4-4 සිව්වන පතිපූජිකා වස්තුවයි.

පුප්ඵානි හෙව පචිනන්තං බ්‍යාසත්තමනසං නරං

අතිත්තං යෙව කාමෙසු අන්තකො කුරුතෙ වසං.

මල් නෙලන්නකු මෙන් පස් කම් ගුණ නැමැති මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුනු සිතැති, කාමයන්හි සෑහීමට නො පැමිණියා වූ ම සත්ත්‍වයා මර තෙම සිය වශයට පමුණුවයි.

පුප්ඵානිහෙව ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වසන සමයෙහි පතිපූජිකාව අරභයා දෙසූසේක. කථාවස්තුව තව්තිසා දෙව්ලොව උපන්නකි. එහි මාලාභාරී නම් දිව්‍යපුත්‍ර‍යා දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරා උයනට පිවිසියේය. පන්සීයක් දෙව්දුවණියෝ ගස්වලට නැගී මල් කඩා දමත්, පන්සීයක් කැඩූ මල් රැගෙන දිව්‍යපුත්‍ර‍යා සරසති. එයින් එක් දෙව්දුවක් ගස්අත්තකදීම මළාය. සිරුර පහන්සිළුවක් මෙන් නිවීගියේය. සැවැත්නුවර එක් කුලගෙයක උපන් ඈ උපන් හැටියේම පසුගිය ජාතිසිහිකිරීමේ ශක්තිය ලබා පෙර මාලාභාරී දිව්‍යපුත්‍ර‍යාගේ භාර්යාවවූ බව දැක වැඩිවියට පැමිණ සුවඳමල් පූජාකොට යළිත් සිය සැමියා ළඟම ඉපදීමට ප්‍රාර්ථනා කළාය.

ඈ සොළොස්සැවිරිදි කල්හි පතිකුලයට ගොසිනුත්, සලාකබත්, පාක්ෂිකබත්, වස්සාවාසික යන දන්දී මේ කළ පින් මගේ සැමියා ළඟ ඉපදීමට හේතු වාසනා වේවායි පැතුවාය. ඉන්පසු භික්ෂූහු මොතොමෝ මහත් උනන්දුවෙන් ස්වාමියාම පතයි කියා ඈ පතිපූජිකා නමින් හැඳින්වූහ. ඈද නිරතුරුව ආසනශාලා සූදානම් කරයි. පැන් ගෙන එයි. අසුන් පනවයි. වෙනත් මිනිස්සු සලාකබත් ආදිය දෙනු කැමැත්තෙන් මෑණියනි, මේ දනුත් භික්ෂු සංඝයාට පිළියෙල කර දෙන්නැයි කියා ගෙනවුත් දෙති. ඈ මේ අයුරින් යාම්ඊම් කිරීමෙන් එක් පියවරකට සපණසක් පමණ කුසල්දහම් ලබා ගත්තාය. මේ අතර ඇගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඈ දසමස් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. ඔහු පියවර ඔසවන කාලයේ තවත් පුතෙකුද, තවත් පුතෙකුද වශයෙන් පුතුන් සතර දෙනෙකුම ලැබුවාය.

දිනක් ඈ දන්පූජා කොට බණ අසා සිල්රැක සවස්භාගයේ එකෙණෙහි උපන් රෝගයකින් කළුරිය කොට තම පැරණි ස්වාමියා ළඟ උපන්නීය. සෙසු දෙවඟනෝ එතෙක් කල්ම දිව්‍යපුත්‍ර‍යා සරසමින්ම සිටියාහුය. දිව්‍යපුත්‍ර‍යා ඈ දැක, ඔබ උදේ පටන්ම නොදැක්කෙහිය, කොහි ගියාදැයි ඇසීය. ස්වාමීනි, මම චුතවීමි. කුමක් කියන්නීද? එසේය ස්වාමීනි, චුතවී සිටියෙමි. කොහි උපන්නීද?

ස්වාමීනි, සැවැත් නුවර කුලගෙයකය. කෙතෙක් කල් එහි සිටියාද? ඈ දසමසක් ඇවෑමෙන් මවුකුසින් බිහිවී සොළොසැවිරිදි කල වෙනත් කුලයකට ගොස් දරුවන් සිවුදෙනකුද වදා දානාදි පින්කොට නුඹ පතා අවුත් ඔබ සමීපයෙහිම ඉපදුණෙමියි කීවාය. එහි මිනිසුන්ට ආයුෂ ප්‍ර‍මාණය කෙතෙක්ද? අවුරුදු සියයක් පමණය. එපමණක්මද? එසේය හිමියනි. මෙපමණ ආයුෂත් ගෙන උපන් මිනිස්සු පමාව පව්කම් කරමින් සිටිත්ද, නැතහොත් දානාදි පින්කම් කරත්ද?

හිමියනි, කුමක් කියන්නෙහිද? අසංඛ්‍යයක් ආයු ඇතිව උපන්නාක්හු මෙන්ද අජරාමරවූවන් මෙන්ද මිනිස්සු නිතර ප්‍ර‍මාද වන්නෝයයි කීවාය. මාලාභාරී දේවතාවට බලවත් සංවේගයක් හටගත්තේය. අවුරුදු සියයක් ආයු රැගෙන ආ මිනිස්සුත් ප්‍ර‍මාදව වැදහෙවී නිදත්. කවදා නම් දුකෙන් මිදෙන්ටද?

