න පරෙසං විලොමානි න පරෙසං කතාකතං
අත්තනො’ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච.
මෙරමාගේ පරොස් බස් මෙනෙහි නො කරන්නේ ය (නො කට යුතු). මෙරමා කළ නො කළ දුසිරි සුසිරි නො බලන්නේ ය. තමා කළ දුසිරි ද නො කළ සුසිරි ද බලන්නේ ය (බැලිය යුතු).
‘න පරෙසං විලොමානි’ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි පාඨික නම් ආජීවකයා අරභයා දේශනාකරන ලද්දකි. සැවැත්නුවර එක් ගෘහපතිනියක් පාඨික නම් ආජීවකයෙක් පුත්‍රස්ථානයේ තබා පෝෂණය කරන්නීය. ඇගේ අසල්වාසී ගෙවල්වල මිනිස්සු බුදුන්ගේ බණ අසා අවුත් ‘අහෝ පුදුමයි බුදුරදුන්ගේ ධර්මදේශනා’ යයි නානාප්‍රකාරයෙන් බුද්ධගුණ වර්ණනා කෙරෙත්, ඈ බුදුන්ගේ ගුණකතා අසා විහාරයට ගොස් බණ අසනු කැමතිව ඒ බව ආජීවකයාට කියා ආර්යයෙනි, මම එහි යන්නෙමියි කීවාය. හෙතෙම නොයවයි ගමන වළකයි, ඔහුගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමුත් වැළැක්වූයේමය.
ඈ මොහු මට විහාරයට ගොස් බණ අසන්ට නොදෙයි. බුදුන්ට ආරාධනා කොට මෙහිදීම බණ අසන්නෙමියි සවස්වේලෙහි පුත්‍රයා කැඳවා, යව, ගොස් හෙට දානය පිණිස බුදුන්ට ආරාධනා කරවයි යැවුවාය. ඔහු යන ගමන් ප්‍රථමයෙන් ආජීවකයන් වසනතැනට ගොස් ඔවුන් වැඳ සිටියේය. ඉන්පසු ඔහුගෙන් ඒ ආජීවකයා, කොහේ යන්නෙහිදැයි ඇසීය. ‘මවගේ වචනයෙන් බුදුන්ට ආරාධනා කරන්ට යන්නෙමි. ‘බුදුන් ළඟට නොයව. නෑ ආර්යයෙනි, මම මවට බිය වන්නෙමි. එනිසා යන්නෙමි. තමන්ට කරන සත්කාර අප දෙදෙනාට බෙදාගෙන කෑමට හැකි වේයයි සිාත නොයවයි කීය. නැහැ ආර්යයෙනි, අම්මා මට තර්ජනය කරනු ඇති, එහෙයින් යන්නෙමියි කීවේය. එසේනම් යව, ගොස් ආරාධනා කොට, අපේ ගෙය අසවල්තැනය, අසවල් වීථියේය, අසවල් පාරෙන් යායුතුය කියා කිසිවක් නොකියව, ළඟමයයි දැනෙන්ට හැර වෙනත් පාරකින් යන්නාක් මෙන් මෙහි පලාඑවයි කීය.
ඔහු ආජීවකයාගේ කථාව අසා බුදුන් හමුවට ගොස් ආරාධනා කොට ආජීවකයා කී හැටියටම සියල්ලකොට ඔහු සමීපයට ගොස් ඔබ මොකද කෙළේයයි ඇසූකල ‘ආර්යයෙනි, ඔබ කී සියල්ල ඉටු කෙළෙමි’යි කීය. ඔබ කෙළේ හොඳම දෙයකි ‘දැන් බුදුන් උදෙසා සූදානම් කරන සත්කාර අප දෙදෙනා කන්නෙමු’ යයි කියා දෙවෙනි දිනයේ ආජීවක තෙම උදෑසනම ඒ ගෙට ගියේය. ඔහු කැඳවා පිටුපස ගෙයක නැවැත්වීය. අසල්වැසි මිනිස්සු ඒ ගෙය ගොමපිරිබඩගා විලඳපස්වැනිකොට ඇති මල් විසුරුවා බුදුන් වැඩ හිඳවනු සඳහා මාහැඟි අසුනක්ද පැනවූහ.
බුදුවරුන් සමග පුරුද්දක් නැති මිනිස්සු අසුන් පැනවීම නොදනිති. බුදුවරුන්ට මග කියා දෙන්නෙක්ද නැත. බෝධිමූලයෙහිදී දසසහශ්‍රී ලෝකධාතුව කම්පාකොට බුද්ධත්වයට පත්වූ දිනයෙහිම උන්වහන්සේලාට, මේ මගින් නිරයට යයි. මෙය තිරිසන් යෝනියෙහි උපදින මගය, මෙය ප්‍රේත විෂයට යන මගය. මෙය මිනිස්ලොවට යන මගය, මෙය දෙව්ලොවටය, මෙය අමෘතමහා නිර්වාණයට මගයයි සියලු මාර්ග ප්‍රකටවෙයි. ගම් නියම්ගම්වලට යන මාර්ග ගැන කියන්ටම දෙයක් නැත.
