යො බාලො මඤ්ඤති බාල්‍යං පණ්ඩිතො වා’පි තෙන සො
බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති.
යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
යො බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටි කාලයේ ගැටකපන සොරුන් අරභයා වදාළ සේක.
ඒ සොරයහළුවෝ දෙදෙන බණ ඇසීමට යන මහාජනයා සමග දෙව්රමට ගොස් එකෙක් බණ ඇසීය. අනිකා බණ අසන්නන්ගෙන් තමන්ට ගතහැකි දේ ගැන සොයමින් බලමින් සිටියේය. ඔවුන්ගෙන් දහම් ඇසූ පුද්ගලයා සෝවාන්ඵලයට පැමිණියේය. අනිකා තවත් කෙනකුගේ ඉණේ තබාගෙන තිබුණු මාසක පහක් (මදටිය ඇටයක පමණ රත්රන්) ලැබුවේය. එය ඔහුගේ ගෙදර ඉවුම්පිහුම්වලට ප්‍රමාණවත් විය. සෝවාන් වූ අයගේ ගෙදරට එවැන්නක් නොලැබිණ. ඉන්පසු සහායක සොරා සෝවාන් වූ අයගේ බිරිඳ සමග දොස් නගමින් ඔබ අතිපණ්ඩිත කමෙන් තමන්ගේ ගෙදර ඉවුම් පිහුම්වලට මිලවත් නිෂ්පාදනය කර නොගත්තේයයි කීවේය. අනිත් සෝවාන් තැනැත්තා මොහු නුනුවණ හෙයින් තමන්ගේ නුවණැති බව නොදන්නේයයි ඒ පුවත බුදුන්ට දන්වනු පිණිස තමඤාතීන්ද සමග දෙව්රමට ගොස් එය දන්වා සිටියේය. ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ.
තමා අනුවණ බව
දන්නා නුවණැතියෙක් වේ
තමා නුවණැතියයි ගත්
බාලයා අනුවණයෙකි
ඒ ගාථාවෙහි යො බාලො යනු යම් අන්ධබාලයෙක් අපණ්ඩිතයෙක්ව සිට මම බාලයෙක්මියි ඒ තමන්ගේ බල්‍යං බාලබව මඤ්ඤති දැනගනීද, තෙන සො ඒ කරුණින් එම පුද්ගලයා පණ්ඩිතො වා පි පණ්ඩිතයකුට සමාන හෝ වෙයි. හෙතෙම මම බාලයෙක්මියි දැනගෙන අනිත් පඬිවරුන් වෙත පැමිණ ආශ්‍රය කරමින් ඒ පණ්ඩිතයන් විසින් දෙනු ලබන අවවාද අනුශාසනා අසා ඒවා ඉගෙන ගෙන පණ්ඩිතයෙක් හෝ ඉතා උසස් පඬිරුවනක් හෝ වෙයි. ස වෙ බාලොති යමෙක් බාලයෙක්ව සිට මා සමාන වෙන කවුද? මා සමාන බහුශ්‍රැත ධර්මකථික විනයධර ධුතවාදියෙක් හෝ ඇද්දැයි මෙසේ පණ්ඩිතමානි පණ්ඩිතකම නමැති මාන්නය පමණක් ඇත්තෙකුවෙයි. ඔහු සෙසු නුවණැතියන් වෙත නොයයි. ආශ්‍රය නොකරයි. ත්‍රිපිටකය ඉගෙන නොගනියි. ප්‍රතිපත්ති නොපුරයි. ඒකාන්තයෙන් බාල බවටම පැමිණෙයි. හෙතෙම ගැටකපන හොරා මෙනි. ස වෙ බාලොති වුච්චති යනු එසේ හෙයින් කියන ලදි.
දේශනාවසානයෙහි අනිත් අයගේ ඥාතීන් සමග සිටි මහාජනයා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.