යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං.
දක්‍ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේ ද, එසේ ම උපන් සත්ත්‍වයා විසින් බොහෝ කුසල් කටයුතු.
‘යථාපි පුප්ඵරාසිම්හා’ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාමයෙහි වාසයකරන කාලයෙහි විශාඛා උපාසිකාව අරභයා දේශනාකළසේක. ඕතොමෝ අංගරටෙහි භද්දිය නම් නගරයෙහි විසූ මෙණ්ඩක සිටාණන්ගේ පුත් ධනංජය සිටුහුගේ අගමෙහෙසිය වූ සුමනා දේවියගේ කුසෙහි උපන්නීය. ඇගේ සත්වයස් වියෙහි ශාස්තෘන්වහන්සේ සේලබ්‍රාහ්මණාදීන්ගේ ධර්මාවබෝධය පිළිබඳ හේතුසම්පත් දැක මහා භික්ෂුසංඝයා පිරිවරා චාරිකාවේ හැසිරෙමින් ඒ නගරයට පැමිණිසේක.
ඒ කාලයෙහි මෙණ්ඩක ගෘහපතියා ඒ නගරයෙහි මහ පින්වතුන් පස්දෙනා අතර ජ්‍යෙෂ්ඨත්වයද සිටු තනතුරද ලබා වාසය කරයි. ඒ මහපින්වතුන් නම්, මෙණ්ඩක සිටු, චන්ද්‍රපදුමා නම් ඔහුගේම ජ්‍යෙෂ්ඨ භාර්යාව, ඔහුගේම ජ්‍යෙෂ්ඨ පුත්‍ර ධනංජය, ඔහුගේ භාර්යාව වූ සුමනාදේවී, මෙණ්ඩක සිටුහුගේ දාස පුණ්ණ යන අයයි. මෙණ්ඩක සිටුවරයාට පමණක් නොව, බිම්බිසාර රජුගේ විජිතයෙහි අමිතභෝගී තවත් ධනවතුන් පස්දෙනකුද වාසය කළහ. ඒ පස්දෙනා නම්, ජෝතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක, කාකවලිය යන අයයි. ඔවුන් අතර මේ මෙන්ඩක සිටුතෙම බුදුරදුන් තමන්ගේ නුවරට පැමිණි බව දැන සියපුත් ධනංජය සිටුහුගේ දූ වූ විශාඛා දැරිය කැඳවා ඔබටත් මෙය වැඩදායකය. අපටත් වැඩ දායකය, ඔබේ පිරිවර පන්සීයක් දැරියන්ද පන්සීයක් රටවලින් පන්සීයක් දාසියන්ද කැටුව දසබලයන්වහන්සේට පෙරගමන් කරවයි කියා යැවීය. ඈ මැනවැයි පිළිගෙන එසේ කළාය. කාරණාකාරණා දන්නා හෙයින් යානයෙන් යායුතු තැන් ගොස් ඉන්පසු යානයෙන් බැස පයින්ම බුදුන් කරා එළඹ වැඳ එක්පැත්තක හුන්නාය.
ඉන්පසු ඇගේ චරිතයට අනුකූලවනසේ බුදුරදුන් විසින් දෙසනලද දහම්කථා අසා දේශනාවසානයෙහි පන්සීයක් දැරියන් සමග සෝතාපත්තිඵලයෙහි පිහිටියාය. එසේ සෝවාන්ඵලයෙහි පිහිටා හෙට දිනය සඳහා ආරාධනාකොට දෙවෙනි දවස තව නිවසෙහි කෑයුතු බුදියයුතු ප්‍රණීතාහාරයෙන් බුදුන් ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා මේ ආකාරයෙන් අටමසක් මහදන් දුන්නාය. බුදුරජාණන්වහන්සේ භද්දිය නගරයෙහි කැමති පරිදි සිට වැඩියාහුය.
එකල්හි බිම්බිසාර, පසේනදිකෝසල දෙදෙනා ඔවුනොවුන්ට දෙසුරුබඩු හෙවත් දෙමස්සිනාවරු වූහ. දිනක් කොසොල්රජු, බිම්බිසාරගේ විජිතයෙහි අමිගභොගී ධනවත්තු වෙසෙති, මගේ විජිතයෙහි එබඳු එකෙකුද නැත. මම බිම්බිසාර වෙතගොස් එක් මහ පින්වතකු ඉල්ලා ගන්නෙම් නම් මැනව යි සිතීය. ඔහු එහි ගොස් රජුන් සමග පිළිසඳර කථාකොට කුමක් නිසා ආවෙහිදැයි ඇසූ පසු ඔබේ විජිතයෙහි අමිතභොගී මහාපින්වන්තයෝ පස්දෙනෙක් සිටිති. එයින් එක් කෙනෙකු රැගෙන යාමට පැමිණියෙමි. එයින් එක් කෙනකු මට දෙනු මැනවයි කීය. ඒ මහාකුලවතුන් සෙලවීම අපට කළ නොහැකියයි බිම්බිසාර කීවේය. එයින් කෙනෙක් නොලබා මම නොයන්නෙමියි කොසොල්රජු කීය.
රජු ඇමතියන් සමග සාකච්ඡා කොට ජෝති ආදි මහාකුල සෙලවීම පොළොව සෙලවීමකට සමානයි. මෙණ්ඩකසිටුපුත් ධනංජය සිටුවරයා සමග සාකච්ඡාකොට ඔබට පිළිතුරක් දෙන්නෙමුයයි කියා ඔහු කැඳවා, පුත්‍රය, කොසොල්රජු එක් ධනවත් සිටුවරයකු රැගෙනම යෑමට ආබව කියයි. ඔබ ඔහු සමග යන්නැයි කීහ, ඔබ කියන හෙයින් යන්නෙමැයි ධනංජය කීවේය. එසේ නම් අවශ්‍ය දේ සූදානම් කරගෙන යන්න. හෙතෙම යෑමට ප්‍රථම තමන් විසින් කළයුතු සියල්ල කෙළේය. රජුද ඔහුට මහත් සත්කාර පිළියෙලකොට, මොහු රැගෙන යන්නැයි පසේනදි රජුන් වෙත යැවීය.
කොසොල්රජු ධනංජයත් සමග එක් තැනක දෙරැයක් නොවසා වහා යන්නේ එක් පහසු තැනකට පැමිණ නවාතැන් ගත්තේය. එතනදී ධනාංය, මේ කාගේ විජිතයක්දැයි ඇසීය. සිටුවරය, මෙය මගේ විජිතයයි. සැවැත් නුවරට මෙහි සිට කෙතෙක් දුරද? සත් යොදුනක් පමණි. ඇතුළු නගරය කරදර සහිතයි. අපේ පිරිවර ජනයාද මහත්ය. රජතුමනි, ඔබ කැමති නම් අපි මෙහිම වසන්නෙමුයයි ධනංජය ඇසීය. රජු මැනවයි පිළිගෙන එතැන නගරයක් නිර්මාණය කරවා ඔහුට භාරදී ගියේය. ඒ පෙදෙස සවස විසීමට ගත්හෙයින් නගරය සාකේත නම් විය.
සැවැත්නුවරද මිගාර සිටුහුගේ පුත් පුණ්ණවඩ්ඪන නම් වියපත් කුමරෙක් විසීය. ඔහුගේ මවුපියෝ, දරුව ඔබ කැමති තැනකින් එක් දැරියක් සොයා ගන්නැයි කීහ. මට එබඳු ගැටගසා ගැනීමකින් බැඳීමකින් වැඩක් නැතැයි ඔහු කීවේය. පුතා එසේ නොකියන්න. අපුත්‍රකවූ කුලය නැසී වැනසී යන්නේය. හෙතෙම නැවත නැවතත් එයම කියන හෙයින් එසේනම් පංචකල්‍යාණ ගුණයන්ගෙන් පිරිපුන් දැරියක ලැබුණොත් නුඹලාගේ වචනය ඉටුකරමියි කීය.
ඒ පංචකල්‍යාණ ලක්ෂණනම් කවරහුද? කේශකල්‍යාණය, මාංශකල්‍යාණය, අට්ඨි (ඇට) කල්‍යාණය, ඡවි හෙවත් (සම) කල්‍යාණය, වයස් කල්‍යාණය වශයෙනි. මහපිනැති ස්ත්‍රියගේ කෙස් මොනරපිලක් සමානව පවතී. එය මුදා හළ විට විලුඹ දක්වා ගොස් නැවතී අක්බඹුරුව උඩට නැමී සිටියි. මෙය කේශ කල්‍යාණය නම්. තොල් බිඹුඵල සදිසිය. වර්ණ සම්පන්න වූ මුළුඇඟ මසින් පිරී පවතී. මෙය මාංශකල්‍යාණ නම්. සුදුදත් විවර රහිතව සමව පෙළට තැබූ වීදුරුකැටපෙළක් පබළු දලුවක හිඳවුවාක් මෙන් ශෝභමාන වේ. අට්ඨිකල්‍යාණය නම් මේය. ඡවි වර්ණය සිනිඳුය. නිලුපුල්දාමයක් සේ වෙයි. ඡවිකල්‍යාණය නම් මෙබඳුය. දහවරක් දරුවන් වැදුවත් වරක් වැදූ එකියක මෙන් යොවුන් බව පහ නොවීම පවතී. මෙය වයස්කල්‍යාණයයි.
ඉන්පසු ඔහුගේ මවුපියෝ බමුණන් එක්සියඅට දෙනෙකුන් කැඳවා කවාපොවා පංචකල්‍යාණයෙන් යුත් ස්ත්‍රීන් ඇද්දැයි විමසූහ. එසේය ඇත. එසේනම් එබඳු දැරියක් සෙවීමට අටදෙනෙක් යවයි. බොහෝ මිලමුදල් දී මෙය ඉටුකර ආපසු ඔබ වෙනුවෙන් කළයුතු දෙය දනිමු. යන්න ගොස් මෙබඳු දැරියක් සොයන්න. හමුවූ පසු මෙය පළඳවන්නැයි ලක්ෂයක් අගනා ස්වර්ණමය මාලයක් දී පිටත්කර හැරියාහ. ඔවුහු විශාල නගරවලට ගොස් සොයන්නාහු පංචකල්‍යාණයෙන් සමන්විත දැරියක් නොදැක නැවතී ආපසු එනවිට සියල්ලන් එළියට අවුත් විනෝදවන නැකැත් ඇති දිනයක සාකේතයට පැමිණ අද අපසතු කටයුත්ත සම්පූර්ණවිය හැකියයි සිතූහ.
ඒ නගරයෙහි වසරක් පාසා විවටනක්ඛත්ත (සියල්ලන් එළියට අවුත් ප්‍රීතිවන නැකතක්) නම් නැකත්කෙළිදිනයක් වෙයි. එදින එළියට නොබසින පවුල්වල අයද පිරිවර සහිතව ගෙයින් නික්මී සිරුරු නොවසා පයින්ම නදීතෙරට යති. ක්ෂත්‍රිය මහාසාලාදීන්ගේ පුතුන්ද තමන්ට සමානජාතික එමෙන් කුලදැරියන් දැක මල්මාලා දමා (නියම කරගැනීම) එන්නෙමුයයි ඒ ඒ මාර්ග අයින්වල රැඳී සිටිති. ඒ බමුණෝත් ගංඉවුරේ එක් ශාලාවක සිටියාහුය.