එහෙයින් ශාස්තෘන්වහන්සේ උදෑසනම පාසිවුරු ගෙන මහා උපාසිකාවගේ ගෙදරට වැඩියාහ. ඈ ගෙයින් නික්ම අවුත් පසඟ පිහිටුවා බුදුන්ට වැඳ ඇතුල්ගෙට වැඩමවා අසුන්හි වඩාහිඳුවා පැන් පිළිගන්වා ප්‍රණීතවූ ඛාදනීය භෝජනීයවලින් වැළඳවූවාය. බත්කිස නිමවූ පසු උපාසිකාව බුදුන් ලවා අනුමෝදනා කරවාගනු කැමතිව පාත්‍රය ගත්තාය. ශාස්තෘන්වහන්සේ මිහිරි හඬින් අනුමෙවෙනි බණ පටන්ගත්සේක. උපාසිකාව සාධු, සාධුයයි සාධුකාර දෙමින් බණ අසයි. ගෙහි පිටිපස්සේ ගැබක හුන් ආජීවකයාට එහි සිට ඇගේ සාධුකාර නාදය අසා ඉවසා සිටිය නොහැකි විය. දැන් මෙය මට ඉවසාගත නොහැකියයි ගෙයින් පිටතට අවුත්, කාලකණ්ණිය, නැහුණා නොවේද, මොහුට මෙබඳු සත්කාර කරන්නේ ඇයිදැ’යි නානාප්‍රකාරයෙන් උපාසිකාවටත්, බුදුන්ටත් බණිමින් පලාගියේය. ඔහුගේ කථාවෙන් ලජ්ජාවට පත් උපාසිකාවගේ සිත වෙනත් අතකට යොමුවූ හෙයින් දේශනාවට අනුව නුවණ මෙහෙයවීමට නොහැකි විය.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ඇයි උපාසිකාව, සිත දේශනාගත කළ නොහැකිදැයි ඇසූහ. ස්වාමීනි, මොහුගේ මේ කථාවෙන් මගේ සිත වෙනත් අතකට ගියේය. බුදුරජාණන්වහන්සේ, මෙබඳු විසභාග පුද්ගලයන් කියන කතා ගැන සිතීම අවශ්‍ය නැත. එබඳු කථා ගැන විමසීම් නොකොට තමන් කළ නොකළ දේ ගැන බලාගැනීම ඉතා වැදගත්යයි ප්‍රකාශකොට මේ ගාථාව වදාළහ:
අනුන් රළු කියමන් කළ නොකළදේ නොසොයා
සියතින් කෙරුණු නොකෙරුණු දේගැන සොයනු යහපති
එහි න පරෙසං විලොමානි යනු ඵරුෂ මරබිඳෙන වචන මෙනෙහි නොකළ යුතුය. න පරෙසං කතාකතං යනු මේ ගෙදර හැන්දක් පමණවත් දන් නොදෙයි. සලාකබත් චීවරාදි ප්‍රත්‍යදාන එකත්වත් නැත. එසේම අසවල් භික්ෂුව සැදැහැ නැත්තෙක. අප්‍රසන්නය. ඔහු උපාධ්‍යායවත් නොකරයි. ආචාර්යවත් ආගන්තුකවත් ගමිකවත් චෛත්‍යාංගනවත් උපොසථාගාරවත් භොජනශාලා ජන්තාඝරවත් නොපුරයි. ඔහුට කිසි ධුතාංගයකුදු ඇත්තේ නැත. භාවනාවේ යෙදීම ගැන ඔහුට කිසි උත්සාහමාත්‍රයකුදු නැත. මෙසේ ඔවුනොවුන් විසින් කළ නොකළ දේ ගැන නොබැලිය යුතුයි. අත්තනොව අවෙක්ඛෙය්‍ය යනු මගේ රෑදාවල් ගෙවීයන්නේ කෙසේදැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කළයුතුයි යන මේ අවවාදය සිහිකරමින් සැදැහැයෙන් පැවිදිවූ කුලපුත්‍රයා, කිම? මම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ආකාරයෙන් සියල්ල ත්‍රිලක්ෂණයට නගා භාවනා කිරීමට ශක්තිමත් වන්නෙම්ද නොවන්නෙම්දැයි මෙසේ තමන් විසින් කළනොකළ දේ බැලිය යුතුය යනු අර්ථයි.
දේශනාවසානයේ උපාසිකාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. දේශනාව මහජනයාට සාර්ථක විය.