අප්පමත්තො අයං ගන්‍ධො යායං තගරචන්‍දනී
යො ච සීලවතං ගන්‍ධො වාති දෙවෙසු උත්තමො.
තුවරලා සඳුන් පිළිබඳ යම් සුවඳෙක් වේ ද, ඒ මේ සුවඳ ස්වල්පමාත්‍ර එකෙකි. සිල්වතුන්ගේ යම් උතුම් ගුණසුවඳෙක් වේ ද, එය දෙවියන් මිනිසුන් අතුරෙහි ද හමයි.
අප්පමත්තො අයං ගන්ධො යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන සමයෙහි මහාකාශ්‍යපතෙරණුවන්ගේ පිණ්ඩපාත දානයක් අරභයා දේශනා කළසේක.
දිනක් තෙරණුවෝ සත්දිනකින් පසු නිරෝධයෙන් නැගිට රජගහනුවර සපදාන පිඬුසිඟායන්නෙමියි නික්මුණාහුය. එදින සක්දෙව් රජුජුගේ, පරෙවි පාවැනි පාඇති පන්සීයක් දිව්‍යාප්සරාවෝ තෙරණුවන්ට පිණ්ඩපාතය දෙමුයයි උත්සාහවී පිණ්ඩපාත පන්සීයක් සූදානම් කරගෙන ගොස් අතරමඟ සිට, ස්වාමීනි, අපට අනුග්‍රහකොට මේ පිණ්ඩපාතය පිළිගනුමැනවයි ඉල්ලාසිටියහ. තෙපි යව්. මම දුප්පතුන්ට සංග්‍රහ කරනු කැමැත්තෙමියි කීහ. ස්වාමීනි, අප නොනසා අපට අනුකම්පා කරනු මැනවයි කීවාහුය. තෙරණුවෝ ඔවුන් ගැන දැනගෙන ප්‍රතික්ෂේප කළ නමුත් නැවතත් පහවී යනු නොකැමතිව ඉල්ලා සිටින ඔවුන්ට, තමන්ගේ ප්‍රමාණය නොදන්නහුද, පහව යව්යයි අසුරු ගැසූහ.
ඔවුහු තෙරුන්ගේ අසුරු ගැසූ ශබ්දය අසා තැතිගෙන එහි සිටිනු නොහැකිව පලාගොස් දෙව්ලොවටම පැමිණ ශක්‍රයා විසින් කොහේ ගියාහුදැයි ඇසූකල්හි, සමවතින් නැගී සිටි තෙරුන්ට පිණ්ඩපාතය දෙන්ට ගියෙමුයි කීවාහුය. ඉතින් තොප පිණ්ඩපාතය දුන්නාහුද, නැද්දැයි විචාළ කල්හි, පිළිගනු කැමති නොවූහයි කීවාහුය. කුමක් කීවාහුදැයි විචාළ විට දේවයිනි, දුප්පතුන්ට සංග්‍රහ කරන බව කීවාහුය. තෙපි එහි ගියේ කවර ආකාරයකින්ද? මේ හැටියෙන්මය දේවයිනි. තෙපි කෙසේනම් තෙරුන්ට පිණ්ඩපාතය දිය හැකිදැයි කියා, තමන් පිණ්ඩපාතය දෙනු කැමතිව, ජරාවෙන් දිරාගිය, දත් බිඳීගිය කෙස් පැසුණු නැමීගිය සිරුරක් ඇති මහල් නූල්කටින්නකුගේ ස්වරූපය ගෙන සුජා නම් දෙව්දුව එබඳුම මැහැල්ලක්කොට එක් පේසකාරක (රෙදිවියන්නන්ගේ) වීථියක් මවා නූල් දිගහරිමින් සිටියේය.