ඒ වේලාවෙහි පසළොස් හැවිරිදි විශාඛාවත් සව්බරණින් සැරසී පන්සීයක් කුමාරිකාවන් සමග ගඟට ගොස් නහන්නෙමුයයි ඒ පෙදෙසට පැමිණියාහුය. එවිට මහ වර්ෂාවක් වැස්සේය. පන්සීයක් කුමරියෝ වේගයෙන් දුව අවුත් ශාලාවට පිවිසුණාහ. ඔවුන් දෙස බැලූ බමුණන්ට පංචකල්‍යාණයෙන් යුතු දැරියක් හමුනොවීය. විශාඛාවෝ ප්‍රකෘති ගමනින්ම ශාලාවට පිවිසියාය. වස්ත්‍රාභරණ තෙමී තිබිණි. බමුණෝ ඇයගේ කල්‍යාණ ලකුණු හතරක් දැක දන්ත කල්‍යාණය දැකගනු පිණිස, අලසගති ඇති මේ අපේ දුවණිය ලබන සැමියා නම් කැඳ ටිකක්වත් නොලබන්නෙකු වියහැකිය ආදි වශයෙන් ඔවුනොවුන් කථාබහ කළහ. ඉන්පසු විශාඛාව ඔවුන් අමතා, ඔබලා කුමක් කියන්නහුදැයි ඇසුවාය. ඔවුහු කළ කථාව කීහ.
ඇගේ හඬ මිහිරිය. කංසතාලයකින් මෙන් හඬ නිකුත්වී යයි. නැවත ඇය මිහිරි හඬින්ම ඔබ කියන්නේ කුමක්දැයි නැවතත් විචාළාය. එය ඔවුහු කියා සිටිකල කුමක් නිසා එසේ කියවුදැයි ඇසුවාය. ඔබේ පිරිවර ස්ත්‍රීහු වස්ත්‍රාලංකාර තෙමා නොගෙන වේගයෙන් ශාලාවට පැමිණියාහුය. ඔබට මේ කෙටිදුරවත් වේගයෙන් එන්ට නොහැකිවී වස්ත්‍රාභරණ තෙමාගෙන ආවෙහිය. එහෙයින් අපි ඒ ගැන කථා කෙළෙමු. දරුවනි, එසේ නොකියව්. මා මොවුන්ගේ භාරකරුය. මේ කරුණු ගැන සලකා ජවයෙන් නාවෙමියි කීවාය. මෑණියනි ඒ කුමක් නිසාද? දරුවනි, සතර දෙනෙකුගේ දුවමන නොහොබනේය. තවද කරුණක් ඇත. මෑණියනි, කවර නම් සතරදෙනාගේ දුවයෑම නොහොබීද? දරුවනි, අභිෂේක ලැබූ රජවරු සව්බරණින් සැරසී අමුඩයක් ගසාගෙන රාජාංගනයෙහි දිවීම නොහොබී. මේ මහරජ ගොවියකු මෙන් දුවයි කියා දුටුදුටුවන්ගේ නින්දා අපහාස ලබයි. එනිසා රජු සෙමින් යන විට හොබණේය. රජුගේ මගුල්ඇතාද අලංකාර ලෙස සැරසුණේ දුවමින් යන ගමන නොහොබී. ඇත් ගමනින් යන විටම හොබී. පැවිද්දාගේද දුවමින් වේගයෙන් යන ගමන නොහොබී. මේ ශ්‍රමණයා ගිහියකු වගේ දුවන්නේ ඇයිදැයි ගර්හා ලබයි. සාමාන්‍ය ගමනම පැවිද්දාට හොබණේය. දුවන ස්ත්‍රියද ශෝභමාන නොවෙයි. ඇයි, මේ ස්ත්‍රිය පිරිමියෙකු මෙන් දුවන්නීයයි ගර්හා කටයුතුවේ. මේ සිවුදෙනා දුවනවිට නොහොබී.
මෑණියනි, එය අපි පිළිගනිමු. තවත් කාරණා ඇද්දැයි බමුණෝ ඇසූහ. එසේය දරුවනි, මවුපියෝ දුවගේ අඟපසඟ සකස්කොට පෝෂණය කරත්. අප වනාහි විකිණීමට ඇති භාණ්ඩ මෙනි. අප පෝෂණය කරන්නේ වෙනත් පවුල්වලට යැවීම සඳහාය. ඉතින් දුවනවිට රෙදිකෙළවර හෝ පෑගී බිම වැටුණොත් අත්පා කැඩීබිඳී යාහැකිය. එසේ වුවහොත් සිය ගෙදරම නැවතීමට සිදුවේ. අඳිනපළඳින දේ තෙමුණත් වියළීයයි. දරුවනි, මේ ආදි කරුණු සලකා නොදිව්වෙමියි කීවාය. බමුණෝ ඈ කථා කරන අතරතුර දන්ත සම්පත්තිය දැක මෙබඳු දන්තකල්‍යාණයක් අපි මීට පෙර දැක නැතැයි ඈට සාධුකාර දී මෑණියනි, ඔබටම මෙය සුදුසුවන්නේයයි කියා ගෙනගිය රන්මාලය පැළඳවූවාහුය.
ඉන්පසු ඈ, ඔබ කවර නුවරක සිට ආවාහුදැයි ඇසුවාය. මෑණියනි, සැවැත්නුවර සිටයි. කවර සිටුපවුලෙන්ද. මෑණියනි, මිගාරසිටු කුලයෙනි. එහි ප්‍රධාන ආර්යපුත්‍රයා කවරෙක්ද? මෑණියනි, පුණ්ණවඩ්ඪන කුමරායි. ඈ තමාට සමාන කුලයකියි පිළිගෙන පියාට, අපට රථයක් එවන්නැයි හසුනක් යැව්වාය. ඈ එනවිට පයින් ආ නමුත් මාලය පැළඳූ වේලාවේ පටන් එසේ යාමට නුපුළුවන. ඉසුරුමත් කාන්තාවෝ රථාදියෙන්ම යෙති. සෙස්සෝ ප්‍රකෘති යානයකට හෝ නැගී යෙති. කුඩයක් හෝ තල්අත්තක් හෝ ඉසලා ගනිති. එසේ නැතිවිට ඇඳි රෙද්දෙන් වාටියක් හෝ ඉරා දසරුවෙහි ලා ගනිති. ඇගේ පියා රිය පන්සීයක් එවීය. ඈ සපිරිවරින් රියට නැගී ගියාය. බමුණෝද එක්ව ගියාහුය.
ඉන්පසු සිටුවරයා ඔවුන්ගෙන් කොහි සිට ආවාහුදැයි ඇසීය. මහාසිටුතුමනි, සැවැත්නුවර සිටයි. නුඹලාගේ සිටුවරයා කිනම්ද? මිගාර නම් සිටුහුයි. ඔහුගේ පුතාගේ නම කුමක්ද, පුණ්ණවඩ්ඪන නම් කුමරායි. කෙතෙක් ධනවත්ද? මහාසිටුතුමනි, සතළිස් කෝටියකි. ධනය නම් අපේ ධනය හා සසඳන විට කාකණිකයක් (පහෙන් දෙකක්) පමණය. රන්මාලයකුත් දී ඇති හෙයින් එයිනුත් දැරියට ආරක්ෂාවක් ලැබෙන නිසා වෙනත් ධනයක් නැතත් ප්‍රමාණවත් වේයයි ඉවසා සිටියේය. හෙතෙම ඔවුන්ට සත්කාර කොට දවසක් දෙකක් නවත්වාගෙන සිට පිටත්කර හැරියේය.
ඔවුහු සැවැත්නුවරට ගොස් අප විසින් දැරියක් සොයා ගත්තෙමුයයි මිගාර සිටුවරයාට දන්වා සිටියහ. සිටුවරයා ඔවුන්ගෙන්, ඒ කාගේ දුවකදැයි ඇසුවේය. ධනංජය සිටුවරයාගේය. ඔහු මහාකුලයකින් මට දැරියක් ලැබිණි. වහාම ඈ ගෙන්වා ගතයුතුයයි එහි යෑම සඳහා රජුට දන්වා සිටියේය. රජු මෙය මහකුලයකි. මාවිසින් බිම්බිසාර ළඟට ගෙනවුත් සාකේතයෙහි නවත්වන ලදි. ඔහුට සම්මාන කළයුතුයයි මමත් ඒ ගමනට එන්නෙමියි කීවේය. හෙතෙම යහපති දේවයිනියි කියා ධනංජය සිටුවරයා වෙත, මා එන විට මහත් බලකායක් සමග රජතුමාත් එන්නේය. මෙතරම් පිරිසකට අවශ්‍ය කටයුතු සංවිධාන කිරීමට හැකිද නොහැකිදැයි අසා හසුනක් යැවීය. ධනංජය, ඉදින් රජවරු දසදෙනෙක් ආවත් කමක් නැතැයි ප්‍රතිහසුනක් එවීය. මිගාර සිටුහුත් ගෙවල්දොරවල් බලාගන්නා අය හැර සෙසු සියල්ලන් කැඳවාගෙන සාකේත නුවරට අඩයොදුනක් පමණ තැන් තබා අපි ආවෙමුයයි හසුනක් යැවීය.
ධනංජය සිටු බොහෝ පණිවුඩ කරුවන් හා පුද පඬුරු යවා දුව සමග - දුව, තොපගේ මයිලණුවෝ කොසොල්රජුත් සමග ආවෝය. ඔහුට කිනම් ගෙයක් පිළියෙල කරමුද, රජුන්ට කිනම් ගෙයද, යුවරජාදීන්ට කිනම් ගෙවල්දැයි ඇසුවේය. සිටුදුව නුවණැතිය. වජ්‍රාග්‍රයක් වැනි තියුණු බුද්ධියෙන් යුතුය. කප්ලක්ෂයක පටන් කළ ප්‍රාර්ථනා ඇත්තීය. පෙරුම් පුරා ඇති ඕතොමෝ මගේ මාමාට අසවල් ගෙයද, රජුන්ට අසවල් ගෙයද, උපරාජාදීන්ට අසවල් ගෙවල්යයිද නියමකොට සංවිධානය කරවා දැසිදස්කම්කරුවන් කැඳවා රජුන් වෙනුවෙන් මේ දේ කරව්, උපරාජාදීන්ට මේ දේයයි වැඩෙහි යොදවා, ඇත්අස් ආදීහු තෙපිම පෝෂණය කරව්, එවිට අසුන් ඇතුන් බඳිනා අයද අවුත් මගුල්සැණකෙළියට සහභාගීවනු ඇතියි ඒ ලෙස සියල්ල සංවිධාන කළාය. එලෙසින් කරනලද්දේ කුමක් නිසාදයත්, අපි විශාඛාවගේ මංගල්‍යස්ථානයට ගොස් කිසිවක් නොලැබීමු. ඇතුන් අසුන් බලාගනිමින් සිටියෙමුයි කිසිවකුටත් කථාකිරීමට ඉඩ නොලබාදීම සඳහාය.
