යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්‍ධකං
එවං සුභාසිතා වාචා අඵලා හොති අකුබ්බතො.
සිත්කලු වූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේ ද, එසේ ම මොනොවට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නො කරන්නහුට (ඇසීම ඉගැනීම දැරීම පිළිපැදීම නො කරන්නහුට) නිෂ්ඵල වේ.
යථාපි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්‍ධකං
එවං සුභාසිතා වාචා සඵලා හොති පකුබ්බතො.
සිත්කලු වූ මනා පැහැති සුවඳැති මල යම්සේ ද, එසේ ම මනා කොට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය එය කරන්නහුට සඵල වේ.
යථාපි රුචිරං පුප්ඵං ආදිමේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි ඡත්තපාණී නම් උපාසකවරයා අරභයා දේශනාකළසේක. සැවැත්නුවර, ඡත්තපාණී නමින් ත්‍රිපිටකධාරී අනාගාමී උපාසකවරයෙක් විය. ඔහු උදෑසනම සිල්සමාදන් වී බුද්ධොපස්ථාන සඳහා ගියේය. අනාගාමී ආර්යශ්‍රාවකයන්ට සමාදන්වීම් වශයෙන් උපොසථ කර්මයක් නැත. ආර්යමාර්ගයෙන්ම ඔවුහු බ්‍රහ්මචර්යාවද එක් වේලක් වැළඳීමද යන අංගවලට පැමිණෙති. එහෙයින්ම මෙසේ වදාරා තිබේ “මහරජ, ඝටීකාර කුම්භකාර තෙම එකභක්තිකය, බ්‍රහ්මචාරීය, සිල්වත්ය, යහපත් දහම්හි පිහිටියේය.” මෙසේ අනාගාමීහු ප්‍රකෘතියෙන්ම ඒකභක්තික බ්‍රහ්මචාරීහු වෙත්. ඔහුද එසේ පෙහෙවස් සමාදන්ව බුදුන් වෙත පැමිණ වැඳ දහම්කථා අසමින් හුන්නේය.
ඒ වේලාවේ පසේනදි කොසොල් රජතුමාද බුද්ධඋපස්ථාන පිණිස එහි පැමිණියේය. උපාසකතෙම එහි එන්නාවූ රජුන් දැක නැගිටිය යුතුද නැද්දැයි සිතා මම අග්‍රරාජයන්වූ බුදුන් ළඟ හිඳගෙන සිටිමි. එබඳු මා ප්‍රාදේශීය රජකු දැක හිටගැනීම අයුතුය. රජු නැගී නොසිටින මා දැක කිපෙන්නේය. ඔහු කිපුණත් නොනැගිටිමි. රජුන් දැක නැගී සිටීම ඔහුට ගරු කිරීමකි, එය බුදුන්ට ගෞරවයක් නොවන හෙයින් නොනැගිටිමියි නොනැගිට හුන්නේය. නුවණැත්තෝ ගරුකළයුත්තන් ළඟ ඉඳගෙන සිට නොනැගිටීම ගැන නොකිපෙත්. කොසොල් රජු මෙසේ නොනැගිට සිටින උපාසකවරයා දැක කිපුණු සිත් ඇතිව බුදුන්ට වැඳ එක්පසෙක හිඳගත්තේය.
බුදුරජාණන්වහන්සේ ඔහු කිපුණු බව දැන, මහරජ මේ ඡත්තපාණී උපාසකතෙම නුවණැත්තෙක. දහම් දුටුකෙනක, ත්‍රිපිටකධාරීය, අර්ථඅනර්ථයන් දැනීමේ දක්ෂයෙකියි උපාසකවරයාගේ ගුණ ප්‍රකාශ කළහ. ඔහුගේ ගුණකථා ඇසීමෙන් රජුගේ සිත මෘදුබවට පත්විය. දිනක් රජු ප්‍රාසාදය මුදුනෙහි සිටින විට අහර ගෙන අවසන්වූ ඡත්තපාණී උපාසක තෙම පාවහන් යුවළ දමාගෙන කුඩය ඉසලාගෙන රාජාංගනයෙහි යනු දැක කැඳවීය. හෙතෙම කුඩය හකුළා පාවහන් ඉවත්කොට රජුන් වෙත පැමිණ වැඳ එක්පැත්තක සිටියේය. ඉන්පසු රජු, පින්වත් උපාසකය ඔබ කුඩය හකුළා පාවහන් ඉවත් කර දැම්මේ ඇයි? රජු කැඳවන බව දැන ඒවා ඉවත්කර ආවෙමි. මා රජ බව ඔබ දැනගත්තේ අදද? රජතුමනි, ඔබ රජ බව මම හැමදාම දැන සිටිමි. එසේ නම් පෙර දිනයකදී බුදුන් සමීපයෙහි හිඳගෙන සිට මා දැක නොනැගිට්ටේ ඇයිද? මහරජතුමනි, මම එදා අග්‍රරාජයන්වහන්සේ ළඟ හිඳගෙන සිටියෙමි. ප්‍රාදේශීය රජකු දැක නැගී සිටියේනම් එය ශාස්තෘන්වහන්සේට අගෞරවයක් ප්‍රකාශ කිරීමකි. එහෙයින් නොනැගිට්ටෙමි. කමක් නැහැ, එය එසේ වේවා, ඔබ මෙලොව පරලොව අර්ථයන් දැනීමෙහි දක්ෂයෙකි. ත්‍රිපිටක ධාරියෙකි. අපේ අන්තඃපුරයෙහි අයට ධර්මය උගන්වන්නැයි රජු කීවේය.
