පළමු පණ්ණාසකය
1. කම්මකාරක වර්‍ගය
2. 1. 1. 1.
1. වජ්ජ සූත්‍රය
1. “මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මේ වරද (අපරාධ) දෙකකි. කවර දෙකක් ද යත්: මේ ආත්මයෙහිම විපාක දෙන (දිට්ඨධම්මික) වරද ද, මතු ආත්මයෙහි විපාක දෙන (සම්පරායික) වරද ද යන දෙකයි. මහණෙනි, මේ ආත්මයෙහි විපාක දෙන වරද කවරේ ද යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් අපරාධ කළ සොරෙකු රජවරු අල්වාගෙන නොයෙක් වධ හිංසා කරවනු දකියි: කසවලින් ද තළනු, වේවැල්වලින් ද තළනු, මුගුරුවලින් ද තළනු, අත ද සිඳිනු, පය ද සිඳිනු, අත් පා ද සිඳිනු, කන ද සිඳිනු, නාසය ද සිඳිනු, කන් නාසා ද සිඳිනු, බිලඞ්ගථාලික නම් වධය (හිස් කබල ගලවා රත් වූ යකඩ ගුලියක් ඇතුළට දැමීම) ද කරවනු, සඞ්ඛමුණ්ඩික නම් වධය (හිසේ සම කෙස් සමඟ ගලවා හිස් කබල හක්ගෙඩියක් මෙන් සුදු කිරීම) ද කරවනු, රාහුමුඛ නම් වධය (කට විවර කොට ඇතුළෙහි පහන් දැල්වීම) ද කරවනු, ජොතිමාලික නම් වධය (මුළු සිරුර තෙල් රෙදිවලින් වෙළා ගිනි තැබීම) ද කරවනු, හත්ථපජ්ජොතික නම් වධය (අත් තෙල් රෙදිවලින් වෙළා පහනක් මෙන් දැල්වීම) ද කරවනු, එරකවත්තික නම් වධය (බෙල්ලේ සිට ගොප් ඇටය දක්වා සම් පටි කපා යොතින් බැඳ ඇදීම) ද කරවනු, චීරකවාසික නම් වධය (සම් පටි කපා ඉණෙහි හා ගොප් ඇටයෙහි එල්ලා, කඩමාලු ඇන්දාක් මෙන් කිරීම) ද කරවනු, එණෙය්යක නම් වධය (දෙවැලමිටෙහි හා දෙදණෙහි යකඩ හුල් ගසා බිම සිටුවා වටේට ගිනි දැල්වීම) ද කරවනු, බලිසමංසික නම් වධය (දෙපස මුවැති බිලී කොකුවලින් ඇන සම් මස් නහර ගලවා ගැනීම) ද කරවනු, කහාපණික නම් වධය (මුළු සිරුර තියුණු වෑවලින් කහවණු ප්‍රමාණයට කපා දැමීම) ද කරවනු, ඛාරාපතච්ඡික නම් වධය (සිරුර ආයුධවලින් කපා කොසුවලින් කාරම් ගෑම) ද කරවනු, පලිඝපරිවත්තික නම් වධය (එක් ඇලයකට හොවා කන් සිදුරෙන් යකඩ හුලක් ගසා බිමට සවි කොට පයින් අල්ලා කරකැවීම) ද කරවනු, පලාලපිට්ඨික නම් වධය (සම නොසිඳ ඇට කුඩු කොට පිදුරු වැටියක් මෙන් ඔතා දැමීම) ද කරවනු, රත් වූ තෙලෙන් ද ඉසිනු, බල්ලන් ලවා ද කවනු, පණපිටින්ම හුලෙහි ද හිඳුවනු, කඩුවෙන් ද හිස සිඳිනු දකියි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘යම් බඳු පාප කර්ම නිසා අපරාධ කළ සොරෙකු රජවරු අල්වාගෙන නොයෙක් වධ හිංසා කරවත් ද, කසවලින් ද තළත් ද -පෙ- කඩුවෙන් ද හිස සිඳිත් ද, මම ද මෙබඳු පව්කමක් කරන්නෙම් නම්, රජවරු මා ද අල්වාගෙන මෙබඳු නොයෙක් වධ හිංසා කරවන්නාහුය: කසවලින් ද තළන්නාහුය -පෙ- කඩුවෙන් ද හිස සිඳින්නාහුය’ කියායි. හෙතෙම මේ ආත්මයෙහි විපාක දෙන වරදට බිය වූයේ අනුන්ගේ බඩු පැහැර ගනිමින් නොහැසිරෙයි. මහණෙනි, මෙය මේ ආත්මයෙහි විපාක දෙන වරද යයි කියනු ලැබේ.