අපේ තව්තිසාවේ දෙවියන්ට මිනිස් ලොව අවුරුදු සියයක් රෑදාවලකි. එබඳු රාත්‍රි තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වර්ෂයකි. එබඳු අවුරුදුවලින් දිව්‍යවර්ෂ ලක්ෂයක් අපේ ආයුෂ ප්‍ර‍මාණය වෙයි. එය මිනිස් ආයුෂයෙන් තුන්කෝටි සැටලක්ෂයකි. එහෙයින් ඒ දිව්‍යපුත්‍ර‍යාට (පතිපූජිකා නැතුව සිටිකාලය) එක්දවසක්වත් නොවීය. මොහොතක කාලයක් විය. මෙබඳු අල්පායුෂ්ක මිනිස්සු ප්‍ර‍මාදවීම අයුත්තකි.

දෙවෙනි දින භික්ෂූහු ගමට පිවිස ආසනහාලාව සූදානම් කර නැතිබවත්, අසුන් පනවා නැතිබවත්, පැන්පෙරා තබා නැතිබවත් දැක පතිපූජිකාව කොහේදැයි විමසූහ. ස්වාමීනි, ඔබවහන්සේලා කෙසේ නම් ඈ දකින්ටද? ඊයේ ඈ භික්ෂූන් වළඳවා ආර්යයන්වහන්සේලා ගියපසු සවස්වේලේ මිය ගියාය. මේ ගැන ඇසූ පුහුදුන් භික්ෂූහු ඇගේ උපකාර සිහිකර කඳුළු නොවගුරුවා සිටින්ට නොහැකිවූහ. රහතුන්ට ධර්මසංවේගය ඇතිවිය. ඔවුහු දන් වළඳා විහාරයට ගොස් බුදුරදුන්ගෙන් මෙසේ ඇසූහ. ස්වාමීනි, පතිපූජිකාව මහත් උද්‍යෝගයෙන් නානාප්‍ර‍කාර පින්කම් කර සිය පුරාණ සැමියාම ප්‍රාර්ථනා කළාය. ඈ දැන් මිය ගොස් කොහි ඉපදුනීද? මහණෙනි, තමන්ගේ සැමියා ළඟමය.

ස්වාමීනි, සැමියා සමීපයෙහි නූපන්නොත් කුමක් වෙයිද? මහණෙනි, ඈ සැමියා පැතුවා පමණක් නොවේ. තව්තිසාවේ ඇගේ මාලාභාරී නම් දිව්‍යපුත්‍ර‍යා සැමියා වෙයි. ඈ ඔහුට මල් පළඳවමින් සිට එතැනින් චුතවී අවුත් නැවත ගොස් ඔහු සමීපයෙහිම උපන්නාය. ස්වාමීනි, එසේද? එසේය ස්වාමීනි. අනේ ස්වාමීනි, සතුන්ගේ ජීවිතය කෙතරම් ස්වල්ප ආයුප්‍ර‍මාණයක් ඇත්තක්ද? උදෑසනම අප වළඳවා සවස උපන් රෝගයකින් මළාය. බුදුරජාණන්වහන්සේ. එසේය මහණෙනි, සත්වයන්ගේ ජීවිතය අල්පායුෂ්කය. එහෙයින් මේ සත්ත්වයෝ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් අතෘප්තිකර හෙයින් මරුවා ඔවුන් තමා වසඟයට ගෙන හඬද්දී වැළපෙද්දී ගෙනයන්නේයයි වදාරා මේ ගාථාවද වදාළහ:

කම්සැපයට ගිජුවී එයම සොයමින් ඇවිදින

ඒ ඇලුම් උදෙසා දිවිය කැප කළ මිනිසා

නොතිත් ආශාවෙන් එහිම වැනසීයයි

උයනකට ගිය මල්කරු එහෙමෙහෙ දුවන්නා සේ

නිදනා ගමක් ගං වතුරෙන් ගසා යනසේ

මාරදිය පාරෙන් ගසාගොස් වැනසීයයි

එහි පුප්ඵානිහෙව පචිනන්තං යනු මල් උයනකට ගිය මල්කරුවා නොයෙක් මල් සොයා එහෙමෙහෙ ඇවිදින්නාක් මෙන් තමන් පිළිබඳවූත්, නොයෙක් උපකරණ පිළිබඳවූත් කාම ආශා නමැති මල් සොයමින්ම සිටියි. බ්‍යාසත්තමනසං නරං යනු නොලැබුණු දේ පතමින් ලැබුණු දේ ගැන ගිජු වෙමින් නොයෙක් අයුරින් ඇළුණු සිත් ඇතිකර ගැනීමයි. අතිත්තංයෙවකාමෙසු යනු වස්තුකාම ක්ලේශකාමයන් සෙවීමෙන් ලබා ගැනීමෙන් පරිභෝග කිරීමෙන් තැන්පත් කිරීමෙන් තෘප්තිමත් නොවීමයි. අන්තකො කුරුතෙ වසං යනු මරණසංඛ්‍යාත මරුවා එම පුද්ගලයා අඬද්දී වැළපෙද්දී අල්ලාගෙන තම වසඟයට පමුණුවා ගනී යන අර්ථයයි.

දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ. දේශනාව මහා ජනයාට සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.