දේවයන්වහන්ස, එය කළ නොහැකියි. හේතුව කුමක්ද? මහරජතුමනි, රජගෙදරට කටයුතු මහා භාරධූරය. පෙර නුපුරුදු හෙයිනුත් මෙය බරපතලය. එසේ නොකියව. පෙර දවස මා දැක නොනැගිට්ටෙමියි කුකුසක් නොකරව. දේවයිනි, ගිහියන් හැසිරෙන තැන්වල වැරදි සිදුවිය හැකිය. එනිසා එක් පැවිද්දෙකු කැඳවා ධර්මය උගන්වනු මැනවි’ යි කීය. රජු එසේනම් යහපති ඔබ යන්නැයි ඔහු පිටත් කර බුදුන් හමුවට ගොස්, ‘ස්වාමීනි, මල්ලිකාත් වාසභඛත්තියාත් ධර්මය ඉගෙන ගන්නෙමුයයි කියති. පන්සීයක් භික්ෂූන්ද කැටුව නිබද්ධව එහි වැඩමවා ධර්මය උගන්වනු මැනවැයි ඉල්ලා සිටියේය.
මහරජ බුදුවරු නිබද්ධව එක් තැනකටම නොයති. එසේනම් ස්වාමීනි, එක් තෙරනමක් දෙනු මැනවි. ශාස්තෘන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. උන්වහන්සේ නිබද්ධව එහි ගොස් ඔවුන්ට පාඩම් ඉගැන්වූහ. ඔවුන් අතර මල්ලිකා සකස්ව ඉගෙන සජ්ඣායනාකොට ආචාර්යවරයාට පාඩම් දෙයි. වාසභඛත්තියා සකසා ඉගෙන නොගනී. සජ්ඣායනා නොකරයි. ගුරුවරයාට කටපාඩම් නොදෙයි. දිනක් බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ගෙන්, ආනන්ද, උපාසිකාවරු ධර්මය ප්‍රගුණ කෙරෙත්දැයි ඇසූහ. ස්වාමීනි, මල්ලිකා හොඳින් ඉගෙන ගනී. මැනවින් සජ්ඣායනා කරයි. උග්තදෙය මැනවින් කටපාඩම්දීමට දක්ෂයි. ඔබ වහන්සේගේ ඥාතිදුවණිය හොඳින් ඉගෙනීම නොකරයි. හොඳින් සජ්ඣායනා නොකරයි. හොඳින් පාඩම්දීමට අපොහොසත්යයි කීහ. බුදුහු තෙරුන්ගේ වචනය අසා ආනන්ද, මා කී දහම සකසා නොඅසන්නාට, ඉගෙන නොගන්නාට, සජ්ඣායනා නොකරන්නාට, දේශනා නොකරන්නාට වර්ණයෙන් යුත් සුවඳ නැති මල්ක මෙන් ඵලයක් නොලැබෙයි. සකසා අසාගැනීම් ආදියකරන පුද්ගලයාට මහත්ඵල මහානිසංස වේයයි පවසා මේ ගාථා වදාළහ:
මැනවින් දෙසු දහම් පිළිනොපැද වැඩ කළහොත්
එය නොලැබී යයි පාට මලමෙන් සුවඳ නැතිමුත්
මැනවින් දෙසු දහම් පිළිපදින එහි නියැලෙන
ඵලය ඔහු සතුවේ සුවඳැති පාට මලමෙන්
එහි රුචිරං යනු ශෝභනය. වණ්ණවන්තං යනු වර්ණ සටහන්වලින් සම්පූර්ණවීමයි. අගන්ධකං යනු සුවඳ රහිතය.
එවං සුභාසිතාවාචා නම් ත්‍රිපිටක බුද්ධ වචනය සකසා නොහැදැරීමෙන් ලබන ඵලය වර්ණසටහන් සහිත සුවඳනැති මලක් සමාන වේ. යම් ලෙසකින් සුවඳ රහිත මලක් යමෙක් පළඳියිද, එයින් ඔහුගේ සිරුර සුවඳවත් නොවන්නාසේය. එසේම යමෙක් ත්‍රිපිටක ධර්මය සකසා ශ්‍රවණය කිරීම් ආදි වශයෙන් නොහැසිරෙයිද, එසේ සකස් කොට නොහැසිරෙන්නාට, එහි යෙදීම් වශයෙන් කළයුතු දේ නොකරන්නාට ඇසීම්සුවඳ, ත්‍යාගසුවඳ, ප්‍රතිපත්තිසුවඳ වහනය නොවෙයි. අසඵලවෙයි. එහෙයිනි කියනලද්දේ එවං සුභාසිතා වාචා අඵලාහොති අකුබ්බතො කියා. සගන්ධකං යනු සපුනිලුපුල් ආදි ආකාර ඇති මල්ය. එවං යනු යම්සේ එබඳු මල් දරන්නාගේ සිරුරෙන් සුවඳ පැතිරෙයිද, ත්‍රිපිටක වචන සංඛ්‍යාත සුභාෂිත වචනයද එබඳුය. පකුබ්බතො යනු යමෙක් සකසා අසාගැනීම් ආදි එහිලා කළයුතු දේ කරයිද, ඒ ක්‍රියාව ඒ පුද්ගලයාට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. සුතගන්ධ, වාතගන්ධ, පටිපත්තිගන්ධ යන සුවඳ ඔහු කෙරෙන් නික්මෙන හෙයින් මහත්ඵල මහානිසංස වේ යනු අර්ථයි.
දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. මහාජනයාට එය සාර්ථක දේශනාවක් විය.