විශාඛාවගේ පියා එදිනම පන්සීයක් රන්කරුවන් කැඳවා මගේ දුවණියට මහලියපළඳනාවක් කරව්යයි, ශුද්ධ රත්රන් කලං දහසක්ද, ඊට අදාළ රිදී මුතු පබළු වජ්‍ර ආදියද දෙවීය. රජු කීපදිනක් ගතකොට ධනංජය සිටුවරයාට මෙබඳු හසුනක් යැවීය. සිටාණනි, ඔබට අප පෝෂණය කිරීමත් අපහසුවකි. දැරිය කැඳවාගෙන යන දිනය දන්වා එවන්න.
සිටුවරයාත් රජුන්ට ලිපියක් යැවීය: මේ වැසිකාලයයි. සිවුමසක් ඇතුළත එහෙමෙහෙ ඇවිදීම අපහසුය. ඔබතුමාගේ බලකායට අවශ්‍ය ද සැපයීම මට භාරය. දේවයන්වහන්ස, එනිසා මා කියා එවන වේලාවෙහි යමු’ය කියායි. එතැන්පටන් මුළු සාකේත නගරය නිරන්තර නැකැත්කෙළියක් විය. රජුන් ඇතුළු සියල්ලන්ට මල්ගඳවිලවුන් හා වස්ත්‍රාදිය පිළියෙලවී තිබිණි. ඒ සිය්ලලෝ මේ සිටුවරයා අපටම සැළකිලි කරයි. මේ අයුරින් දැන් තෙමසක් ඉක්ම ගියේය. මහලියපළිඳනාව මෙතෙක්ම නිමවා අවසන් නොවීය. කර්මාන්තය භාරකරුවෝ අවුත් සිටුවරයාට; අපට වෙනත් අවශ්‍ය දෙය්ක නම් නැත. බලකායට ආහාර පිසීමට අවශ්‍ය දර ප්‍රමාණවත් නැතැයි කීහ.
සිටුවරයා, ඔවුන් අමතා, යම් මේ නගරයේ දිරාගිය ඇත්ශාලා, දිරූ ගෙවල් කඩා ඒ දර ගෙන ආහාර පිසව්යයි කීය. එසේ කළත් තවත් අඩමසකින් පැමිණ දර නැතැයි දැන්වූහ. මේ කාලයේ දර සෙවීම අපහසුය. රෙදි ගබඩා හැර ගොරෝසු සළු රැගෙන වැටි වශයෙන් හදා තෙල්සැළිවල දමා තෙමා ආහාර පිසව්යයි නියෝග කෙළේය. ඔවුහු අඩමසක් එසේ කළහ. මෙසේ සිවුමසක් ගතවෙන විටත් පළඳනාවේ වැඩ අවසන් නොවීය.
පළඳනාවේ නූල්වලින් කළයුතු තැන් රන්නූලෙන් කරනලදි. එය පැළඳිකල ඉස්මුදුනේ සිට පිටිපතුල දක්වා වැටෙයි. තැන්තැන්වල මුදුත් යොදා තිබිණි. රත්රන් ගැටද විය. ඒ කොකු ගන්වනපාස හෙවත් මළ රිදීය. මස්තක මුදුනේ එක් මුදුවකි. කන්සිළු දෙකෙළවර මුදු දෙකකි. ගළවළුව ළඟ එක් මුද්දකි. දෙදසරුවේ මුදු දෙකකි. දෙවැලමිටදී දෙකකි. උකුළු දෙකෙළවර මුදු දෙකකි. ඒ ප්‍රසාධනයේ මුදුනෙහි නටන මොනරෙකි. උගේ දකුණු පියාපතේ ස්වර්ණමය පියාපත් පන්සීයකි. වම් පියාපතේද පියාපත් පන්සීයකි. තුඩ පබළුමුවාය. ඇස් නීලමාණික්‍යමයය. ග්‍රීවයත් පිළත් නිල්මිණිමුවාය. තඹවන්තටු රන්මුවාය. පාසඟලත් එසේමය. විශාඛාව ඒ ආභරණය පැළඳි කල පර්වතමුදුනක සිට නටන මොනරකුමෙන් දිස්විය. පියාපත් දහසක හඬ දිව්‍යසංගීතයක් මෙන් හෝ පංචාංගිකතූර්ය නාදයක් මෙන් හෝ පැවතිණි. සමීඵයට පැමිණි කෙනෙක් පමණක් ඌ ජීවමාන මොනරකු නොවන බව දැනගත්හ. ඒ පළඳනාව කෝටි නවයක් අගනේය. සෑදීමේ කුලිය පමණක් ලක්ෂයකි.
කිනම් කුශල හේතුවකින් ඈ මේ පළඳනාව ලැබුවාද? ඈ කාශ්‍යප බුදුන්කල විසිදහසක් භික්ෂූන්ට චීවර සඳහා රෙදි පූජාකොට නූල්ද ඉදිකටුද පඬුද තමන්ම දුන්නාය. ඒ චීවරදානයේ පිනෙන් මේ ප්‍රසාධනය ලැබුවාය. ස්ත්‍රීන්ට චීවරදාන නිසා මහලියපළඳනාවක් ලැබීමෙන් පින මස්තකප්‍රාප්ත වෙයි. පුරුෂයන්ට සෘද්ධිමය පාත්‍ර හා සිවුරු ලැබීමෙනි. මෙසේ ඒ මහසිටු සිවුමසක් දුවට මගුල් පෙරහැර පවත්වා ඈට කහවනු පිරවූ ගැල් පන්සීයක් දායාද වශයෙන් දුන්නේය. ඒ හැරුණුකොට රත්රන් පිරවූ ගැල්පන්සීයක්, රිදී පිරවූ ගැල් පහක්, තඹ බඳුන් ගැල් පහක්, පටරෙදි හා කෝසෙය්‍ය වස්ත්‍ර පිරවූ ගැල් පන්සීයක්, ගිතෙල්, ඇල්හාල් පිරවූ ගැල් පහක්, නගුල් වියගස් ආදිය පිරවූ ගැල් පන්සීයක් ආදි වශයෙන් දුන්නේය. එසේ කරන ලද්දේ මගේ දුව ගිය තැනකදී අසවල් දෙය මට අවශ්‍යයයි අනුන්ගේ ගෙවල්වලට කිසිවකු නොයැවිය යුතුයයි සිතමින්ය. එක් එක් රියක සර්වාලංකාරයෙන් සැරසුණු වර්ණදාසීන් (වෙශ්‍යාවන්) තිදෙනා බැගින් ඇති රථ පන්සීයක්ද දුන්නේය. කුමරිය නෑවීම, ආහාර කැවීම, සැරසීම ආදිය කරව්යයි එක්දහස් පන්සීයක් පරිචාරිකාවන්ද දුන්නේය. ඉන්පසු මගේ දුවට සරකුන්ද අවශ්‍යයයි සිතා, මිනිසුන්ට කථාකොට සගයෙනි යව්. කුඩා ගවගාල හැර දිගින් තුන්ගව්වක් තුළ බෙරතුනක් ගෙන සිටිව්. පළලින් රියන් එක්සිය සතළිසක් තැන බෙර රැගෙන සිටිව්. දෙනුන්ට ඉන් එහා යෑමට ඉඩ නොදෙව්. එසේ සිට බෙරහඬ නංවාලවයි කීවේය. ඔවුහු එසේ කළහ. ඔවුහු දෙනුන් ගාලෙන් නික්මී ගව්වක් ගිය තැන බෙර නාදකළහ.
නැවත අඩ යොදුනක් ගියකල බෙර ගැසූහ. නැවතත්ත තුන් ගව්වක් ගිය කලද බෙර නාදකළහ. හරස් අතට දෙනුන්ගේ ගමනද නැවැත්වූහ. මෙසේ දිගින් ගව්තුනක්ද පළලින් රියන් එකසිය හතළිහක්ද යන බිම් පෙදෙසක දෙන්නු ඔවුනොවුන් එකට ගැටෙමින් පිරී සිටියහ. සිටුතෙම, මගේ දුවට මෙපමණක් දෙනුන් සෑහෙයි. දොරවල් වසව්යයි ගාල්දොර වැස්සවීය. එසේ වැසූකල විශාඛාවගේ පින්බලයෙන් සැට දහසක් ගොනුන්ද දෙනුන්ද පැනපැන අවුත් නික්මුණාහ. මිනිස්සු වළක්වද්දීත් එපමණක් ගොන්නුද දෙන්නු නික්මුණාහුය. එහි වසුපැටියෝ ඒ දෙනුන්ගේ වෘෂභයන් බවට පත්වූහ.
කිනම් පිනකින් මේ හරක් මෙසේ ගියාහුද? අනුන් නවත්වද්දීත් දන් දුන් හෙයිනි. ඈ කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි කිකී නම් රජුගේ දූවරුන් සත්දෙනාගෙන් සංඝදාසී නමින් බාලම දුවණිය වී විසිදහසක් භික්ෂූන්ට පස්ගෝරස දන් දෙන අවස්ථාවේ ළදරු සාමණේරවරු පාත්‍රය අතින් වසා එපා එපායයි කියද්දීත් මෙය මිහිරියි, මෙය මනාපයි කියමින් දන් දුන්නාය. මෙසේ මේ පිනෙන් වළක්වද්දීත් හරක් නික්මුණාහ.
සිටුවරයා විසින් මෙතෙක් ධනය දුන්කළ සිටුබිරිඳ, හිමියනි, ඔබ මගේ දුවට සියල්ල සංවිධානය කෙළෙහිය. එහෙත් ඇගේ වතාවත් සඳහා දාසදාසීන් සංවිධානය නොකෙළෙහිදැයි ඇසුවාය. මම ඈ සමග නොයන්නන් බෙල්ලෙන් අල්වා නොයවන්නෙමි. රථයට නැගී යන වේලාවෙහි දුව සමග යනු කැමැත්තෝ යෙත්වා, නොයනු කැමැත්තෝ නොයත්වායි කියමි.
