4-5 පස්වන මසුරුකෝසිය සිටාණන්ගේ වස්තුවයි.

යථාපි භමරො පුප්ඵං වණ්ණගන්‍ධං අහෙඨයං

පළෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ.

යම් සේ බමරෙක් මල ද පැහැය ද ගඳ ද නො නසමින් මල්රස පමණක් ගෙන නැගී යේ ද, එ පරිද්දෙන් ම මුනි තෙම ගමෙහි හැසිරෙන්නේ ය.

යථාපි භමරො පුප්ඵං ආදි මේ ධර්මදේශනාව බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයේ මච්ඡරියකෝසියසිටුවරයා අරභයා දේශනා කරන ලදි. කථා වස්තුව රජගහනුවර උපන්නකි.

රජගහනුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගමක් විය. එහි අසූකෙළක් පමණ ධනය ඇති මච්ඡරියකෝසිය නම් සිටුවරයෙක් විසීය. හෙතෙම තණකොළ අගකින් ගතහැකි තෙල්බිඳුවක් පමණ දෙයක්වත් කිසිවෙකුටත් නොදෙයි. තමනුත් පරිභෝජනය නොකරයි. මෙසේ ඔහුගේ ධනම්පතින් අඹුදරුවන්ට හෝ මහණ බමුණන්ට හෝ කිසි ප්‍රයෝජනයක් නොවීය. රකුසන් අරක්ගත් පොකුණක් මෙන් ප්‍රයෝජනයට නොගෙන තිබිණි.

දිනක් ශාස්තෘන්වහන්සේ මහාකරුණා සමාපත්තියෙන් නැගිට මුළුලොව තුළ දහම අවබෝධ කළහැකි නෑයන් ගැන සිත යොදා බලනවිට හතළිස්පස් යොදුනක් දුරින් සිටි බිරිඳ සහ සිටුවරයා සෝවාන්ඵලයෙහි පිහිටීමට හේතුසම්පත් ඇතිබව දුටුසේක. එයින් පෙරදින සිටුවරයා රාජකාරිය සඳහා රජගෙට ගොස් රාජකාරිකොට නිමවා ආපසු එනවිට කුම්මාසයෙන් පිරුණු කෝම්පිට්ටුවක් (මැස්සන් පිරුණ) කමින් සිටි බඩසයින් පෙළුණ මිනිසෙකු දැක එහි ආශාව ඇතිකරගෙන තමන්ගේ ගෙට ගොස්, ඉතින් මම කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීවොත් හුඟදෙනෙක් මා සමග එය කෑමට කැමතිවනු ඇත. එවිට බොහෝවූ තල සහල් ගිතෙල් පැණි ආදිය වැය කිරීමට සිදුවෙයි. කිසිවෙකුටත් නොකියමියි ආශාව මැඩගෙන වාසය කරයි.

කල් ගතවෙවී යද්දී ඔහුගේ ඇඟ පඬුපැහැගැන්වී නහර ඉපිළී ගියේය. ඉන්පසු තෘෂ්ණාව ඉවසාගත නොහී ඇතුළු ගැබට වැදී ඇඳේ වැතිරී සිටියේය. මෙබඳු තත්ත්වයකට පත්වී නමුත් වස්තුහානි බියෙන් කිසිවෙකුටත් ඒ බව නොකීවේය.

ඉන්පසු ඔහුගේ බිරිඳ ළඟට අවුත් පිට අතගගා හිමියනි, ඔබට ඇති අපහසුව කුමක්දැයි ඇසුවාය. නෑ මට කිසි අපහසුවක් නැත. එසේනම් රජු ඔබ හා නොමනාපවීද? නැහැ. රජුත් මා සමග අමනාපයක් නැත. එසේනම් ඔබේ දූදරුවන් හෝ දාසකම්කරුවන් සමග හෝ කිසි අමනාපයක් වෙලාවත්ද? එබන්දකුත් නැත. එසේනම් කිසිවක් ගැන ඔබතුළ ආශාවක් හෝ ඇද්ද? එසේ කියද්දී ධනහානි බියෙන් කිසිවක්ම නොකියා නිහඬවම වැදහොත්තේය. ඉන්පසු ඔහුට භාර්යාව, හිමියනි කියන්න, ඔබේ ආශාව කුමක් ගැනදැයි ඇසුවාය. හෙතෙම වචන ගිලින්නාක් මෙන් මට එක ආශාවක් ඇතැයි කීවේය. ස්වාමීනි, ඒ ආශාව කුමක්ද? කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීය. ඉතින් එය නොකීවේ ඇයිදැයි ඈ ඇසුවාය. ඔබ දිළින්දෙක් නොවෙයි. දැන් සියලු නිගමවාසීන්ටම ඇතිවන සේ කබලුකැවුම් පිසින්නෙමියි කීවාය. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. ඔවුන් වැඩකර කනවා ඇතියි කීය. එසේනම් එක් ප්‍රදේශයක වැසියනට පොහෝනා තරම් පිසන්ටද? මම ඔබේ පෝසත්කම දන්නෙමි. මේ ගෙදර සීමාවේ සිටින්නන්ට තරම් වන සේ පිසන්ටද? ඔබේ ලොකු අදහස් මම දනිමි. එසේනම් ඔබේ අඹුදරුවන්ට ප්‍ර‍මාණවත් පරිදි පිසින්ටද? එවුන්ගෙනුත් ඇති ඵලය කුමක්ද? එසේනම් ඔබටත් මටත් ඇති තරම් පිසන්ටද? ඔබට මොකටද, ඔබ මොනවද කරන්නේ? එහෙන්ම ඔබට පමණක් ඇති තරමට පිසන්නෙමියි කීවාය.

