4-9 නවවන ආනන්දතෙරුන්ගේ ප්‍ර‍ශ්නවිසඳීමේ වස්තුවයි.

න පුප්ඵගන්‍ධො පටිවාතමෙති න චන්‍දනං තගරමල්ලිකා වා

සතඤ්ච ගන්‍ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාති.

මල්සුවඳ උඩු සුළඟට නොයෙයි. සඳුන් තුවරලා සීනිද්ද බෝලිද්ද සුවඳ ද උඩු සුළඟට නො යෙයි. බුද්ධාදි සත්පුරුෂයන්ගේ සිල් ආදි ගුණසුවඳ උඩු සුළඟට යෙයි. සත්පුරුෂයා ගුණසුවඳින් සියලු දිගුන් පැතිරැ හමයි.

චන්‍දනං තගරං වාපි උප්පලං අථ වස්සිකී

එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුත්තරො.

සඳුන් තුවරලා මානෙල් දෑසමන් යන මෙකී සුවඳ දෑ අතුරෙහි බුද්ධාදීන්ගේ සිල් සුවඳ ම උතුම් ය.

න පුප්ඵගන්ධො පටිවාතමෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කාලයෙහි ආනන්ද තෙරණුවන්ගේ ප්‍ර‍ශ්නයක් විසඳමින් දේශනා කළ සේක. දිනක් තෙරණුවෝ ඵලසමවතින් සිටින අතර, භාග්‍යවතුන්වහන්සේ සාරගන්ධ, මූලගන්ධ, පුප්ඵගන්ධයයි උතුම් සුවඳවර්ග තුනක් ගැන දෙසනලදි. ඒ සියලු සුවඳවර්ග වාතය හමන අතටමය. (යටිසුළඟට) උඩුසුළඟට නොයයි. මේ සුවඳවර්ග අතර පටිවාතයට හෙවත් උඩුසුළඟට යන සුවඳකුත් ඇද්දැයි සිතූහ. ඉන්පසු උන්වහන්සේට මා මෙය තමන්ම විනිශ්චය කරන්නේ ඇයි? බුදුන්ගෙන්ම විචාරන්නෙමියි සිතිණි. උන්වහන්සේ බුදුන් වෙත පැමිණ විචාළහ.

ඉන්පසු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැගිට බුදුරජාණන්වහන්සේ සිටි තැනට අවුත් මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, සුවඳවර්ග තුනක් ඇත. ඒ හැම සුවඳක්ම වාතය හමන අතටම යයි. පටිවාතයට හෙවත් උඩුසුළඟට නොයයි. ඒ කවර සුළඟද? මූලගන්ධ (මුල්වල සුවඳ) සාරගන්ධ (සදුන් ආදි අරටුවල සුවඳ) පුප්ඵගන්ධ (මල්වල සුවඳ) යන තුනයි. ස්වාමීනි, මේ සුවඳවර්ගවල සුවඳ හුළඟ හමන අතටම යයි. උඩුසුළඟට නොයයි. ස්වාමීනි, උඩුසුළඟටත් යටිසුළඟටත් එකසේ ගළායන සුවඳකුත් ඇද්ද?

