකාරයකින් පහවූ ව්යාපාදය නැවත නූපදීද, එයත් දැනගනීද,
තමා තුළ ඇත්තාවූ ථීනමිද්ධය, ‘මා තුළ ථීනමිද්ධය ඇතැ’යි දනීද, තමා තුළ නැත්තාවූ ථීනමිද්ධය, ‘මා තුළ ථීනමිද්ධය නැතැ’යි දැන ගනීද, යම් ආකාරයකින් නූපන් ථීනමිද්ධය උපදීද, එයත් දැන ගනීද, යම් ආකාරයකින් උපන් ථීනමිද්ධය පහවෙයිද, එයත් දැනගනියිද, යම් ආකාරයකින් පහවූ ථීනමිද්ධය නැවත නූපදියිද, එයත් දැනගනියිද,
තමා තුළ ඇත්තාවූ උද්ධච්ච කුක්කුච්චය, ‘මා තුළ උද්ධච්ච කුක්කුච්චය ඇතැ’යි දනීද, තමා තුළ නැත්තාවූ උද්ධච්ච කුක්කුච්චය, ‘මා තුළ උද්ධච්ච කුක්කුච්චය නැතැ’යි දැන ගනීද, යම් ආකාරයකින් නූපන් උද්ධච්ච කුක්කුච්චය උපදීද, එයත් දැගනීද, යම් ආකාරයකින් උපන් උද්ධච්ච කුක්කුච්චය පහවෙයිද, එයත් දැනගනීද, යම් ආකාරයකින් පහවූ උද්ධච්ච කුක්කුච්චය නැවත නූපදියිද, එයත් දැනගනීද,
තමා තුළ ඇත්තාවූ විචිකිච්ඡාව, ‘මා තුළ විචිකිච්ඡාව ඇතැ’යි දැන ගනීද, තමා තුළ නැත්තාවූ විචිකිච්ඡාව, ‘මා තුළ විචිකිච්ඡාව නැතැ’යි දැන ගනීද, යම් ආකාරයකින් නූපන් විචිකිච්ඡාව උපදීද, එයත් දැන ගනීද, යම් ආකාරයකින් උපන් විචිකිච්ඡාව පහවේද, එයත් දැනගනියිද, යම් ආකාරයකින් පහවූ විචිකිච්ඡාව නැවත නූපදියිද, එයත් දැනගනීද,
මහණෙනි, මේ සිතේ පිරිසිදු බව යයි කියනු ලැබේ.