මෙතැන සිට පිසුවොත් බොහෝ දෙනා බලාසිටිති. සියලු සහල් පැසෙක දමා සුණුසහල්ද, උයන තැටිද රැගෙන කිරි ගිතෙල් මීපැණි ටිකක්ද සත්මහල්පහයේ උඩම තලයට ගෙනගොස් පිසව, මම එහිදී තනිවම සිට කන්නෙමියි කීවේය. ඈ යහපතැයි පිළිගෙන ගතයුතුදේ ගෙන්වාගෙන ප්‍රාසාදයට නැගී දාසීන් පිටත්කර යවා සිටුවරයා කැඳවූවාය.

හෙතෙම මුලින්ම යටිමහලේ පටන් දොරවල් වසාගෙන සියලු දොරවල්වල යතුරු අගුල් ලා සත්වෙනි මහලට නැගී එහිත් දොර වසාගෙන සිටියේය. ඔහුගේ භාර්යාව උදුනෙහි ගිනි දල්වා කබල ලිප තබා කැවුම් පිසින්ට පටන්ගත්තාය.

ඉක්බිති ශාස්තෘන්වහන්සේ උදෑසනම මහමුගලන් හිමියන් අමතා, මොග්ගල්ලාන, මේ රජගහනුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගම මසුරුසිටුතෙමේ කබලුකැවුම් කන්නෙමියි එය අනුන් දකී යන බියෙන් සත්මහල් පහයේ සත්වෙනි මහලේ කබලු කැවුම් පිසවයි. ඔබ එහි ගොස් සිටාණන් දමනයකොට ඔහු සුසීල බවට පමුණුවා අඹුසැමියන් දෙදෙනාත්, කැවුනුත් කිරි ගිතෙල් මීපැණි ආදියත් ගෙන්වාගෙන තමන්ගේ බලයෙන් දෙව්රමට ගෙන එන්න. අද මම පන්සීයක් භික්ෂූන් සමග විහාරයෙහිම ඉන්නෙමි. කැවුම්වලින්ද බත්කිසද කරන්නෙමියි වදාළහ.

තෙරණුවෝ ස්වාමීනි, යහපතැයි බුදුන්ගේ වචනය පිළිගෙන එකෙණෙහිම සෘද්ධි බලයෙන් ඒ නිගමයට ගොස් ඒ ප්‍රාසාදයේ සීමැදුරු කවුළුදොරදී හොඳින් හැඳ පෙරවාගෙන මැණික්රුවන් මෙන් අහසෙහිම සිටියහ. තෙරණුවන් දුටු හැටියේම මහසිටුහුගේ හදවත කම්පනය විය. හෙතෙම, මම මෙවැන්නක් නිසාම බියෙන් මේ උඩුමහලට ආවෙමි. මොහුත් ඇවිත් වාකවුළුදොරටුවේම සිටියේයයි ගතයුතු ද පවා ගැනීමට අසමත්ව ගින්නට දැමූ ලුණුකැට මෙන් කෝපයෙන් ගිනිගෙන පිපිරි පිපිරී තතනමින් මෙසේ කීවේය:

ශ්‍ර‍මණය, අහසෙහි සිට කුමක් ලබන්ටද? අහසෙහි සිටීම නොව පියවර දක්වා ඇවිද්දත් ලැබෙන දෙයක් නැතැයි කීවේය. තෙරණුවෝ එතැනම එහා මෙහා සක්මන් කළෝය. සිටුතෙම, ඇවිද කුමක් ලබන්ටද, පර්යංකයක් බැඳ හිඳගත්තත් යමක් ලැබෙන්නේ නැතැයි කීවේය. තෙරණුවෝ පළක් බැඳ වැඩහුන්හ. ඉන්පසු පළක්බැඳ හුන්නත් වැඩක් නැත. කවුළුවෝ උළුවස්සේ සිටියත් නොලැබෙන්නේමයයි කීවේය. තෙරණුවෝ උළුවස්ස උඩ සිටියහ. උළුවස්සේ සිටියත් කිසිවක් නොලැබෙයි. ඒ තියා දුම් දමදමා සිටියත් කිසිවක් නොලැබෙන්නේයයි කීවේය. තෙරණුවෝ දුම් දමමින් සිටියහ. මුළු ප්‍රාසාදය එකම දුම්කඳක් විය.

සිටුහුගේ ඇස් ඉදිකටුනේ විදිනකලක් මෙන් විය. ගෙය දැවෙන බියෙන් ඔබ ගිනි ඇවිළුණත් කිසිවක් නොලැබෙන්නේයයි නොකියා මේ ශ්‍ර‍මණයා මටත් වඩා කැවුමට රුචි ඇත්තෙක. නොලැබ නම් නොයයි සිතා මොහුට එක් කැවුමක් දෙන්නෙමියි, බිරිඳ අමතා, ‘සොඳුර එක් කුඩා කැවුමක් පිස ශ්‍ර‍මණයාට දී පිටත්කර යවවයි කීය. ඈ එක් කුඩා පිටිපිඬක් තැටියට දැම්මාය. එය මහකැවුමක් වී මුළු තැටියම පිරී උඩට පිපී සිටියේය. සිටුවරයා එය දැක, ඈ පිටිගොඩක් දැම්මායයි සිතා තමන්ම හැඳි කෙළවරින් පිටිටිකක් රැගෙන තැටියට දැම්මේය. ඒ කැවුම පළමු කැවුමටත් වඩා විශාල විය. මෙසේ පිසන පිසන කැවුම් එකින් එකට මහත්විය. ඔහු කළකිරී භාර්යාවට කථා කොට, සොඳුර මොහුට එක් කැවුමක් දෙවයිකීය. ඇගේ කැවුම් පැසෙන් එකක් ගන්නාවිට සියලු කැවුම් එකට බැඳී එල්ලී ආවේය. ඈ සිටුවරයාට, ‘සැමියාණනි, සියලු කැවුම් එකට ඇලී වෙන්කළ නොහැකිය.’ මම එය කරන්නෙමියි ඔහුද උත්සාහ ගත් නමුත් ඔහුටද නොහැකිවිය. දෙදෙනාම දෙකෙළවරින් ගෙන ඇද්ද නමුත් ඒත් ගැළවිය නොහැකිවිය. මෙසේ ඔවුන් කැවුම් සමග දැඟලීමෙන් සිරුරුවලින් දාඩිය වැගිරෙන්නට විය. වතුර පිපාසයද හැදුණි.

ඉන්පසු සිටුවරයා බිරිඳට කථාකොට, ‘සොඳුර අපට මේ කැවුම්වලින් වැඩක් නැත. කැවුම් පැස සමගම මොහුට දෙවයි කීවේය. ඈ පැස රැගෙන තෙරුන් වෙත ගියාය. තෙරණුවෝ දෙදෙනාට දහම් දෙසූහ. ත්‍රිවිධරත්නයේ ගුණ ප්‍ර‍කාශ කළහ. දෙනලද, පුදනලද දෙයෙහි ඵලය ගුවන්තලයේ සඳමෙන් පෙන්වා දුන්හ. ඒ අසා පැහැදුණු සිත් ඇති සිටුතෙම, ස්වාමීනි, ඇවිත් මේ පළඟෙහි වැඩසිට වැළඳුව මැනවැයි කීවේය.

තෙරණුවෝ, මහසිටුතුමනි, සම්මාසම්බුදුන්වහන්සේ කැවුම් වළඳන්නෙමියි පන්සීයක් භික්ෂූන් සමග විහාරයෙහි වැඩසිටිති. ඔබේ රුචිය පරිදි සිටුබිරිඳත් කැවුනුත් කිරි ආදියත් රැගෙන බුදුන් ළඟට යමුයයි පැවසූහ. හිමියනි, ශාස්තෘන්වහන්සේ දැන් කොහිද? මෙයින් යොදුන් සතළිස්පන්දහසකට එහා ජේතවන විහාරයෙහිය. ස්වාමීනි, කාලය නොයික්මවා මෙතෙක් දුරක් කෙසේ යන්නෙමුද?