ඉන්පසු හෙට මගේ දුව පිටවී යන්නීයයි ගර්හයෙහි සිට දුව සමීපයෙහි හිඳුවාගෙන, දුව, පතිකුලයට ගියපසු මේ ආචාරධර්මයන් රැකියයුතුයයි අවවාද දුන්නේය. මිගාර සිටාණෝත් ළඟම ගර්හාගාරයක සිටි ධනංජයට අවවාද දුන්නේය. හෙතෙම සිටු දුව අමතා, දුව පතිකුලයෙහි වසනවිට ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය, පිටත ගිනි ඇතුළට නොගතයුතුය. දෙන්නාටම දියයුතුය. නොදෙන්නාට නොදිය යුතුය, දෙන්නාටත් නොදන්නාටත් දියයුතුය, සුවසේ හිඳ ගතයුතුය, සුවසේ කෑයුතුය, සුවසේ නිදාගතයුතුය, ගිනි පිරිමැසියයුතුය. ඇතුළත දෙවියන් වැඳියයුතුය. මේ දසවිධ අවවාදදී දෙවෙනි දවස සියලු ශ්‍රේණීන් කැඳවා රාජසෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු ඇපකාරයන් හැටියට තබා ඉදින් එහි ගියපසු මගේ දුව අතින් දෝෂයක් ඇතිවුවහොත් ඔබ විසින් එය නිවැරදි කළයුතුයයි කියා, නවකෙළක් අගනා මහලියපළඳනාවෙන් දුව සරසා නානවිට අවශ්‍ය කුඩුවර්ග සඳහා සිවුපණස්කෙළක් ධනය දී රියට නංවා, සාකේත නගරය වටා තමා සන්තක, අනුරාධපුරය පමණවූ බත්ගම් තුදුසක ප්‍රචාරයක් කරනුයේ, මගේ දුව සමග යනුකැමති අය යෙත්වායි කියා යැවීය. ගම්වැසියෝ ඒ අසා අපේ ආර්යාව යනවිට අපට මෙහි විසීම කුමකටදැයි තුදුසක් ගම්වලල අය කිසිවෙක් නොනැවතී නික්මුණාහුය. ධනංජය සිටුවරයාත් රජුටත් මිගාර සිටුවරයාටත් සත්කාර කොට ටිකදුරක් පසුගමන්කොට ඔවුන් සමග දුව පිටත් කෙළේය.
මිගාර සිටුතෙමේ සියලු දෙනාට පසුව යානයක හිඳ යන අතර බලකාය දැක මේ කවුරුන්දැයි ඇසීය. ඔබේ යෙහෙළියට මෙහෙකම් කරන දාසදාසියෝයයි කීකල, මෙතරම් පිරිසක් පෝෂණය කරන්නේ කවුරුන්ද, ඔවුන් තළා පලවා හරිව්, පලා නොයන්නෝ එත්වයි විධාන කළහ. විශාඛාවෝ, පහවයව්, නොවළක්වව්, ඔවුන්ගේ පෝෂණය සාදාගැනීමට ඔවුන්ම වගබලා ගන්නවා ඇතියි කීවාය. මෙසේ කීනමුත් සිටුවරයා, දුව, නැහැ. මොවුන්ගෙන් අපට වැඩක් නැත. මොවුන් පෝෂණය කරන්නේ කවුරුන්දැයි ගල්කැට ලීදඬු ආදියෙන් තළා පලාගියවුන් හැර ඉතිරිවූවන් හැරගෙන මෙපමණ අපට ප්‍රමාණවත්යයි පිටත්ව ගියේය.
ඉන්පසු විශාඛාව සැවැත්නුවර දොරටුවට පැමිණ, වැසුණු යානයකින් යම්ද නැතහොත් විවෘත රියකින් යන්නෙම්දැයි සිතුවාය. වැසුණු යානයකින් යනවිට මහලියපළඳනාවේ විශේෂත්වයක් නොපෙනේයයි සිතා සියලු නගරවාසීන්ට තමන් පෙනෙමින් විවෘතරථයක සිට නුවරට පිවිසියාය. විශාඛාව දුටු සැවැත්නුවර වැසියෝ මේ විශාඛාවටම මෙබඳු සම්පත් ලැබීම සුදුසුයයි කීවාහුය. ඈ මහසම්පත් සහිතව සිටුමැදුරට පැමිණියාය.
ඈ එහි ගිය දිනයේම සියලු නුවරවැස්සෝ අපේ ධනංජය සිටුතුමා, ඔබගේ නගරයට ගිය වෙලාවේ මහත් සත්කාර කෙළේයයි තමතමන්ගේ ශක්තිබල පමණින් පඬුරු යැවූහ. විශාඛාවෝද එසේ ලැබුණු තුඩුපඬුරු ඒ නගරයෙහිම නොයෙක් පවුල් අතර සියල්ලම බෙදා හැරියාය. මෙසේ ඈ මෙය මගේ මෑණියන්ට දෙව. මෙය පියාට. මෙය සොහොයුරාට, මෙය නැගණියන්ටයයි ඔවුනොවුන්ගේ වයස් අනුව ප්‍රියවචනද සහිතව යැවූවිට සියලු නුවර වැස්සෝ නෑයන් මෙන් වූහ. ඈ එහි ගිය දවසේම රාත්‍රිභාගයෙහි ආජානීය වෙළඹක් පැටවකු වැදුවාය. ඈ දාසීන් සමග දඬුවැටපහන් ගෙන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නාවා තෙල්ගා තමන් වසන තැනටම ගියාය.
මිගාර සිටුතෙමේත් පුතාගේ ආවාහමංගල්‍යය සූදානම් කොට ළඟම විහාරයේ වැඩ සිටින තථාගතයන්වහන්සේ සිහිනොකර දිගුකලක පටන් නිර්වස්ත්‍ර ශ්‍රමණයන් කෙරෙහි ලෙන්ගතුකම් දැක්වීමේ පුරුද්දට අනුව මගේ ආර්යයන්වහන්සේලාටත් සත්කාර කරන්නෙමියි දිනක් සියගණන් අලුත් බඳුන්වල ජලය රහිතව පායාස උයවා පන්සීයක් නිර්වස්ත්‍ර තවුසන්ට ආරාධනා කොට තමන්ගේ ගෙදරට කැඳවා, මගේ යෙහෙළියන් අවුත් රහතන්වහන්සේලා වඳින්නැයි විශාඛාවට හසුනක් යැවීය. ඈ රහත් යන වචනය අසා සේවාන් ආර්යශ්‍රාවිකාවක හෙයින් තුටුපහටුව ඔවුන්ගේ බොජුන්හලට පැමිණ ඔවුන් දැක මෙවැනි ලැජ්ජාභය නැති එවුන් රහතන්වහන්සේලාද? මගේ මාමා මා මෙහි කැඳවූයේත් ඇයිදැයි චී චී යනුවෙන් සිටුවරයාට ගර්හාකොට තමන් වසන තැනටම ගියාය.
අචේලකයෝ ඈ දැක සියල්ලෝ එකහඬින් සිටුවරයාට ගැරහූහ. ගෘහපතිය, ඔබට වෙනත් යෙහෙළියක් සොයාගත නොහැකිවීද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවිකාවක්වූ මේ මහා කාලකණ්ණිය මෙහි ගෙනාවේ ඇයි? වහාම මෑ මේ ගෙයින් එලවා දමවයි කීහ. හෙතෙම, මොවුන්ගේ වචන මාත්‍රයෙන් ඈ බැහැර කළ නොහැකිය. ඈ මහාකුලයක දුවණියකියි සිතා, ආර්යයෙනි, ලාබාල අය දැනගෙනත් නොදැනත් නොයෙක්දේ කරත්, ඔබවහන්සේලා නිහඬවනු මැනවැයි ඔවුන් පිටත් කර මහාර්ඝ අසුනක හිඳගෙන රන්තලියකට දිය නුමුසු මීපැණි සහිත පායාසය ගෙන අනුභව කරයි.
ඒ වේලාවෙහිම එක් තෙරුන්වහන්සේ නමක් පිඬුපිණිස හැසිරෙන ගමන් ඒ ගෙටද පැමිණියහ. මාමාට පවන් සලමින් සිටි විශාඛාව උන්වහන්සේ දැක මාමාට ඒ බව කීම නුසුදුසුයයි ඔහුට තෙරණුවන් පෙනෙන සේ එතැනින් ඉවත්ව සිටියාය. ඒ බාලතෙම තෙරුන් දැකත් නුදුටුවාක් මෙන් වී මුහුණ යටට හරවාගෙනම කෑවේය. විශාඛාවෝ සිය මාමා තෙරණුවන් දැකත් ඒ ගැන නොසලකන බව දැන, ස්වාමීනි, වෙනත් ගේකට වඩිනු මැනවි. මගේ මාමා පුරාණය අනුභව කරන්නේයයි කීහ. සිටුතෙම, නිගණ්ඨයන් දොස්කී කල්හිත් ඉවසා සිටි නමුත් පුරාණය කයි යනුවෙන් කී ක්ෂණයකින්ම අත ඉවතට ගෙන මේ පායාස මෙතනින් ගෙන යව්. මෑ මේ ගෙයින් බැහැර කරව්. මෑ මගේ මේ මංගල්‍ය අවස්ථාවේ මා අශුචි කන්නෙකු බවට පත්කරතියි කීවේය.
එම සිටු නිවසෙහි සියලු දාසකම්කරුවෝ විශාඛාව සන්තකයහ. කවුරු නම් අත්පාවලින් අල්ලා ගනිත්ද? කටෙන් වචනයක් කීමට සමර්ථයෙක් නැත. විශාඛා, මාමාගේ කථාව අසා, පියාණනි, මෙපමණකින් අපි බැහැර නොයන්නෙමු. ඔබ මා මෙහි ගෙන ආවේ තීර්ථයෙන් දිය අදින කුම්භදාසියක මෙන් නොවෙයි. මවුපියන් ඇත දූවරු මෙවැනි දේකින් නික්ම නොයන්නියෝය. මේ කරුණ නිසාම මගේ පියා මා මෙහි එනවිට කෙළෙඹියන් අටදෙනෙකු කැඳවා යම් යෙහෙකින් මගේ දුවණියගේ දොෂක් ඇතිවුවහොත් එය පිරිසිදු කරව්යයි ඇපකොට මා ඔවුන් භාරයේ තැබීය. එහෙයින් ඔවුන් කැඳවා මගේ දෝෂඅදෝෂභාවය පිරිසිදු කරන්නැයි කීවාය.
සිටුතෙම මෑ යහපත් දෙයක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, මේ දැරිය, මේ මංගල මොහොතේ රන්තලියෙහි නිරුදක පායාසය අනුභව කරන මා අශුචි කන්නෙකියි කියයි. මෑට දොස් පවරා මෑ මෙතනින් ඉවත් කරව්යයි කීවේය. මෑණියනි එසේදැයි ඔවුහු ඇසූහ. මම එසේ නොකියමි. එක් පිණ්ඩපාතික තෙරනමක් පිඬු පිණිස ගෙදොර සිටියදී මගේ මාමා දියරහිත මධුපායාසය අනුභව කළේ තෙරුන් ගැන නොසිතාය. මම මගේ මාමා මේ ආත්මයේ පින් නොකරයි. පෙර කළ පින්වල ආනිසංස අනුභව කරයි යන කල්පනාවෙන් ස්වාමීනි, වෙනත් ගෙයකට වඩිනු මැනවි, මගේ මාමා පුරාණය අනුභව කරන්නේයයි කීවෙමි, මෙහි මගේ කිසි දොසක් ඇද්ද? නැත. අපේ දුව යුක්තියක්ම කියයි. ඉතින් ඇයට කිපෙන්නේ ඇයි? ආර්යයනි, දෝෂය මෙපමණක්ද? එසේ වේවා, මෑ එක්දිනක් රෑ මැදුම්යම දාසදාසියන් පිරිවරා ගෙපිටිපස්සට ගියාය. මෑණියනි, එසේ කළාද? දරුවනි, මම වෙනත් කරුණකට නොගියෙමි. මේ ගෙදර ආජානේය වෙළඹක් පැටවෙකු වැදුවාය. එය ගණනකට නොගෙන සිටීම අයුක්තකියි දඬුවැටපහන් ගෙන්වාගෙන දාසීන් සමග ගොස් වෙළඹට දරුවන් ලැබීමේදී කළයුතු සත්කාර කරවීමියි කීවාය. ආර්යයනි, අපේ දුව ඔබගේ ගෙදර දාසීන්වත් නොකරන වැඩ පවා කරයි. ඔබ එහි කිසියම් වරදක් දකින්නෙහිද? ආර්යයනි, මෙයද දොසක් විය නොහැකිය.
