යාවජීවම්පි චෙ බාලො පණ්ඩිතං පයිරුපාසති.
න සො ධම්මං විජානාති දබ්බී සූපරසං යථා.
අනුවණ පුගුල් තෙමේ දිවිහිමියෙනුදු නුවණැත්තන් සෙව්නේ ද, හෙ තෙම දහම් දැන නො ගන්නේ ය. සූපව්‍යංජන රසය නො දත හෙන සැන්ද මෙනි.
යාචජීවම්පි චෙ බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වසනකාලයෙහි උදායි තෙරුන් අරභයා දෙසූ සේක. ඒ තෙරනම මහාස්ථවිරයන්වහන්සේලා දම්සභා මණ්ඩපයෙන් ආපසු ගියකල ධර්මාසනයෙහි හිඳියි. දිනක් ආගන්තුක භික්ෂූහු මෙය දැක, මේ බහුශ්‍රැත මහතෙරනමකියි සිතා ස්කන්ධ පිළිබඳ ප්‍රශ්න අසා කිසිවක් නොදන්නාබව දැන මේ කවුද, බුදුන් සමග එකම විහාරයෙහි වසමින් ස්කන්ධ ධාතු ආයතන මාත්‍රයකුත් නොදනිතියි දොස්පරොස් කියා බුදුරදුන්ටත් ඒබව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන්ට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
දිවි ඇති තෙක් බාලයා නුවණැතියෙකු ළඟ සිටියත්
දහම දැන නොගනී හැන්ද රස නොදන්නා සේ
එහි අර්ථය බාලො බාල නම් වූ මොහු යාවජීවම්පි පණ්ඩිතං දිවි ඇතිතාක් පණ්ඩිතයෙකු ළඟට පැමිණ ආශ්‍රය කළත් මෙය බුද්ධ වචනයයි. බුදුදහම මෙපමණය, මෙසේ ත්‍රිපිටක දහම හෝ මෙය සමාචාරය, මෙය විහරණය මෙය ආචාරය මෙය ගෝචරය මෙය වැරදි සහිතය, මෙය නිවැරදිය මෙය සේවනය කටයුතුය. මෙය සේනය නොකටයුතුය. මෙය අවබෝධ කළයුතුය. මෙය සාක්ෂාත් කළයුතුය. මෙසේ ප්‍රතිපත්ති ප්‍රතිවෙධ ධර්මය නොදනී. කුමක් මෙන්ද? දබ්බී සූපරසං යථා යම්සේ හැන්ද ගෙවෙනතුරුම නානාප්‍රකාර සූප ව්‍යාංජනාදියෙහි පෙරළෙන නමුත් මෙය ලුණුරසය මෙහි ලුණු නැත. මෙය තිත්තය, සැරය, කටුකය, ඇඹුල්ය, ඇඹුල් නැත, කහටය ආදි සූපරස නොදනී. මේ ආකාරයෙන් අන්ධබාල නුවණ නැති පුද්ගලයා දිවිහිමියෙන් පණ්ඩිතයෙකු ඇසුරුකළත් ඉහත සඳහන් පරිදි ධර්ම නොදනී.
දේශනා කෙළවර ආගන්තුක භික්ෂූන්ගේ සිත් කෙළෙස්වලින් මිදුණේය.