5. පිරිස් වර්‍ගය
2. 1. 5. 1.
[සැවැත් නුවර නිදානයි]
42. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ප්‍රකටවූ (මතුපිට පෙණෙන) පිරිසද, ගැඹුරුවූ පිරිසද (යන දෙකයි).
“මහණෙනි, ප්‍රකටවූ පිරිස කවරේද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු වූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ ඇත්තාහු, චපල වූවාහු, ක්‍රූර වචන ඇත්තාහු, ප්‍රලාප වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥාව නැත්තාහු, එකඟ සිත් නැත්තාහු, විශේෂයෙන් කලබල සිත් ඇත්තාහු, සංවරයට නොපැමිණි ඉඳුරන් ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ වනාහි මතුපිටවූ (නොගැඹුරුවූ) පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, ගැඹුරුවූ පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු නොවූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ නැත්තාහු, චපල නොවූවාහු, රළු බස් නැත්තාහු, ප්‍රලාප වචන නැත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥා ඇත්තාහු, තැන්පත් සිත් ඇත්තාහු, එකඟවූ සිත් ඇත්තාහු, සංවරණය කරණ ලද ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ ගැඹුරු පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ ගැඹුරුවූ පිරිසක් වේද, මේ පිරිස ශ්‍රේෂ්ඨයි.”
2. 1. 5. 2.
43. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: වර්‍ගවූ අසමගි පිරිසද, සමගිවූ පිරිසද (යන දෙදෙනයි).
“මහණෙනි, වර්‍ගවූ පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ හටගත් ඩබර ඇත්තාහු, හටගත් කෝලාහල ඇත්තාහු, විරුද්‍ධ වාදයට පැමිණියාහු, එකිනෙකා වචන නමැති සැත්වලින් විදිමින් වාසය කොරත්ද, මහණෙනි, මේ වර්‍ගවූ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, සමගි පිරිස කවරීද? “මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමගි වූවාහු, (එක්ව) සතුටු වූවාහු, විරුද්‍ධ වාද නොකරන්නාහු, කිරි හා ජලය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කෙරෙත්ද, මහණෙනි, මේ සමගි පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ සමගි පිරිසක් වේද, එය ශ්‍රේෂ්ඨයි.”
2. 1. 5. 3.
44. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: උත්තම පුද්ගලයන් ඇත්තාවූ පිරිසද, උතුම්වූ පුද්ගලයන් නැත්තාවූ පිරිසද (යන දෙකයි.)
“මහණෙනි, උත්තම පුද්ගලයින් නැත්තාවූ (නිකෘෂ්ට) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂු බහුල භාවය පිණිස පිළිපන්නාහු, (ශාසනය) ලිහිල්කොට ගන්නාහු, ශික්‍ෂා ගරුක නොවී, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයන්හි පූර්‍වාඞ්ගම (පෙරදැරි) වූවාහු, නිර්‍වාණයෙහි බහා ලබන ලද, හරණ ලද, උත්සාහ ඇත්තාහු වෙත්ද, ඔවුහු පෙර නොපැමිණෙන ලද්දට පැමිණීම පිණිසත්, අනධිගත (අවබෝධ නොකරණ ලද) ධ්‍යානාදීන්ගේ අවබෝධය පිණිසත්, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගනිත්.” “පශ්චිම ජන සමූහයාද, තමන් දුටු දේ අනුව පිළිපැදීමට පැමිණේ.(සැරසේ) ඕතොමෝද (ඒ පශ්චිම ජනතාවද), (ප්‍රත්‍ය) බහුලාදියෙන් යුක්තවූවා, සස්න ලිහිල්කොට ගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණ ධර්‍ම පූරණයෙහි පෙරටුව යන්නී, නිර්‍වණයෙහි බහා තබන ලද උත්සාහ ඇත්තී, පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් නොගණී. මහණෙනි, මේ අග්‍ර නොවූ පුද්ගලයන් ඇති පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, උතුම් පුද්ගලයන් ඇති පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂූහු (ප්‍රත්‍ය) බාහුල්‍යයෙන් යුක්ත නොවෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ (ශික්‍ෂාගරුකයෝ) වෙත්ද, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයෙහි හරණ ලද වීර්‍ය්‍ය ඇත්තෝ වෙත්ද, නිර්‍වාණ ධර්‍මයෙහි පූර්‍වඞ්ගම (පෙරදැරි) වූවෝ වෙත්ද, ඔවුහු නොලැබූ ගුණයන් ලැබීම පිණිසද, අවබෝධ නොකරණලද ධර්‍මයන් අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකරණලද ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද වීර්‍ය්‍යය පටන් ගණිති. “පශ්චිම ජන සමූහයාද ඔවුන්ගේ දෘෂ්ටිය (තමන් දුටු දේ) අනුව යාමට සැරසේ. ඕ තොමෝද ප්‍රත්‍ය බාහුල්‍යයෙන් යුක්ත නොව සස්න ලිහිල් කොට නොගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණධර්‍ම පූරණයෙහි පෙරටුව නොයන්නී නිර්‍වාණයෙහි බහා නොතබනලද උත්සාහ ඇත්තී පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, (කායික, චෛතසික) වීර්‍ය්‍යය පටන් ගණී. මහණෙනි, මේ අග්‍රවතී (උතුමන් ඇති) පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ අග්‍රවතී පිරිසක් වේද, මෙය උතුම්වේ.”
2. 1. 5. 4.
45. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආර්‍ය්‍යවූ පිරිසද, අනාර්‍ය්‍ය (පෘථග්ජන) වූ පිරිසද (යන දෙදෙනයි.)
“මහණෙනි, අනාර්‍ය්‍ය (පෘථග්ජන) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු මේ (පඤ්චස්කන්‍ධය) දුක්යයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණාව) දුක් හටගැනීමේ හේතුවයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීමයයි ඇති සැටියෙන් නොදනිත්ද, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නිරුද්‍ධ කිරීමට පමුණුවන පිළිවෙතයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය නොවූ පිරිසයයි කියනු ලැබේ.