මැගේ පියා මෑ මෙහි එන දවසේ සැඟවුණු අරුත් ඇති අවවාද දහයක් දුන්නේය. ඒ අවවාදවල අර්ථය මම නොදනිමි. මට ඒ අවවාදවල අර්ථ කියා දෙනු මැනවි. මැගේ පියා ඇතුළත ගිනි පිටට නොදියයුතුයයි කීවේය. ළඟම ඇති ගෙයකට ගින්දර ටිකක් නොදී අපට ජීවත්වීමට හැකිද? මෑණියනි, මෙසේ කීවේ ඇයිද? දරුවනි, මගේ පියා මෙය කීවේ සාමාන්‍ය ගිනි ගැන නොවේ. එය කියන ලද්දේ, මේ අර්ථය සඳහාය, එනම් දුව, ඔබේ නැදිමයිලන්ගේ අගුණ දැක බැහැර ඒ ඒ ගෙවල්වලට ගොස් එහි සිට ඒ අගුණ නොකියව. එබඳු බිහිසුනු වෙනත් ගින්නක් නැත. ආර්යයනි, එය එසේමයි. මැයගේ පියා බැහැර ගිනි ඇතුළට නොගතයුතුයයි යන්නෙන් කීවේත් එබඳු අදහසකි. ගෙයතුළ ඇතිවන ගිනි ඇතිකල පිටතිනුත් අපට ගෙන ඒම කළ හැකිද? මගේ පියා එය කියන ලද්දේ ඉහත අර්ථය දැක්වීමට නොවේ. එසේ කියනලද්දේ මෙන්න මේ අර්ථය සඳහාය.
එනම්, ළඟපාත ගෙවල්වල ගැහැණු හෝ මිනිස්සු නැදිමයිලන්ගේ අගුණ කියති. ඔවුන් කියන ඒ අගුණකථා අසාගෙන අවුත් අසවල් අය ඔබේ මේ මේ අගුණ කියතියි එය නැවත නොකියව යන අර්ථයයි. එබඳු ගින්නක් හා සමාන වෙනත් ගින්නක් නැති හෙයිනි. මෙසේ මේ කාරණයෙනුත් ඈ නිදොස් කෙනෙක්ම වූවාය. සෙසු කරුණුවලදීත් අර්ථ ගතයුත්තේ මේ අයුරිනි.
ඒ සෙසු කරුණුවල අදහස මෙසේ දතයුතුයි, ඇගේ පියා දෙන්නාටම දියයුතුයයි කීවේ යමෙක් යමක් ඉල්ලාගෙන ආපසු දෙයිද ඔවුන්ටම දියයුතුයි යන අදහස සඳහා කියනලදි. යමෙක් ගත්දෙය ආපසු නොදෙයිද, ඔවුන්ට නොදියයුතුයි යන අදහස සඳහා කියනලදි. දෙන්නාටත් නොදෙන්නාටත් දියයුතුයි යනු දිළිනදන් නෑමිතුරන් ආදි තමන් වෙත පැමිණෙන අය සඳහා ආපසු දීමට හැකිවුවත් නැතත් දියයුතුමය යන අර්ථය සඳහා කියනලදි. සැපසේ ඉඳගත යුතුය යනු මෙහි, නැන්දා මාමා ස්වාමියා යන අය දැක නැගී සිටිය යුතු තැන්වල ඉඳගෙන සිටීම නුසුදුසුය යන අදහස සඳහා කියනලදි. සැපසේ කෑයුතුය යනු නැන්දා මාමා ස්වාමියා ආදීන්ට පෙර නොකා ඔවුන්ට කවා සියල්ලන්ට ආහාර ලැබූනොලැබූබව දැනගෙන පසුව තමන් ආහාර ගතයුතුය යන අදහස සඳහා කියනලදි. සැපසේ නිදියයුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය නිදීමට පෙර ඇඳට ගොස් නොනිදිය යුතුය. ඔවුන් සඳහා කළයුතු වත්පිළිවෙත්කොට පසුව තමන් නිදාගත යුතුය යන අදහස සඳහා කියනලදි. ගිනි පිරිමැසිය යුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය ගිනිකඳන් මෙන්ද, නාගරාජයන් මෙන්ද සිතා ඔවුන් දෙස බැලියයුතුය යන අදහසයි. ඇතුළත දෙවියන් නැමදිය යුතුය යනු නැන්දා මාමා සැමියා යන අය දෙවියන් ලෙස දැක්කයුතුය යන අදහස සඳහා කියනලදි.
සිටුවරයා මෙසේ ඒ දසඅවවාදයේ අර්ථ අසා පිළිතුරක් දීගත නොහැකිව බිම බලා සිටියේය. අනතුරුව කෙළෙඹියෝ, සිටුතුමනි, අප දුවණියගේ තවත් දොස් ඇද්දැයි ඇසූහ. ආර්යවරුනි නැත. එසේනම් නිදොස් මැය නිකරුණේ ගෙයින් පිටත්කර හරින්නෙහිදැයි ඇසූහ. එය ඇසූ විශාඛාව, ආර්යවරුනි, කෙසේ වෙතත් මගේ මාමාගේ වචනයට අනුව පළමුව පිටත්ව නොගියෙමි. එසේ යෑම යුතුනැත. මගේ පියා මා මෙහි එවනවිට මගේ දොස් නිදොස්කරනු පිණිස මා ඔබට භාර කොට එවීය. නුඹලා විසිනුත් මගේ නිදොස් බව දැනගන්නා ලදහ. දැන් ඉතින් මා පිටත්ව යෑම සුදුසුයයි දාසදාසියන් හා යානවාහනාදිය සූදානම් කරව්යයි අණ කළාය.
ඉන්පසු සිටුවරයා ඒ කෙළෙඹියනුත් සමග ගොස් දුව මා නොදැන කීදෙයට මට සමාවන්න. පියාණනි, ඔබට ක්ෂමා කළයුතුය. එහෙයින් ක්ෂමා කරමි. මම බුදුසසුනෙහි නොසැලෙන සැදැහැති කුලදුවක වෙමි. භික්ෂුසංඝයාගෙන් තොරව විසීම මට කළනොහැකිය. ඉදින් මගේ රුචියට අනුව භික්ෂුසංඝයාට සැලකීමට ඉඩ ලබන්නෙම් නම් මෙහි වසමියි කීවාය. දරුව ඔබට මනාප අයුරකින් ඔබේ ශ්‍රමණයන්ට පිළිදැගුම් කරවයි ඔහු කීය.
විශාඛාවෝ බුදුන්ට ඇරැයුම් කොට දෙවෙනි දිනයේ නිවසට කැඳවූවාහුය. නග්න ශ්‍රමණයෝත් බුදුන් මිගාර සිටුගෙදරට එනබව අසා එහි ගොස් ගෙය පිරිවරා සිටියාහුය. විශාඛාව දක්ෂිණෝදකය පිළිගන්වා සියලු සත්කාර පිළියෙල කොට මගේ මාමාත් අවුත් දසබලයන්වහන්සේ වළඳවාවයි හසුනක් යැව්වාය. එහි යනු කැමතිවූ සිටුවරයා, ගෘහපතිය, ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත නොයවයි ආජීවකයෝ වැළැක්වූහ. මගේ යෙහෙළිය ඔබම බුදුන් වළඳවාපිය මැනවැයි කියා යැවීය. ඈ බුදුන් ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා බත්කිස අවසන, නැවත, මගේ මාමා අවුත් ධර්මය අසන්නැයි ලිපියක් යැව්වාය. ඉන්පසු ඔහු දැන් නොයාම නම් ඉතාම අකටයුත්තකියි ධර්මය අසනු කැමැත්තෙන් යන ඔහුට නිගණ්ඨයෝ මෙසේ කීය. එසේනම් බුදුන් සමීපයට නොගොස් තිරයකින් මෙහා සිට බණ අසවයි කියා ඔහු එහි යාමට පෙරාතුවම ගොස් තිරයක් ඇද තැබූහ. සිටුතෙම ගොස් තිරයෙන් පිටුපස හිඳගත්තේය.
තථාගතයන් වහන්සේ, ඔබ තිරයකින් එහා හෝ සිටින්න. බිත්තියෙන් හෝ පර්වතයෙකින් හෝ පරසක්වළ හෝ සිටින්න. මම බුද්ධ නම් වෙමි. මගේ ශබ්දය ඔබට ඇස්වීමට මට හැකියයි මහදඹකඳක් සොලවන්නාක් මෙන්ද අමා වැස්සක් වස්වන්නාක් මෙන්ද දහම් දෙසීමට පිළිවෙල කථාව පටන්ගත්හ. බුදුවරුන් දහම් දෙසනකල ඉදිරිපිට සිටියත් පසුපස සිටියත් සක්වළ සීයක් ලක්ෂයක් ඉක්මවා සිටියත් අකනිටාබඹලොව සිටියත්, බුදුරජාණන්වහන්සේ ඔවුන් දෙසම බලන්නාක් මෙන්ද ඔවුනොවුන් සමග කථා කරන්නාක් මෙන්ද දැනෙයි. බුදුවරු සඳ වැනි උපමා ඇත්තෝය. සඳ අහස මැද සිටි කල්හි මගේ හිස උඩින් සඳය, සඳ මගේ හිස උඩින්ය වශයෙන් වැටහෙයි. ඒ නිසා බුදුන් කොහි වැඩ සිටියත් ඉදිරියෙහි සිටින්නාක් මෙන් වැටහෙයි. මේ වනාහි උන්වහන්සේගේ සැරසූ හිස සිඳ, අඳුන්ගෑ ඇස් ගළවා හදවත උපුටා අනුන්ට දාසයන්කොට ජාලිය සදිසි පුතුන්, කෘෂිණාජිනා වැනි දූවරුන් මද්‍රි වැනි භාර්යාවන් පරිත්‍යාග කොට දුන් දානයෙහි ප්‍රතිඵලයයි.
මිගාරසිටුහුත් තථාගතදේශනාව අසමින්ම තිරයෙන් බැහැර සිටිමින්ම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන්පෙලෙහි පිහිටා අචල ශ්‍රද්ධාවෙන් සම්පූර්ණව තිසරණයෙහි නිසැකවී තිරකෙළවර ඔසවා ගොස් යෙහෙළියගේ තනය මුවින් ගෙන ඔබ අද පටන් මගේ අම්මායයි ඇය මවුතනතුරෙහි තබාගත්තේය. ඈ එවක් පටන් මිගාරමාතා නමින් ප්‍රකටවූවාය. පසුකල පුතෙකු ලබා ඔහුට මිගාර යන නම තැබීය. මහසිටු යෙහෙළියගේ තනය මුවෙන් මුදාහැර ගොස් බුදුන්ගේ පාමුල වැඳවැටී අත්වලින් පා මඩිමින් මුහුණ තබා සිඹිමින් ස්වාමීනි, මම මිගාර යයි තෙවරක් කියා ස්වාමීනි, මම මෙතෙක්කල් යම් තැනකට දුන්නොත් එය මහත්ඵල වන්නේයයි නොදනිමි. දැන් මගේ යෙහෙළියන් නිසා එය දැන ගතිමි. සියලු අපා දුකින් මිදුණෙමි. මගේ යෙහෙළිය මේ ගෙට ඒමෙන් ඒ පැමිණීම මට හිතවැඩක් පිණිසම වීයයි කියා මේ ගාථාවද කීවේය.