තෙරණුවෝත් දුප්පතුන්ට සංග්‍රහ කෙරෙමියි නගරයට මුහුණලා වඩනාසේක් නගරයෙන් පිටත එම වීථියම දැක එහි වඩනාසේක් ඒ දෙදෙනා දුටුවහ. ඒ වේලාවේ ශක්‍රතෙමේ නූල් දිගහරියි. සුජා නූල් දණ්ඩෙහි ඔතයි. තෙරණුවෝ, මොවුහු මහලුව සිටියදීත් වැඩ කරති. මෙනුවර මොවුනට වඩා දුප්පතුන් නැතැයි සිතමි. මොවුන් දෙන බත්හැන්දක් වුවද පිළිගෙන මොවුන්ට සංග්‍රහ කෙරෙමියි සිතා ඔවුන්ගේ ගෙදරට ගොස් අභිමුඛව සිටියහ. එසේ එන්නාවූ තෙරුන් දැක ශක්‍රතෙමේ. සුජාවට කථාකොට, සොඳුර, මගේ ආර්යයන්වහන්සේ අපේ ගෙදරට වඩිනාසේක. ඔබ ඒ නොදැක්කාක් මෙන් නිහඬව හිඳුව. ක්ෂණයකින් රවටා පිණ්ඩපාතය දෙමුයයි කීවේය. තෙරණුවෝ අවුත් ගෙදොර සිටගත්හ. ඔවුහු නොදැක්කාක් මෙන් තමන්ගේ වැඩ කරමින් ටිකවේලාවක් සිටියාහුය.
ඉන්පසු ශක්‍රතෙමේ ගෙදොර එක් තෙරකෙනෙකුන් මෙන් සිටින්නේ කවරෙක්දැයි සොයාබලන ලෙස කීවේය. හිමියනි, ඔබම ගොස් සොයාබලනු මැනවියි ඈ කීවාය. හෙතෙම ගෙයින් නික්ම තෙරුන් පසඟපිහිටුවා වැඳ දෑතින් තමදණ හිස්වලට අත තබා වෑයමින් (දණිපනිගා) නැගිට කිනම් තෙරකෙනෙකුන්දැයි මදක් පසුපසට ගොස් මගේ ඇස්වලින් දුම්දමන්නාක් වැනියයි කියා නළල උඩද අත තියා උඩබලා අනේ. හරිම දුකකි. අපේ ආර්යවූ මහාකාශ්‍යප හිමියෝ බොහෝ කලකින් අප කුටි දොරට වැඩියෝය. ගෙදර කිසිවක් ඇද්දැයි ඇසීය. සුජා ටිකක් කලබලවූවාක් වැනිවී ස්වාමීනි, ඇතැයි කීවාය.
ස්වාමීනි, මිහිරි අමිහිරි නොබලා අපට සංග්‍රහ කළ මැනවයි පාත්‍රය ගත්තේය. තෙරණුවෝ, මොවුන් දෙනුලබන්නේ පලා වුවත් ධාන්‍යකුඩු වුවත් ඔවුන්ට සංග්‍රහ පිණිස පාත්‍රය දුන්හ. හෙතෙම ගෙතුළට ගොස් වළඳ ශබ්දකර (නැතිබව ඇඟවීමට) එයින් එකතුකරගත් බතින් පාත්‍රය පුරවා තෙරුන් අත තැබීය. නොයෙක් සූපව්‍යංජනයෙන් යුත් ඒ පිණ්ඩපාතය මුළු නගරය සුවඳින් පුරවාලන්ට සමත් විය. තෙරණුවෝ, මොහුගේ පිණ්ඩපාතය දුප්පත් එකක්ද, පොහොසත් එකක්ද, ශක්‍රභෝජනය හා සමානය. මේ කවරෙක්දැයි සිතූහ.