“මහණෙනි, පරලොව විපාක ඇත්තාවූ දෝෂය කවරේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙසේ නුවණින් සලකා බලයි. (කෙසේද) ‘කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මම වනාහි කයින් දුශ්චරිත කරන්නෙම්නම්, වචනයෙන් දුශ්චරිත කරන්නෙම් නම්, සිතින් දුශ්චරිත කරන්නෙම් නම්, යම් හෙයකින් මම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ, විකාරව වැටෙන්නාවූ නරකයෙහි නූපදින්නෙමි නම්, එසේ වීමට කිනම් කරණයක් ඇද්ද, හෙතෙම (මෙසේ) සලකා පරලෙව්හි විපාක ඇති දෝෂය ගැන බියපත්වූයේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මයක් පරිහරණය කෙරෙයි. “මහණෙනි, මේ පරලෙව්හි විපාක ඇති දෝෂයයි කියනු ලැබේ. මහණෙනි, මේ දෙක වනාහි දෝෂයෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මේ ආත්මභාවයෙහි විපාක ඇත්තාවූ දෝෂයට බියවන්නෙමු. පරලොවෙහි විපාක ඇත්තාවූ දෝෂයට බිය වන්නෙමු. වරදට බියවන ස්වභාව ඇත්තෝ වරදෙහි බිය දක්නා ස්වභාව ඇත්තෝ වන්නෙමු’ යි (කියායි.) “මහණෙනි, තොප විසින් මෙසේ හික්මියයුතුයි. මහණෙනි, වරදෙහි බියවන සුළුවූ, වරදෙහි බිය දක්නා සුළුවූ තැනැත්තෝ සියලු වරදින් මිදෙත් යන මේ කාරණය අවශ්‍යයෙන් සිදුවිය යුත්තෙකි.
2. 1. 1. 2.
2. පධාන සූත්‍රය
2. “මහණෙනි, ලොව ලබාගැනීමට දුෂ්කරවූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙනෙක් වෙත්. ඒ කවර දෙදෙනෙක්ද යත්, ගිහිගෙයි වාසය කරන්නාවූ ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් (වාසස්ථාන), ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේ පසය සපයාගනු පිණිස යම් වීර්‍ය්‍යයක් වේනම් (එයද) ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූවන්ගේ සියලු ආශාවන්ගේ බැහැරලීමයයි කියනලද නිර්‍වාණය පිණිස යම් වීර්‍ය්‍යයකුත් වේ නම් එයද (යන මේ දෙකයි.) “මහණෙනි, ලොව මේ වීර්‍ය්‍යය දෙක වනාහි ලබා ගැනීමට දුෂ්කර වෙත්. මහණෙනි, මේ වීර්‍ය්‍ය දෙක අතුරෙන් යම් මේ සියලු ආසාවන්ගේ දුරලීම පිණිස වීර්‍ය්‍යයක් වේද, මෙය අග්‍රයි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) (ස්කන්‍ධාදී) සියලු ආසාවන්ගේ බැහැරලීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙමු (යි කියායි.) මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
2. 1. 1. 3.
3. තපනීය සූත්‍රය
3. “මහණෙනි, (සිත) තවන්නාවූ (තපනීය) මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. ඒ දෙදෙන කවරහු ද යත්: මහණෙනි, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරන ලද්දේ වෙයි, කාය සුචරිතය නොකරන ලද්දේ වෙයි; වාග් දුශ්චරිතය කරන ලද්දේ වෙයි, වාග් සුචරිතය නොකරන ලද්දේ වෙයි; මනෝ දුශ්චරිතය කරන ලද්දේ වෙයි, මනෝ සුචරිතය නොකරන ලද්දේ වෙයි. හෙතෙම ‘මා විසින් කාය දුශ්චරිතය කරන ලදී’ යි තැවෙයි, ‘මා විසින් කාය සුචරිතය නොකරන ලදී’ යි තැවෙයි; ‘මා විසින් වාග් දුශ්චරිතය කරන ලදී’ යි තැවෙයි, ‘මා විසින් වාග් සුචරිතය නොකරන ලදී’ යි තැවෙයි; ‘මා විසින් මනෝ දුශ්චරිතය කරන ලදී’ යි තැවෙයි, ‘මා විසින් මනෝ සුචරිතය නොකරන ලදී’ යි තැවෙයි. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි තවන්නෝ වෙත්.”
2. 1. 1. 4.
4. අතපනීය සූත්‍රය
4. “මහණෙනි, (සිත්) තැවීම් නොකරන්නාවූ මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනක්ද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙක් විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද, කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, වාක් සුචරිතය කරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනො සුචරිතය කරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ‘මවිසින් කාය සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් කාය දුශ්චරිතය නොකරණ ලද්දේයය’ යි නොතැවෙයි. ‘මවිසින් වාක් සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් වාග් දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි. නොතැවෙයි. ‘මවිසින් මනො සුචරිතය කරණ ලද්දේය’ යි නොතැවෙයි. ‘මවිසින් මනො දුශ්චරිතය නොකරණ ලද්දේය’ යි නොතැවෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන වනාහි තැවීම නොකරන්නෝ වෙත්.”