යම් තැනක දුන්නොත් එය මහත්ඵලවීමට නම්
එතැන අද දුටුවෙමි අදම එය දැනගත්තෙමි
යෙහෙළිය මෙගෙට ඒමෙන් මහඵලයක්ම සිදුවිණි
විශාඛාවෝ දෙවෙනි දිනය සඳහාද බුදුන්ට නිමන්ත්‍රණය කළෝය. ඉන්පසු දෙවෙනි දිනයේ, නැන්දා සෝවාන් ඵලයට පැමිණියාය. එතැන්පටන් එය සසුන සඳහා විවෘත දොරවල් ඇති ගෙයක්විය.
දිනක් සිටුතෙම, මගේ යෙහෙළිය මට බෙහෙවින් උපකාරවත් වූවාය. එහෙයින් ඈ පහදින යමක් කරන්නෙමියි, මැගේ පළඳනාව ඉතා බරය. එය නිතර පැළඳීම අසීරුය, මෑට රෑදාවල් දෙකේම සැහැල්ලුව පැළඳ සිටියහැකි පළඳනාවක් කරදෙන්නෙමියි සිතා ලක්ෂයක් වටිනා ‘ඝනමට්ටක’ නම් පළඳනාවක් කරවා එය නිමිකල්හි බුදුන්ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා අන්තයෙහි සුවඳපැන් සොළොස් කළයකින් විශාඛාවන් නහවා බුදුන් ඉදිරියෙහි පළඳනාව පළඳවා බුදුන් වැන්දවීය. ශාස්තෘන්වහන්සේ අනුමෝදනා පවත්වා විහාරයට වැඩමවූසේක.
විශාඛාවෝද එතැන් පටන් දානාදි පින්කම් කරමින් බුදුන් හමුවෙහි වර අටක්ද ලබා, ගගනතලයෙහි චන්ද්‍රරේඛාවක් මෙන් ප්‍රකටව දූපුතුන් සමග වෘද්ධියට පැමිණියාහුය. ඈ පුත්තු දසදෙනෙක්ද, දූවරු දසදෙනෙක්ද වූවාහුය. ඔවුනතර එක් එක් පුතෙකුට දුවකටද දහය දහය බැගින් දූපුතුන් වූහ. ඔවුන්ටද එකඑක්කෙනාට දහය දහය බැගින් දූපුත්තු වූහ. මෙසේ ඇයට (පුත්‍ර නප්තෘ පනත්ත) දරු මුණුබුරු මීමුණුබුරු සන්තාන වශයෙන් අටදහස් හාරසියවිස්සක පරපුරක් ඇතිවිය. ඈ එක්සියවිසි අවුරුද්දක් ජීවත්වූවාය. හිස එක් නරකෙසක් හෝ නොවීය. නිතර සොළොස් හැවිරිදි දැරියක මෙන්විය. දරු මුනුබුරු මීමුණුබුරන් පිරිවරා විහාරයට යන ඈ දැන මෙතන විශාඛා කවුරුන්දැයි විචාරන තරමට සමානව සිටියාය. යන්නාවූ විශාඛා දැක ආර්යාව යනවිටම හොබනේය. ටිකක් හෝ යෑම මැනවයි සිතූහ. ඒ පිරිසෙහි යමෙක් සිටීම, හිඳීම, වැදහෙවීම දැක, දැන් ටිකක් වැද හොවීනම් යහපති, ආර්යාව වැදහොවින විට වඩාත් ශෝභනයයි සිතූහ. මෙසේ ඇගේ සතර ඉරියව්වලදීම යහපත් ලෙසම දුටුවහ. ඈ ඇතුන් පස්දෙනෙකුන්ගේ ධෛර්යය දරයි. රජු විශාඛා ඇතුන් පස්දෙනෙකුන්ගේ ශක්තිය දරන්නීයයි අසා, ඈ විහාරයට ගොස් බණ අසා එන වේලාවෙහි ශක්තිය විමසනු පිණිස ඇතා ලිහා ඉදිරියට හැරියේය. ඇතා සොඬ ඔසවාගෙන විශාඛාව ඉදිරියට ගියේය.
ඇගේ පිරිවර ස්ත්‍රීන්ගෙන් සමහරු පලාදිව ගියහ. සමහරු නැවතී සිටිනු දැක ඇයිදැයි ඇසූකල ආර්යාවනි, රජු ඔබේ ශක්තිය විමසීමට ඇතු එවා ඇතැයි කීවාහුය. විශාඛා මේ දැක පලායෑමෙන් වැඩක් නැත. මේ ඇතා කෙසේ ගන්නෙම්දැයි සිතා, මොහු දැඩිව අල්ලා ගත්තොත් නැසෙනු ඇතැයි ඇඟිලිවලින් සොඬය අල්ලාගෙන මදක් නැමීය. ඇතුට එය දැරීමටවත් හිටගෙන සිටීමටවත් නොහැකිවිය. රජමිදුලෙහි උක්කුටුකව වැටුණේය. මහාජනයා සාධුකාර දුන්හ. ඈ සපිරිවරින් සැපසේ ගෙට පැමිණියාය.
එකල්හි, සැවැත්නුවර, විශාඛමිගාරමාතාවට බොහෝ පුත්තු බොහෝ මුණුබුරෝ වූහ. ඔවුහු නිරෝගී වූහ. මංගල සම්මතයහ. එතරම් පුතුන් මුණුබුරන් දහස් ගණනක් සිටියද එයින් එකෙකු හෝ අතරතුර මරණයට පත්නොවීය. සැවැත්නුවර වැසියෝ මංගල්‍ය සැණකෙළි අවස්ථාවලදී ප්‍රථමයෙන්ම විශාඛාවට ආරාධනාකොට වළඳවති. එක් උත්සව දිනයක සැදී පැහැදුණු මහාජනයා බණ අසනු පිණිස විහාරයට යනකල ආරාධනා කළ තැනක ආහාර ගත් විශාඛාවෝද මහලියපළඳනාව පැළඳ මහාජනයා සමග විහාරයට ගොස් ආභරණ ගළවා දාසියට දුන්නාය. මේ සඳහා මෙසේත් කියා ඇත. ‘එකල සැවැත්නුවර උත්සවයක් විය. මහාජනයා හොඳින් සැරසී විහාරයට යනකල, විශාඛාවෝද හොඳින් සැරසී විහාරයට ගියහ. ඉක්බිති විශාඛාමිගාරමාතා ආභරණ ගළවා උතුරුසළුවෙහි පොදියක් කොට බැඳ දාසියට දුන්නාය. කෙල්ල මේ ආභරණ පොදිය ගනුව කියාය.’ ඕතොමෝ හිස පටන් පාදාන්තය දක්වා අලංකාර කරන මේ පළඳනා පැළඳ විහාරයට පිවිසීම අයොග්‍යයයි එය මුදා පොදියක් කොට තමන්ගේ පිනටම උපන් ඇතුන් පස්දෙනකුන් උසුලන බර දැරියහැකි දාසිය අත තැබීය. ඇයම එය ඉසිලීමට සමත් වෙයි. එහෙයින් ඇයට මෙසේ කීවාය. දැරිය, මේ පසාධනා ගන්න. බුදුන් ළඟින් ඉවත්ව එනකල එය පැළඳගන්නෙමි. එය ඈ අතට දී ඝනමට්ටක පළඳනාව පැළඳ බුදුන් වෙත පැමිණ බණ අසා අවසානයෙහි බුදුන් වැඳ ආපසු යෑමට පැමිණියාය. දාසියට පළඳනා තැබූ තැන අමතක විය. බණ ඇසීමට පැමිණි අයගේ යමක් අමතකවූ විට එය රැගෙන තැබීම ආනන්ද හිමියන්ගේ සිරිතකි. එහෙයින් එදින උන්වහන්සේ මහලියපළඳනාව දැක බුදුන්ට දන්වා සිටියහ.
ස්වාමීනි, විශාඛාව පළඳනාව අමතක කර ගියාය. ආනන්ද එසේනම් එය යම්කිසි තැනක තබන්න. තෙරණුවෝ එය ඔසවා ගෙනගොස් ඉණිමං කෙළවරේ එල්ලා තැබූහ. විශාඛාව සුප්පියා සමග ආගන්තුකයන් ගිලනුන් ගමිකයන් ආදීන් වෙනුවෙන් කළයුතුදේ විමසමින් ඇතුළු විහාරයෙහි හැසුරුණාය. ඒ උපාසිකාව ඇතුළු විහාරයෙහි ඇවිදිනු දකින, ගිතෙල් මීපැණි, තෙල් ආදිය අවශ්‍යවන අයත් විශේෂයෙන් ළදරු සාමණේරවරුනුත් තලි ආදිය රැගෙන ඈවෙත පැමිණෙත්. එදවසද ඔවුහු එසේ කළහ. එක් ගිලන් භික්ෂුවක් දුටු සුප්පියා ස්වාමීනි කුමක් අවශ්‍යදැයි අසා, දඩමසක් කැමැත්තෙමියි කීකල ස්වාමීනි, එසේය එවන්නෙමියි කියා ගොස් දෙවෙනි දිනයේදී කැපසරුප් මසක් නොලැබ තම කළවා මාංශයෙන් කොටසක් කපා පිස යවා කළයුතු කාර්යයකොට, යළි බුදුන් කෙරෙහි ප්‍රසාද බලයෙන් ප්‍රකෘතිමත් සිරුරු ඇත්තියක්ද වූවාය.
විශාඛාවෝ, ගිලනුන් ද ළදරු සාමණේරවරුන්ද බලා වෙනත් දොරටුවකින් නික්මී විහාරයට ආසන්න තැනක සිට, මෑණියනි, පසාධනය ගෙනව, එය පැළඳ ගන්නෙමියි කීවාය. එකෙණෙහි ඒ දාසිය අමතකව ආ බව දැන, ආර්යාවනි, එය අමතකව ආවෙමියයි කීවාය. එසේනම් ගොස් එය ගෙන එව. ඉදින් මාගේ ආර්යයන්වහන්සේ වන ආනන්ද හිමියන් විසින් එය රැගෙන වෙනත් තැනක තබා ඇත්නම් එය නොගෙනව. මම එය ආර්යයන්වහන්සේටම පරිත්‍යාග කරමි. මිනිසුන්ගේ අමතකව යන බඩු ආනන්ද හිමියන් තැන්පත් කර තබන බව ඈ දන්නා නිසා මෙසේ කීවාය.