පසුව ශක්‍රයා බව දැන, දුප්පතුන්ගේ සම්පත් වළකා ඔබ විසින් කළ දෙය බරපතළය. අද මා පැමිණියේ කවුරු හෝ දුප්පතෙකු මට දන්දී සේනාපතිතැනක් හෝ සිටුතනතුරටක් හෝ ඔහුට ලබාදීම සඳහාය. ස්වාමීනි, මට වඩා දුප්පතෙක් තවත් ඇද්ද? දෙව්ලොව දෙව්සිරිවිඳින ඔබ දුප්පතෙකු වන්නේ කෙසේද? ස්වාමීනි, එය එසේ නොවේ. මම බුදුන් උපදින්නටන පෙර යහපත් ක්‍රියා කෙළෙමි. දැන් මේ පවතින බුද්ධෝත්පාදකාලයෙහි යහපත් ක්‍රියාකොට චූලරථය, මහාරථය, අනන්තවර්ණදේවපුත්‍ර යන නමින් සිටින දේවපුත්‍රයන් තිදෙනා මට සමානව මටත් වඩා තේජස් ඇතිව ඉපදී සිටිති. නැකැත්කෙළි කෙළිමුයි පිරිවර දෙවඟනක් හා වීථිය මැදට පැමිණිකල ඔවුන් ළඟ සිටිනු නොහැකි මම පලාගොස් මගේ දිව්‍ය විමානයට වැදගනිමි. ඔවුන්ගේ සිරුරින් නැගෙන තේජස මා සිරුර වසා ගනී. මගේ සිරුරු තේජස ඔවුන්ගේ සිරුරු නොවසයි. ඉතින් ස්වාමීනි, මට වඩා දුප්පතෙක් තවත් ඇද්ද? එහෙම වුණත් මෙතැන් පටන් මා මෙසේ රවටා දන් නොදෙවයි කීහ.
වසන් කොට ඔබවහන්සේට දුන් දනෙහි මට පිනක් ලැබේද, නැද්ද? ඇවැත්නි, ඇත. එසේකල කුසල්කිරීම ස්වාමීනි, මට භාරය. හෙතෙම එසේ කියා තෙරුන් වැඳ සුජාද සමග තෙරණුවන් ප්‍රදක්ෂිණා කොට අහසට නැගී අහෝ දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං ආදි ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය. එහෙයින් මෙසේ කියා තිබේ:
එක් සමයෙක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර වේළුවනයේ කලන්දකනිවාප නම් ස්ථානයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ සතියක් එක් තැනක හිඳගෙනම පිප්ඵලිගුහාවෙහි වාසය කරති. එක්තරා සමාධියකට සමවැදී සතියක් එක් පර්යංකයකින් වැඩ සිටියේද වෙයි. ඉන්පසු ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ ඒ සතියට පසු ඒ සමාධියෙන් නැගිට්ටාහ. ඒ සමාධියෙන් නැගිටි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් වහන්සේට, මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් ඉතා යෙහෙකියි සිතිණි. ඒ වේලාවෙහි දේවතාවන් පන්සීයකට ආයුෂ්මත් මහාකාශ්‍යප හිමියන්ට පිණ්ඩපාතය පිදීමට උනන්දුවක් ඇතිවිය. ආයුෂ්මත් මහාකාශ්‍යප හිමියෝ ඒ පන්සීයක් දේවතාවන්ගේ බලාපොරොත්තුව ප්‍රතික්ෂේප කොට පූර්වාහ්න කාලයෙහි සිවුරු හැඳපෙරවාගෙන පාසිවුරු රැගෙන රජගහනුවර පිඬුසිඟා වැඩියහ.
එකල්හි ශක්‍රදේවේන්ද්‍රතෙම ආයුෂ්මත් මහාකාශ්‍යපහිමියන්ට පිණ්ඩපාතය දෙනු කැමතිව සන්නාලියෙකුගේ වෙස්ගෙන නූල් වියමින් සිටියේය. සුජා නම් අසුර කන්‍යාව නූල් පන්දුවෙහි ඔතමින් සිටියාය. ආයුෂ්මත් මහාකාශ්‍යපහිමියෝ සක්දෙවිඳුන්ගේ නිවසට වැඩියහ. සක්දෙවිඳු තෙමේ දුරින් වඩින ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් දැක, ගෙයින් නික්ම පෙරගමන්කොට පාත්‍රය ඉල්ලාගෙන ගෙට ගොස් ඝටිතෝදනය (වලඳ සූරමින් එකතු කර ආහාර-දංකුඩය) උපුටාගෙන පාත්‍රය පුරවා ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන්ට පූජාකෙළේය.