මහාසිටාණනි, ඔබේ කැමැත්ත ඇත්නම් මම ඔබහැම මගේ සෘද්ධිබලයෙන් ගෙනයන්නෙමි. සිටාණන්ගේ ඉණිමංහිස මේ මාලිගයේම වේවා, හිණිපාමුල දෙව්රමෙහි වේවායි කීවිට එසේය ස්වාමීනියි පිළිගත්තේය. තෙරණුවෝ හිණිමංහිස එහිම සිටිනසේ හිණි පාමුල දෙව්රම දෙරකොටුවෙහි වේවායි ඉටුහ. එය එසේමවිය. භාර්යාව උඩ ප්‍රාසාදයෙන් යටතලයට බසින වේලාවටත් අඩු කලකින් වහාම ජේතවනාරාමයට පැමිණවූහ.

ඒ දෙදෙනාම බුදුන් වෙත පැමිණ වැළඳීමට කාලයයයි දන්වා සිටියහ. බුදුහු භික්‍ෂුසංඝයා සමග දානශාලාවට වැඩමවා පැනවූ බුද්ධාශනයෙහි වැඩහුන්හ. මහාසිටුවරයා බුද්ධප්‍ර‍මුඛ සංඝයාට දක්ෂිණෝදකය පිළිගැන්වීය. භාර්යාව බුදුන්ගේ පාත්‍ර‍යට කැවුමක් පිළිගැන්වූවාය. ශාස්තෘන්වහන්සේ තමන් යැපෙන ප්‍ර‍මාණයක් පිළිගත්හ. පන්සීයක් භික්ෂූහුද තමන් යැපෙන පමණක් පිළිගත්හ. සිටුවරයා කිරි ගිතෙල් මී පැණි හකුරු ආදිය පිළිගන්වමින් ගියේය. බුදුරජාණන්වහන්සේ භික්ෂූන් පන්සීයක් සමග ආහාර වළඳා අවසන් කළහ. මහාසිටුවරයාත් බිරිඳද සමග ඇති තරම් කෑහ. කැවුම් ඉවරවීමක් නොවීය. මුළු විහාරයේම භික්ෂූන්ට කුස පිරෙන තරම් දුන්නත් කැවුම් ඉවරවීමක් නොවීය. ස්වාමීනි, කැවුම් අවසන් නොවන්නේයයි භාග්‍යවතුන්වහන්සේට දැන්වූහ. එසේ නම් ජේතවන දොරකොටුවෙහි තබව්යයි වදාළහ. ඉන්පසු ඔවුහු කැවුම් ගෙන ගොස් දොරකොටුව සමීපයෙහිවූ ගල්තලාවක දැම්මාහ. අදත් ඒ ස්ථානය ‘කපල්ලකපූවපබ්භාර’ (කැවුම්ගල) යන නමින් ප්‍ර‍කටය.

මහසිටු හා බිරිඳ බුදුන් වෙත එළඹ එකත්පසෙක සිටියෝය. බුදුරජාණන්වහන්සේ අනුමෝදනාබණ දෙසූහ. අනුමෝදනා අවසානයෙහි ඒ දෙදෙනාම සෝවාන්ඵලයෙහි පිහිටා බුදුන් වැඳ දොරකොටුවෙහි හිණිමං කෙළවර හිඳ තමන්ගේ ප්‍රාසාදයෙහි පිහිටියාහුය. එතැන් පටන් සිටුවරයා අසූකෙළක් ධනය බුදුසසුන උදෙසා වියදම් කෙළේය.

දෙවෙනි දින ධම්සභාමණ්ඩපයෙහි රැස්වූ භික්ෂූහු ඇවැත්නි, මහමුගලන් තෙරණුවන්ගේ ආනුභාවය බලනු මැනවි. මසුරු සිටාණන්ගේ සැදැහැයත් නොනසා භෝගසම්පත් නොනසා ඒ සිටුවරයා මොහොතකින් දමනය කොට පහදවාගෙන කැවුම්ද ගෙන්වාගෙන දෙව්රමට කැඳවාගෙන අවුත් බුදුන්ට මුණගස්වා සෝවාන්ඵලයෙහි පිහිටුවාලූහ. අපොයි මේ තෙරණුවන්ගේ මහානුභාවයක හැටියයි තෙරුන්ගේ ගුණකථා කියමින් සිටියාහුය.

ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා, මහණෙනි, කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙබඳු කථාවකිනියි කීකල්හි ‘මහණෙනි, කුල දමනය කරන භික්ෂුව, ඔවුන්ගේ ශ්‍ර‍ද්ධාවත නොනසා, භෝගයනුත් නොනසා ඒ කුල ක්ලාන්ත භාවයට හෝ වෙහෙසට පත්නොකොට මලෙන් රොන් ගන්නා බඹරා මෙන් ඔවුන් වෙත පැමිණ බුදුගුණ හඳුන්වා දිය යුතුය. මාගේ පුත්‍ර‍ මොග්ගල්ලාන එබඳුයයි පසසා මේ ගාථාව දෙසූහ:

මලට එන බඹරා එහි පැහැ සුවඳ නොනසා

රසය ගෙන යන මෙන් මුනිහු ගම්වල හැසිරෙති

එහි භමරො යනු යම්කිසි මධුකර ජාතියකි. පුප්ඵං යනු බඹරා මල්උයනකට ගොස් මලද එහි පාටද සුවඳද නොතළා විනාශ නොකොට හැසිරෙයි යනු අර්ථයයි. පලෙති යනු එසේ ඇති නැති පැණි බී තවත් මී බැඳීම පිණිසද රොන් රැගෙනයයි. හෙතෙම මෙසේ වනගහනය සිසාරා ගොස් එක් ගස් සිදුරක ඒ රොන්රස තැන්පත් කොට ක්‍ර‍මයෙන් ඒ මීරස මීපැණි බවට පත් කරයි, ඔහුට ඒ මල්උයනෙහි හැසිරීමෙන් මල් හෝ වේවා වර්ණගන්ධ වේවා නොලැබී නොයයි. එහෙත් සියල්ල ස්වභාවයෙන්ම සිදුවේ. එවං ගාමෙ මුනී චරෙ යනු මෙසේ ශේඛ අශේඛ භේද ඇති අනගාරික මුනිවරයා කුල පිළිවෙලින් ගමෙහි භික්ෂාව ගනිමින් හැසිරෙයි යනු අර්ථයි. ඔහු ඒ ගමෙහි හැසිරීම නිසා කුලවල ශ්‍ර‍ද්ධා හානියක් භෝග හානියක් හෝ නොවෙයි. ශ්‍ර‍ද්ධාවත් භෝග සම්පතත් ඒ තිබුණු සැටියෙන්ම තිබෙයි.

මෙසේ හැසිරෙන ශේඛමුනිවරයා ගමෙන් බැහැර ජලපහසුව ඇති තැනක සංඝාටිය අසුනක් ලෙස පනවාගෙන හිඳ ප්‍ර‍ත්‍යවේක්ෂා කරමින් පිණ්ඩපාතය වළඳා එබඳු වනලැහැබකට පිවිසී ආධ්‍යාත්මික කමටහන් මෙනෙහි කරමින් සතරමාර්ග සතරඵලයන් අත්පත්කරගන්නාක් මෙන් කරයි. අශේඛ මුනිවරයා මෙලොවදීම ඒ සැප විහරණය ලබයි. මේ හැසිරීම බඹරා මල්රොන් උරා මී බැඳීමකට සමාන ලෙස දැනගත යුතුය. මෙහි අදහස් වන්නේ රහතන්වහන්සේ බව දැනගත යුතුය. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව වදාරා තවදුරටත් තෙරුවන්ගුණ ප්‍ර‍කාශ කිරීම සඳහා මහණෙනි, මුගලන් තෙරණුවන් විසින් මච්ඡරිය සිටුවරයා දමනය කරනලද්දේ දැන් පමණක් නොවෙයි. පෙරද ඔහු දමනය කොට කර්මඵලයන්ගේ සම්බන්ධය අවබෝධ කරවනලදැයි ඒ අර්ථය ප්‍ර‍කට කරවනු සඳහා අතීත කථාවකුදු ගෙනහැරපා:

දෙන්නම කොරුය දෙන්නම පිළු බවද පෙනේ

දෙදෙනාගෙම ඇසුත් වපරැස් බවද පෙනේ

දෙදෙනගෙ හිසේ පිළිකා ඇති බවද පෙනේ

ඉල්ලිසයන් හැදිනිය නොහැකි බව පෙනේ

යන ඉල්ලීස ජාතක කථා පුවතද ප්‍ර‍කාශකළ සේක.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.