2. 1. 5. 7.
48. “මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ, ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
“මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ, සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ දොස් කියමින් ‘අසවල් මහණතෙම (විස්කම්භන, සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුනේය, අසවල් මහණතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසුවලා කයින් ධ්‍යාන ස්පර්‍ශකොට, පසුව නිවන් ප්‍රත්‍යක්‍ෂ කෙළේය. අසුවලා මාර්‍ග දෘෂ්ටියට පැමිණියේය. අසුවලා ශ්‍රද්ධාව නිසා මිදුනේය. අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය. අසුවලා ශ්‍රද්‍ධානුසාරීය. අසුවලා සිල්වත්ය. අසුවලා කල්‍යාණ ස්වභාව ඇත්තේය. අසුවල් මහණතෙම ලාමකවූ ස්වභාව ඇත්තේය. දුශ්ශීලයයි කියත්. ඔවුහු තුමූ ඒ ගුණාගුණ කීමෙන් සිවුපසය ලබත්. ඔවුහු ඒ ලාභයෙහි (තෘෂ්ණාවෙන්) ගැටගැසුනාහු, මූර්ඡාවූවාහු, ගැලී සිටියාහු, ආදීනව (වරද) නොදක්නා ස්වභාව වූවාහු, ඡන්‍දරාගය දුරුකරණ, ප්‍රඥාවෙන් තොරවූවාහු, (සිවුපසය) පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරුකොට ඇත්තාවූ, සදහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, දහම් ගරුකොට ඇත්තාවූ, සිවුපසය ගරුකොට නැත්තාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන්ගේ ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ නොකියන්නේ, අසවල් මහණතෙම (විස්කම්භන, සමුච්ඡේද යන) දෙකොටසින් විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ප්‍රඥාවෙන් විමුක්තය. අසවල් මහණතෙම කයින් ධ්‍යාන ස්පර්‍ශකොට පසුව නිවන් පසක් කෙළේය. අසවල් මහණතෙම මාර්‍ගදෘෂ්ටියට පැමිණියේය. අසවල් මහණතෙම ශ්‍රද්‍ධාවිමුක්තය. අසවල් මහණතෙම ධර්‍මානුසාරීය. අසවල් මහණතෙම ශ්‍රද්‍ධානුසාරීය, අසවල් මහණතෙම සිල්වත්ය. යහපත් ස්වභාව ඇත්තේය. අසවල් මහණතෙම දුශ්ශීලය. පාප ස්වභාව ඇත්තේයයි නොකියත්ද, ඔවුහු තුමූ සිවුපසය ලැබීමෙහි (තෘෂ්ණාවෙහි) ගැට ගැසුනාහු, මුසපත් නොවූවාහු, ගැලී නොසිටියාහු, ආදීනව දක්නාසුලු වූවාහු, නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තවූවාහු, (සිවුපසය) පරිභෝග කරත්. මහණෙනි, මේ සද්ධර්මය ගරු කරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. “මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සද්ධර්මය ගරුකරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ, පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.”
2. 1. 5. 8.
49. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, විසමවූ (පැකිලීම් ඇති) පිරිසද, සමවූ (නොපැකිලෙන) පිරිසද (යන දෙක) වෙත්.
“මහණෙනි, විසම පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්‍මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්‍ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්‍ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්‍ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්‍මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්‍ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්.
“මහණෙනි, සමවූ පිරිස කවරීද? “මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්‍ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සමවූ පිරිසක් වේද, එය අග්‍රයි.”
2. 1. 5. 9.
50. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. අධාර්මික පිරිසද, ධාර්මික පිරිසද (යන දෙක) වෙත්. “මහණෙනි, අධාර්මික පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්‍මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්‍ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්‍ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්‍ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්‍මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්‍ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්. “මහණෙනි, ධාර්මික පිරිස කවරීද? මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්‍ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්. “මහණෙනි, මේ පිරිස් දෙකක්වේ. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසක් වේද, මෙය අග්‍රවේ”