ඒ පිණ්ඩපාතය නොඑක් සුප, ව්‍යංජනවලින් සපිරි එකක් විය. මහාකාශ්‍යප හිමියන්ට, මේ තරම් සෘද්ධිආනුභාවයක් ඇති මේ පුද්ගලයා කවුද? යන සිතක් ඇතිවිය. ඒහාත් සමගම උන්වහන්සේට මේනම් ශක්‍රදේවේන්ද්‍රයාමයයි සිතක්ද පහළවිය. මෙසේ දැන, ශක්‍ර දේවේන්ද්‍රයාට මෙසේ කීහ. ශක්‍රදේවේන්ද්‍රය, ඔබ නැවතත් මෙසේ කළේ කෙසේද? ස්වාමීනි, මහාකාශ්‍යපයන් වහන්ස, අපටත් පිනෙන් ප්‍රයෝජන ඇත. අප විසිනිදු පින් කරගත යුතුය. ඉන්පසු සක්දෙවිඳු ආයුෂ්මත් මහාකාශ්‍යපහිමියන්ට වැඳ පැදකුණුකොට අහසට නැගී අහස අන්තරීක්ෂයෙහි තෙවරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශකෙළේය. ‘අහෝ දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං’ (අහෝ! කාශ්‍යප හිමියන් වෙත දානයක්දීම උතුම් දානයි) යනු ඒ ප්‍රීතිඋදානයයි.
භාග්‍යවතුන්වහන්සේ ඔහුගේ ඒ ශබ්දය අසා භික්ෂූන් අමතා, මහණෙනි සක්දෙව්රජ ප්‍රීතිවාක්‍ය කියමින් අහසින් යනහැටි අර බලව්යයි වදාළහ. ස්වාමීනි, ඔහු කළ පින්කම කුමක්ද? ඔහු රැවටිල්ලෙන් මපුත් කාශ්‍යප තෙරුන්ට පිණ්ඩපාතය දෙනලදි. එසේ දන්දී සතුටුසිතින් ප්‍රීතිවාක්‍ය කියමින් යයි. කාශ්‍යප තෙරණුවන්ට පිණ්ඩපාතය දියයුතු යයි ඔහු දැනගත්තේ කෙසේද ස්වාමීනියි භික්ෂූහු ඇසූහ. මහණෙනි, මගේ පුත්‍රයා සමාන පිණ්ඩපාතිකයෙකු දෙවියන්ද මිනිසුන්ද ප්‍රියකෙරෙතියි උන්වහන්සේද උදන් ඇනූහ. සූත්‍රයෙහි ආවේ මෙපමණකි.
භාග්‍යවතුන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අතිපිරිසිදුවූ දිව්‍යමය ශ්‍රොතෘවෙන්, අහසට නැගී අහස අන්තරීක්ෂයෙහි සිට ශක්‍රදේවෙන්ද්‍රන්ගේ අහොදානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං යන උදානය ඇසූසේක. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ එකරුණ දැන ඒ වේලාවෙහි මෙම උදානය ප්‍රකාශ කළසේක:
අනුන් පෝෂණයක් අතහැර තමන් පොහොනා
පිඬුසිඟා වළඳන රහතුන් වහන්සේලා
සදා සිහි නුවණින් හා නිවුණු ගුණයෙන්
නොසැලී සිටින උතුමෝ දෙවියන් අතර පියවෙතී
මේ උදානයත් ප්‍රකාශ කොට, මහණෙනි, සක්දෙවිඳු මගේ පුතාගේ සිල්සුවඳින් මෙහි අවුත් පිණ්ඩපාතය පිදීයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළසේක.
තගර රතුසඳුන් යන සුවඳ ඉතා අල්පය
සිල්වතුනගේ සුවඳ දෙවියන් අතරටද යේ
එහි අප්පමත්තො යනු අල්පමාත්‍ර යන අදහසයි. යොචසීලවතං යනු යම් ඒ සිල්වතුන්ගේ සිල්සුවඳක් වේනම් එය තුවරලාවලමෙන් හෝ රත්සඳුන්වල මෙන් හෝ සීමා සහිත නොවෙයි. ඉතාමහත් ලෙස පුළුල්ව පැතිරේ. ඒ කරුණ නිසාය. වාති දෙවෙසු උත්තමො උතුම්ය. ශ්‍රේෂ්ඨ බවට පැමිණ දෙවියන් අතරද මිනිසුන් අතරද හැමතැනම හමායයි, මැඩපවත්වාගෙන යයි.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියහ. දේශනාව මහාජනයාට සාර්ථක එකක් විය.