භාග්‍යවතුන්වහන්සේ ඒ ප්‍ර‍ශ්නය විසඳමින් ආනන්ද, අනුවාතපටිවාත යන දෙපැත්තටම එකසේ ගලායන සුවඳක් ඇත. ස්වාමීනි, ඒ අනුවාතයටත් පටිවාතයටත් අනුවාත පටිවාත දෙකටමත් ගලායන සුවඳ කුමක්ද? ආනන්ද, යම් ගමන නියම්ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේද, දහම් සරණගියේද, සඟුන්සරණ ගියේද, ප්‍රාණවධයෙන්, සොරකමෙන්, වැරදිකාමසේවනයෙන් මුසාවාදයෙන් රහමෙර බීමෙන් වැළකී සිටින්නේද, සිල්වත් යහපත් පිළිවෙතින්, දුරුකළ මසුරුමල කෙලෙස් ඇති සිතින් ගිහිගෙයි වසන්නේද, ත්‍යාග සඳහා මුදාහළ වස්තුසම්පත් ඇති, දීමෙන් පිරිසිදු අත් ඇති, දන්දීමෙහි යෙදෙන, යාචකයන්ට දන්දෙන දාන සංවිධානයෙහි යෙදෙන පිළිවෙත්වලින් යුක්ත නම්, ඔහු හෝ ඈ පිළිබඳව දිසා අනුදිසාවල මහණ බමුණෝ වර්ණනා කරති. අසවල් නම් ගමේ හෝ නියම්ගමේ ස්ත්‍රිය හෝ පුරුෂයා බුදුන් සරණ ගියේය -පෙ- දන්දීම් ආදිය සංවිධානය කරයි. අසවල් ගමේ-නියම්ගමේ සිටින අසවල් පුද්ගලයා හෝ ස්ත්‍රිය බුදුන් සරණ ගියේය -පෙ- දන්දීමේ ආදිය සංවිධානය කරන්නේයයි දෙවියන් වැනි අමනුෂ්‍යයන් පවා ගුණවර්ණනා කෙරෙති. ආනන්ද මෙන්න මේ අයුරින් ගුණවැනුම් නමැති සුවඳජාතිය දිසාවිදිසා හැම තැනමත් අනුවාතයෙහිත් පටිවාතයෙහිත් අනුවාතපටිවාත දෙකේමත් හමායයි යනුවෙන් වදාරා මේ ගාථා ප්‍ර‍කාශ කළහ.

සඳුන් තුවරලා හා දැසමන් බෝලිද්ද මල්

සුවඳ හැම අත නොහමයි යටිසුළඟට හමායයි

සත්පුරුෂ සිල්වතුන්ගේ සිල්සුවඳ දස දිසාවෙහි

පැතිරී හමා දුවයයි සියලු සීමා බිඳගෙන

සඳුන් තුවරලා හෝ උපුල්මල් දෑසමන් හෝ

සියලුම සුවඳ පරදා සිල්සුවඳ පැතිරීයයි

එහි න පුප්ඵගන්ධො යනු තව්තිසාවේ පරසතුගස දිග පළලින් යොදුන් සියයකි. එහි මල්වල ප්‍ර‍භාවය පනස් යොදුනක පැතිරෙයි. සුවඳ යොදුන් සියයක් පැතිරෙයි. එයවුවද යන්නේ සුළං හමන පැත්තටය. උඩුසුළඟට අඟල් භාගයක්වත් නොයයි. මේ අයුරින් මල් සුවඳ පටිවාතයට නොයයි. චන්දනං යනු සඳුන් සුවඳයි. තගරමල්ලිකා යනු මේ වර්ගවල මල්සුවඳ අදහස් කරනලදි. සාරගන්ධවලින් අග්‍ර‍වූ රත්සඳුන්වලද තුවරලා බෝලිද්ද යන මල්වල සුවඳද වාතය හමායන පැත්ත අනුවමයයි. ප්‍ර‍තිවාතයෙහි හමානොයයි. සතංවගන්ධො යනු බුදුපසේබුදු මහරහතුන්ගේ සිල්සුවඳ වාතය හමාඑන උඩුසුළඟෙහි පවා හමායයි. කුමක් නිසාද? සබ්බාදිසා සප්පුරිසො පවාති යම් හෙයකින් සත්පරුෂයා තම සිල් සුවඳින් සියලු දිසාවන් අභිභවනය කොටයයිද ඒනිසා ඔහුගේ සිල්සුවඳ උඩුසුළඟටත් හමායන්නේයයි කිවයුතුය. පටිවාතමෙති යයි කීවේ එහෙයිනි. වස්සිකී යනු දැසමන්ය. එතෙසං යනු මේ සඳුන් ආදි සුවඳ වර්ගවල සුවඳින් සිල්වත් සත්පුරුෂයන්ගේ සීලගන්ධොව අනුත්තරො සිල්සුවඳම අසමාන-ප්‍ර‍තිභාග රහිතම වේ.

දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. දේශනාව මහාජනයාට සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.