තෙරණුවෝද ඒ දාසිය දැක කුමක් නිසා ආවාදැයි අසා මගේ ආර්යාවගේ පළඳනාව අමතකව ගියෙමියි කී විට එය මම ඉණිමං කෙළවර එල්ලා ඇත. රැගෙන යවයි කීහ. ආර්යයන්වහන්ස, ඔබවහන්සේගේ අතින් ඇල්ලූ ආභරණ අපේ ආර්යාවට ආභරණ නොවන හැටියට ප්‍රකාශ කරනලදැයි කියා හිස් අතින්ම ගොස් මෑණියනි කිමෙක්දැයි විශාඛාව ඇසූ විට එපුවත දන්වා සිටියාය. මෑණියනි, ආර්යයන්වහන්සේ විසින් අතින් ඇල්ලූ මේ පළඳනා නැවත පැළඳීමට මම නොකැමැත්තෙමි. එය මම ආර්යයන්වහන්සේලා උදෙසා පරිත්‍යාග කරමි. එහෙත් මෙය ආර්යයන්වහන්සේ විසින් පරිහරණය කිරීම අපහසුය. එනිසා මෙය විකුණා කැපභාණ්ඩ ගෙන එන්නෙමි. යව. ගොස් එය රැගෙන එවයි කීවාය. ඈ ගොස් එය ගෙන ආවාය. විශාඛාව එය නොපැළඳම ලෝහකාරකයන් (ලෝකුරුවන්) කැඳවා එහි අගය විමසුවාය. මෙහි අගය නවකෝටියකි. කරවීමේ කුලිය ලක්ෂයකියි කීකල පළඳනාව යානයක තබා එසේනම් මෙය විකුණව්යයි කීවාය.
එපමණ ධනය්කදී එය ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය. ඒ පළඳනාව පැළඳීමට සුදුසු ස්ත්‍රීහුද දුර්ලභය. මේ පොළොවෙහි ස්ත්‍රීන් තිදෙනෙක් පමණක් මහලියපළඳනාව ලැබූහ. විශාඛා මහාඋපාසිකාව, බන්ධුලමල්ල සේනාපතිගේ භාර්යාවවූ මල්ලිකාව සහ බරණැස් සිටුදුවණිය යනු ඒ ඇයයි. ඒ නිසා විශාඛාව තමන්ම එහි මිල ගෙවා නවකෝටි එක්ලක්ෂයක් ගැළක පටවාගෙන විහාරයට ගොස් බුදුන් වැඳ ස්වාමීනි, මගේ ආර්යවූ ආනන්ද හිමියන් විසින් මගේ පළඳනාව ඔසවා ගෙන ඒමෙන් උන්වහන්සේ අතින් අත ගෑවුණු නිසා මට ඒ පළඳනාව පැළඳීමට නොහැකිවීමි. එය විකුණා කැප සරුප් පරිදි පරිහරණයට යෙදවීම සඳහා විකිණීමට යෙදුවෙමි. එය මිළදී ගැනීමට හැකි අයෙක් නොදැක මාම එය මිලදීගෙන ඒ මුදල් රැගෙන ආවෙමි. ඒ මුදල සිවුපසයෙන් කුමක් සඳහා යොදවන්නෙම්ද?
විශාඛාවනි, පෙරදිග දොරටුවෙහි, භික්ෂුසංඝයා උදෙසා වාසස්ථානයක් කරවීම සුදුසුයි. ස්වාමීනි, එය සුදුසුයයි සතුටු සිතින් පිළිගත් විශාඛාව නවකෝටියට බිම් කොටසක් ගත්තාය. තවත් නවකෝටියකින් විහාරය තැනීම ආරම්භ කළාය. ඉන්පසු දිනක බුදුරජාණන්වහන්සේ උදෑසන ලොවබලන සේක් දෙව්ලොවින් චුතව භද්දිය නුවර සිටුපවුලේ උපන් භද්දිය නම් සිටුපුත්‍රයාගේ හේතුසම්පත් දැක අනේපිඬුසිටුහුගේ ගෙදර දන් වළඳා උතුරු දොරටුවට අභිමුඛව වැඩසිටිසේක. සිරිතක් වශයෙන් විශාඛාවගේ ගෙදර දන් වළඳා දකුණුදොරින් නික්ම දෙව්රමෙහි වැඩ වසති. අනේපිඬුසිටුගෙදරින් දන් වළඳා දකුණුදොරින් නික්ම දෙව්රමෙහි වැඩ වසති. අනේපිඬුසිටුගෙදරින් දන් වළඳා පෙරදිග දොරටුවෙන් නික්මී පූර්වාරාමයෙහි වැඩවසති. උතුරු දොරින් නික්මුණු භාග්‍යවතුන්වහන්සේ දැක චාරිකාවේ හැසිරෙන බව සෙසු අය දැනගනිත්.
විශාඛාවෝ එදින භාග්‍යවතුන්වහන්සේ උතුරු දොරටුව පැත්තෙන් වඩින්නාහුයයි අසා වේගයෙන් ගොස් වැඳ ස්වාමීනි, චාරිකාවේ වඩිනසේක්දැයි ඇසුවාය. විශාඛාව එසේය. ස්වාමීනි, මෙතෙක් ධනය වියදම් කොට ඔබවහන්සේ උදෙසා විහාරයක් කරවමි. එහෙයින් නවතිනු මැනවියි ඉල්ලාසිටියාය. විශාඛාවනි, මෙය නොනැවැත්විය යුතු ගමනකි. ඈ මෙය ඒකාන්තයෙන් හේතුසම්පත් ඇති කිසිවෙකු දැක යන බුදුන්ගේ ගමනකියි සිතා, එසේනම් ස්වාමීනි, කළයුතුනොකළයුතු දේ දන්නා එක් භික්ෂුනමක් සමග වඩිනු මැනවයි කීවාය. විශාඛාවනි ඒ භික්ෂුවගේ පාත්‍රය ගනුවයි වදාළකල්හි, ඈ ආනන්ද හිමියන් ප්‍රිය කරන නමුත්, මහමුගලන් හිමියෝ සෘද්ධිමත්හ. උන්වහන්සේ නවතා ගැනීමෙන් මාගේ විහාරකාර්යය සැහැල්ලු වියහැකියයි සිතා මුගලන් හිමියන්ගේ පාත්‍රය ගත්තාය. තෙරණුවෝ බුදුන් දෙස බැලූහ. මොග්ගල්ලාන, ඔබගේ පිරිවර භික්ෂූන් පන්සී්‍යක් සමග නවතින්නැයි වදාළහ. උන්වහන්සේ නැවතුණහ.
ලී දඬු සඳහාද ගල්ගඩොල් සඳහාද පනස්සැට යොදුන් දුර සිටවුවද විශාල ගස්ගල් පටවාගත් ගැල්වුවද උන්වහන්සේගේ ආනුභාවයෙන් එදිනම ආපසු පැමිණියේය. ගස්ගල් පැටවීමෙන් ගැල්වලටද කිසි හානියක් නොවීය. ගැල්වල රෝද ගරාදි නොබිඳිණි. නොබෝ කලකින් දෙමහල් ප්‍රාසාදය නිමවිය. යටිමහලේ කාමර පන්සීයකි. උඩුමහලේ කාමර පන්සීයකි. එය කාමර දහසකින් හෙබි ප්‍රාසාදයක්විය.
බුදුරජාණන්වහන්සේ නවමසක් චාරිකාවේ හැසිර යළි සැවැත්නුවරට වැඩමවූහ. විශාඛාවගේ ප්‍රාසාදයේ වැඩද නවමසකින් අවසන් විය. රත්රනින් නිමවූ ප්‍රාසාදයේ කොත පැන්කළ හැටක් දරන තරම් විශාලත්වයෙන් කරවනලදි. ශාස්තෘන්වහන්සේ දෙව්රමට වඩිතියි අසා පෙරගමන් කොට බුදුන් තම විහාරයට පමුණුවා, ස්වාමීනි, මේ සාරමාසය භික්ෂුසංඝයා සමග මෙහිම වසනු මැනවි. ප්‍රාසාද පූජාව කරන්නෙමියි ඉල්ලා සිටියාය. ශාස්තෘන්වහන්සේ ආරාධනය ඉවසූසේක.
විශාඛාවෝ එතැන් පටන් බුද්ධප්‍රමුඛ මහඟනට එම විහාරයෙහිම දන්දෙති. දිනක් ඇගේ යෙහෙළියක් දහසක් වටිනා එක් වස්ත්‍රයක් රැගෙන අවුත් යෙහෙළිය, මම මේ වස්ත්‍රය ඔබේ ප්‍රාසාදයේ බුමුතුරුණක් වශයෙන් අතුරනු කැමැත්තෙමි. එය ඵලන තැනක් කියන්නැයි පැවසුවාය. යෙහෙළිය, ඉදින් මම ඔබට ඒ සඳහා තැනක් නැතැයි කීවොත්, ඒ සඳහා අවකාශයක් නොදෙනු කැමැත්තේයයි ඔබ සිතන්නෙහිය. ඒ නිසා ඔබම මේ ප්‍රාසාදයේ මහල් දෙකේම බිමත් කාමර දහසත් බලා වස්ත්‍රය අතුරක තැනක් සොයාගන්නැයි කීවාය. දෙවැන්නී දහසක් අගනා වස්ත්‍රයත් රැගෙන ඇවිද බලන්නී ඊට වඩා වටිනාකමින් අඩු වස්ත්‍රයක් අතුරා ඇති තැනක් නොදැක මට මේ ප්‍රාසාද පූජාවට හවුල්වීමට ඉඩක් ලබාගත නොහැකියයි දොම්නසටපත්වී එක් තැනක හඬමින් සිටියාය.
ඉන්පසු එසේ සිටි ඈ දුටු ආනන්ද තෙරණුවෝ අඬන්නේ ඇයිදැයි ඇසූහ. ඈ ඒ කරුණ දන්වා සිටියාය. ඔබ නොහඬන්න. මම එය අතුරන තැනක් කියන්නෙමියි කියා, ඉණිමංකෙළවර පා ධෝවනය කරන තැනත් පාපිස්නා තැනත් අතර මෙය අතුරන්න. එවිට භික්ෂූහු පා දොවා ප්‍රථමයෙන් මෙහි පා පිස ඇතුළට පිවිසෙනු ඇත. එවිට ඒ පින ඔබට මහත්ඵලවන්නේයයි කීහ. එය විශාඛාව විසිනුදු නොසැලකූ තැනකි.
