2. 1. 5. 10.
51. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. මහණෙනි, අධර්මවාදී පිරිසද, ධර්මවාදී පිරිසද (යන දෙක) වෙත්.
“මහණෙනි, අධර්මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ විවාද ආදී විනිශ්චය කළ යුතු කරුණක් ගනිත්ද, ඔවුහු ඒ අධිකරණය ගෙණ එකිනෙකාට ඒ බව නොමදන්වත්ද, දැන්වීම සඳහා රැස් නොවෙත්ද, නොදක්වත්ද, දැක්වීමට නොඑළඹෙත්ද, ඔවුහු තුමූ අසඤ්ඤත්තිය (නොදැන්වීම) බලය කොට ගත්තාහු, නොදැක්වීම බලය කොට ගත්තාහු, විවාදය අත්හැරීමට අදහස් නැත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ දෘෂ්ටිය සිතෙහි ඇතුල්කොට (මෙසේ) ප්‍රකාශ කෙරෙත්ද, ‘මේ (අපගේ වචනය)ම සත්‍යය, මෙයින් අන්‍යවූ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳුවූ පිරිස අධර්මවාදී පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, ධර්‍මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ (විවාද ආදී) අධිකරණයක් ගනිත්ද, ඔවුහු තුමූ මේ අධිකරණය ගෙණ එකිනෙකාට මේ ගැණ දන්වත්ද, දැන්වීම පිණිස රැස්වෙත්ද, දක්වත්ද, දැක්වීම පිණිස පැමිණෙත්ද, ඔවුහු තුමූ දැන්වීම් බලය කොට ඇත්තාහු, දැක්වීම බලය කොට ඇත්තාහු, බැහැරලීමෙහි අදහස් ඇත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ හැඟීම් (සිතෙහි) ඇතුල්කොට මෙසේ ප්‍රකාශ නොකෙරෙත්ද, (කෙසේද?) ‘මේ අපගේ වචනයම සත්‍යය, අන්‍යයන්ගේ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳු පිරිස ධර්‍මවාදී පිරිසයයි කියනු ලැබේ. “මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධර්‍මවාදී පිරිසක් වේද, මේ පිරිස අග්‍රය”
පස්වෙනි වර්‍ගය නිමි.
එහි උද්දානය:
උත්තාන, වග්ග, අග්ගවතී, අරිය, පස්වැනි කසට ද, ඔක්කාචිත, ආමිස, විසම, අධම්මික හා ධම්මවාදිනී යයි (මේ වගෙහි සූත්‍ර දසයයි).
පළමුවෙනි පණස නිමි.
දෙවන පනස.
(6) 1. පුද්ගල වර්‍ගය
2. 2. 6. 1.
සැවැත් නුවර නිදානයි.
1. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.
කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.”
2. 2. 6. 2.
2. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝව උපදින්නාහු, ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝව උපදිත්.”
2. 2. 6. 3.
3. “මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියාව මහජනයාට සිත් තැවුල්වේ. කවර දෙදෙනෙක්හුගේද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේද, සක්විති රජහුගේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියා තොමෝ මහජනයාහට සිත් තැවුල් වේ.”
2. 2. 6. 4.
4. “මහණෙනි, මේ දෙදෙනෙක් චෛත්‍යයට සුදුස්සෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන ථූපයට සුදුස්සෝ වෙත්.”
2. 2. 6. 5.
5. “මහණෙනි, මේ බුදුවරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද? තථාගතවූ අර්හත්වූ, සම්මා සම්බුද්‍ධ තෙමේද, පසේබුදු තෙමේද යන දෙදෙනෙයි. මහණෙනි, මේ දෙදෙන බුදුවරයෝ වෙත්.”
2. 2. 6. 6.
6. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 7.
7. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 8.
8. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, මෘගරාජවූ සිංහ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙනා වනාහි, හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.”