විශාඛාව සිවුමසක් ඇතුළුවිහාරයෙහි බුද්ධ ප්‍රමුඛ මහසඟනට දන් දුන්නාය. අවසාන දිනයෙහි භික්ෂූන්ට සිවුරුරෙදි දුන්නාය. නවක සංඝයාට ලැබුණු චීවරසාටක දහසක් මිලය. සියලු දෙනාගේම පාත්‍ර බෙහෙත්වලින් පුරවා දුන්නාය. ඒ දානපරිත්‍යාගයට කෝටි නවයක් වැයවිය. මෙසේ විහාරය සඳහා බිම මිලදී ගැනීමට නවකෝටියක, විහාර කර්මාන්තයට නවකෝටියක, විහාර පූජාවට නවකෝටියක වශයෙන් ඈ විසිහත් කෝටියක් ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කළාය. ස්ත්‍රියකව සිට මිථ්‍යාදෘෂ්ටිකයෙකුගේ ගෙදර වසමින් මෙබඳු පරිත්‍යාගයක් කළ අන් ස්ත්‍රියක් නැත. ඈ විහාරපූජාව අවසන්වූ දිනයෙහි හිරු බැස යන සවස් වේලෙහි පුතුන් මුණුබුරන් පිරිවරා මා විසින් පෙර පැතූ සියල්ලක්ම මුදුන් පැමිණියේයයි සිතමින් විහාරය හාත්පස ඇවිදිමින් මිහිරි හඬින් ගාථාපහක් කියමින් ප්‍රීති උදානයක් ප්‍රකාශකළාය.
සුදුමැටි අලෙව් දුන් දුටුවන් පහදවනසුලු
පහයක් නිමා කොට ගෙන කවදා පුදන්නෙම්දැයි
මා තුළ තිබූ පැතුමන් අද මුදුන්පත්විය එලෙසම
ඇඳපුටු බුමුතුරුණු එලා නිම කළ සෙනසුන්
කවදා පුදන්නෙම්දැයි මගේ සිත තිබූ පැතුමන්
කිසි අඩුවක් නැතුව එලෙසින් මුදුන්පත් විය
ලහබතින් පිරිසිදු මස් හා උචිත ලෙස පිසූ
දන් සකසා පුදන්නට කවදා ලැබේදැයි යන
පැතුමන් පිරූ පෙරසිට එලෙසින් මුදුන්පත් විය
කසීවත් කොමු කපුවිල්න නිමවූ සුදුසු චීවර
අරියමහසඟනට කවදා පුදන්නෙම්දැයි
පැතූ පැතුමන් පෙර සිට එලෙසින් මුදුන්පත් විය
කිරි වෙඬරු මීපැණිවලින් සපිරුණු බෙහෙතුත්
අරිය මහසඟනට කෙදින පුදන්නෙම්දැයි
පැතූ දහසක් පැතුමන් මුදුන්පත් විය එලෙසම
භික්ෂූහු ඇගේ ගායනාහඬ අසා බුදුරදුන් වෙත පැමිණ, ස්වාමීනි, අපි මෙතෙක් දිගු කලක් යනතුරු විශාඛාවගේ ගායනයක් නම් කිසිකලෙකත් නොඇසීමු. ඕතොමෝ අද පුතුන් මුණුබුරන් පිරිවරා ගෙන ගායනාකරමින් විහාරය වටායයි. කිම ඇගේ පිත කිපී ගොස්ද, නැතහොත් උමතුරෝගය වැළඳීදැයි ඇසූහ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, එසේ නොවෙයි. මගේ දුවගේ ප්‍රාර්ථනා අද සම්පූර්ණ විය. අදහස ඉටුවිය. ඒ සොම්නසින් ගායනාකරමින් උදන් අනමින් විහාරය වටා ඇවිදින්නීයයි වදාළහ. ස්වාමීනි, ඇගේ මේ ප්‍රාර්ථනා කවදා කළ පැතුම්ද? මහණෙනි එසේ නම් අසව්දැයි වදාළහ. එසේය ස්වාමීනි, අසන්නෙමුයයි කීකල අතීත කථාව ගෙන හැර පෑහ.
මහණෙනි, මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් බුදුකෙනෙක් ලොව පහළ වූහ. උන්වහන්සේට ආයුෂ අවුරුදු ලක්ෂයකි. පිරිවර ක්ෂීණාශ්‍රවයන් ලක්ෂයකි. නගරය හංසවතී නමි. පියා සුනන්ද නම් රජුය. මව සුජාතා නම් දේවීය. උන්වහන්සේගේ අග්‍රඋපස්ථායිකාවවූ එක් උපාසිකාවක් වර අටක් ඉල්ලාගෙන මාතෘස්ථානයෙහි සිට බුදුන් සිවුපසයෙන් පෝෂණය කරයි. උදේ සවස උවටැනටයයි. ඇගේ එක් සහායිකාවක්ද ඈ සමග විහාරයටයයි. ඒ සහායිකාව අනිත් උපාසිකාව බුදුන් සමග ඇති විශ්වාසභාවයද ස්වාමිත්වයද දැක කුමක්කොට මෙසේ බුදුන්ට වල්ලභවන්නීදැයි සිතා, බුදුන්වෙත පැමිණ, ස්වාමීනි, මේ ස්ත්‍රිය ඔබවහන්සේගේ කවුරුන්දැයි විචාළාය. ඇය උපස්ථායිකාවන්ගෙන් අග්‍රය. කුමක් කොට උපස්ථායිකාවන්ගෙන් අග්‍ර වූවාද? කල්ප ලක්ෂයක් ප්‍රාර්ථනා තැබීමෙනි. දැනුත් ප්‍රාර්ථනාකොට ලැබිය හැකිද ස්වාමීනි, එසේය ලැබිය හැකිය. ස්වාමීනි, එසේනම් භික්ෂූන් ලක්ෂයක්ද සමග සතියක් මාගේ දානය භාරගනු මැනවැයි ආරාධනා කළාය. ශාස්තෘන්වහන්සේ ආරාධනය ඉවසූසේක. ඈ සතියක් දන්දී අවසාන දිනයේ සිවුරු රෙදිද දී බුදුන් පාමුල ඉඳගෙන ස්වාමීනි, මම මේ දානයෙහි ඵල වශයෙන් දිවඉසුරු ආදි වෙනත් දෙයක් නොපතමි. ඔබවහන්සේ වැනි එක් බුදුවරයෙකු සමීපයෙහි වර අටක් ලැබ මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් පෝෂණය කිරීමට සමර්ථවූවන් අතර අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කළාය. ශාස්තෘන් වහන්සේ මැගේ ප්‍රාර්ථනාව සමෘද්ධවේද නැද්දැයි අනාගතය කල්ප ලක්ෂයක් බලා කල්පලක්ෂයකගේ කෙළවර ගෞතම නම් බුදුවරයන් වහන්සේ උපදින්නෝය. එකල ඔබ විශාඛා නම් උපාසිකාවක වී ඒ බුදුන් හමුවෙහි වර අටක් ලැබූ මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් බුදුන් පෝෂණය කරන උපාසිකාවන් අතර අග්‍ර වන්නෙහියයි ප්‍රකාශ කළහ. ඇගේ ඒ සම්පත්තිය හෙටම ලැබුවාක් මෙන් විය.
ඕතොමෝ ආයු ඇතිතාක් පින්කොට එයින් චුතව දෙව්ලොව ඉපද දෙව්ලොව මිනිස්ලොව සැරිසරන්නී කාශ්‍යප සම්බුදුන් කල කසීරට කිකීනම් රජුන්ගේ සත්දූවරුන්ගේ බාලම වූ සංඝදාසී නමින් ප්‍රකටව වෙනත් පවුලකට ගොස් එහි නැගණිවරුන් සමග දිගුකලක් දානාදි පින්කම් කොට, කාශ්‍යප බුදුන් පාමුලද අනාගතයෙහි ඔබ වැනි බුදුකෙනකුන්හට මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් බුදුන් පෝෂණය කරන දායිකාවන්ගෙන් අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කළාය.
එතැන්පටන් දෙව්මිනිසුන් අතර සැරිසරමින් අවුත් මේ ආත්ම භාවයෙහි මෙණ්ඩක සිටුපුත් ධනංජය සිටුහුගේ දුවණියවී ඉපිද, මගේ සසුනෙහි බොහෝ පින් කළාය. මහණෙනි, මෙසේ මගේ දුවණිය ගායනා කරමින් පැතූ පැතුම් මුදුන් පැමිණි බව දැක උදන් ඇනීයයි වදාරා ශාස්තෘන්වහන්සේ දහම් දෙසමින්, මහණෙනි, දක්ෂ මල්කරුවෙක් නානාප්‍රකාර මහත්වූ මල් රාශියක් ලැබ නන්වැදෑරුම් මල්මාලා කරයිද, ඒ අයුරින් විශාඛාවගේ සිත නානාප්‍රකාට කුසල් කිරීමට නැමීයන්නේ යයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.
නොයෙක් මල් රැස්කර බුහුටිවූ මල්කරුවෙක්
එකින්එක මල් තබමින් නොයෙක් මල්දම් ගොතන්නා සේ
උපන් හැම මිනිසා නොයෙක් පින්කම් කළයුතුම වේ.
එහි පුප්ඵරාසිම්හා යනු නානාප්‍රකාර මල්රාශියකින්ය. කයිරා යනු කරන්නේය. මාලාගුණෙ බහු යනු නටු එකතු කරමින් ගොතන මල්දම් ආදි වෙනස් වෙනස් ලෙස ගොතන මල්දම් සමූහයයි. (විවිධ මල්දම්ය). මච්චෙන යනු මරණයට පැමිණිය යුතුය යන අරුතින් මේ නම ලබා ඇති සත්ත්වයා විසින් චීවරදානාදි භේද ඇති බහුං කුසලං කත්තබ්බං යනු පුෂ්පරාශියක් ගැනීම බොහෝමල් ඇති බව දැක්වීම සඳහායි. යම් ලෙසකින් අඩුමල් ප්‍රමාණයක් ඇත්තේ නම් මල්කරු දක්ෂයෙක් වූයේ නමුත් බොහෝ මල්දම් කිරීමට නොහැකිවේ. අදක්ෂ මල්කරුවෙකුට අඩුමල් ප්‍රමාණයක් ලැබුණු විට බොහෝ මල්දම් ගෙතීම කළ නොහැකිම වෙයි. බොහෝ මල් ලැබුණොත් දක්ෂ වූ මල්කරු බොහෝ මල්දම් ගොතයි.
ඒ ආකාරයෙන් යම්හෙයකින් එක් පුද්ගලයකුගේ ශ්‍රද්ධාව අඩු වෙයිද, සම්පත් බොහෝ ඇතත් ඔහුට බොහෝ කුසල් කිරීමට නොහැකිවෙයි. ශ්‍රද්ධාවත් අඩුනම් සම්පතුත් අඩුනම් එබඳු පුද්ගලයාට බොහෝ කුසල් කළ නොහැකිමවෙයි. මහත්වූ ශ්‍රද්ධාව ඇති නමුත් අල්පවූ සම්පත් ඇත්තෙකුටද බොහෝ කුසල් කළ නොහැකිවේ. මහත්වූ ශ්‍රද්ධාවත්, මහත් වූ සම්පතුත් ඇත්තාට මහත්වූ කුසල් කළ හැකිවෙයි. උපාසිකා විශාඛාවෝ එබඳුවූහ. ඒනිසා මෙසේ කියා ඇත. යථාපි -පෙ- කත්තබ්බං කුසලං බහුං යනුවෙන්.
දේශනාවසානයේ බොහෝ අය සෝවාන් ආදි මග ඵලවලට පත්වූහ. මහාජනයාටද එය සාර්ථක දේශනාවක් විය.