4-3 තුන්වන විඩුඩහ වස්තුවයි.

පුප්ඵානි හෙව පචිනන්තං බ්‍යාසත්තමනසං නරං

සුත්තං ගාමං මහොඝො’ව මච්චු ආදාය ගච්ඡති.

මල් නෙලන්නකු මෙන් පස්කම් මල් සොයන, විවිධ කාමගුණයන්හි ඇලුණු සිතැති සත්ත්‍වයා, නිදන ගම්වැසියන් මුහුද කරා ගෙන යන ගැඹුරු මහ වතුරක් මෙන්, මෘත්‍යුමාර තෙම අපාය සංඛ්‍යාත මුහුදට ගෙන යයි.

පුප්ඵානිහෙව පචිනන්තං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වසන සමයෙහි පිරිසත් සමග මහා වතුරපාරක වැටී මැරුණු විඩූඩහ අරභයා දේශනා කරනලද. මේ එහි පිළිවෙල කතාවයි. සැවැත්නුවර මහකොසොල් රජුපුත් පසේනදි නම් කුමරා විශාලානුවර මහාලි නම් ලිච්ඡවි කුමරා කුසිනාරාවේ මල්ලරජුපුත් බන්ධුල යන කුමාරවරු තිදෙනා දිසාපාමොක් ඇදුරන් ළඟ ශිල්පශාස්ත්‍ර‍ හැදෑරීම සඳහා ගොස් නුවරින් බැහැර ශාලාවකදී එකට එකතුවී ඔවුනොවුන් එහි පැමිණි කාරණය කුලය නම්හොත් විචාරා දැනගෙන යහළුවන් වී එක්වම ආචාර්යයන් සමීපයට ගොස් මද කලකින්ම ශිල්ප ඉගෙන ආචාර්යයන්ගෙන් අවසර ලබාගෙන එකටම පිටත්වී ස්වකීය තැන්වලට ගියාහුය.

ඔවුන් අතර පසේනදි කුමරා සිය පියාට ශිල්ප දක්වා පැහැදුණු පියා ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙළේය. මහාලි කුමරා ලිච්ඡවීන්ට මහත්වූ උත්සාහයෙන් ශිල්ප දැක්වීය. එහිදී ගන්නාලද වෑයම නිසා ඔහුගේ ඇස් දෙකම විනාශවිය. ලිච්ඡවී රජදරුවෝ අනේ අපේ ආචාර්යවරයාගේ ඇස් විනාශවීයයි අපි ඔහු හැර නොදමමු, ඔහුට සලකන්නෙමුයයි ලක්ෂයක් අයබදු උපදින එක් ගම්දොරක් දුන්හ. හෙතෙම එය ලබා පන්සීයක් ලිච්ඡවි රාජපුත්‍ර‍යන්ට ශිල්ප උගන්වමින් සිටියේය.

බන්ධුලකුමරා උණගස් හැට බැගින් ගෙන මිටි බැඳ ඒවා මැදට යකඩකූරු ගසා මිටි හැට උඩට ඔසවා කෙළින්කරතබා මල්ලරාජ කුලයේ අය විසින් මේවා කැපියයුතු යයි කීකල අසූ රියනක් අහසට පැන කඩුවෙන් ඒ උණගස්මිටි හැට කපා හෙළාගෙන යන අතර, අවසාන මිටි කපද්දී කිණි යන හඬක් ඇසිණි. ඒ හඬ කුමක්දැයි අසා, ඒ සියලු උණගස් මැද යකඩකූරු ගසා ඇති බව දැන කඩුව පැත්තකට දමා අඬමින්, මගේ මෙතරම් නෑයන් සිටිද්දී එයින් එක් කෙනෙකු හෝ මට හිතවත්ව මේ කාරණය නොකීවාහුය. යම් ලෙසකින් යකඩකූරු දමා ඇති බව කල්තියා මා දැනගත්තා නම්, මේ යකඩ හඬක් නොඇසෙන සේ සිඳින්නෙමියි කියා මුන් සියලුදෙනා මරා පරාජය කරන්නෙම්දැයි මවුපියන්ට කීවේය.

දරුව මෙය ඔවුන්ගේ ප්‍රවේණි රාජ්‍යයයි. මෙය ලැබිය නොහැක්කකි. එසේ නොකරවයි නොයෙක් අයුරින් වැළැක්වූ හෙයින්, එසේනම් මගේ යහළුවා ළඟට යන්නෙමියි සැවැත්නුවරට ගියේය. පසේනදි කොසොල්රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් හරසරින් නුවරට කැඳවාගෙන අවුත් සේනාපති තනතුරෙහි තැබීය. හෙතෙම මවුපියන්ද ගෙන්වාගෙන එහි වාසය කෙළේය.

දිනක් රජු ප්‍රාසාදතලයෙහි සිට ඇතුළුවීථිය දෙස බලාසිටින විට අනේපිඬුසිටුවරයාගේ, සුළුඅනාථපිණ්ඩිකගේ, විශාඛාවගේ සහ සුප්පවාසාවගේත් යන මොවුන්ගේ ගෙවල්වල බත්කිස පිණිස වඩින දහස් ගණන් භික්ෂූන් දැක මේ ආර්යයන්වහන්සේලා කොහි වැඩමවන සේක්දැයි අසා, දේවයිනි, අනේපිඬුසිටුවරයාගේ ගෙදර නිත්‍යබත් හා ගිලානබත් ආදිය සඳහා දිනපතා භික්ෂූන් දෙදහසක් වැඩමවති. සුළුඅනේපිඬුසිටුහුගේ ගෙදරට පන්සීයකි. විශාඛාවගේත් සුප්පාවාසාවගේත් ගෙවල්වලද එසේය. ඒ අසා තමාත් භික්ෂුසංඝයාට උවටැන් කරනු කැමැත්තෙන් විහාරයට ගොස් භික්ෂූන් දහසක් සමග ශාස්තෘන්වහන්සේට දානයට ආරාධනාකොට සත්දිනක් දන්දී සත්වෙනි දිනයෙහි වැඳ බුදුන්ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන්ට නිබඳව තමනිවසේ භික්ෂාව ගන්නැයි ආරාධනා කෙළේය.

මහරජ, බුදුවරු එකම ස්ථානයක නිරතුරුව දන් නොවළඳති. බොහෝ අය බුදුන්ගේ පැමිණීම අපේක්ෂා කරන හෙයිනි. ස්වාමීනි, එසේනම් එක භික්ෂුනමක් නිබඳව එවනු මැනවි. බුදුරජාණන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. රජු භික්ෂුසංඝයා වැඩමවූකල්හි පාත්‍ර‍ය ගෙන මුන්වහන්සේලා වැළඳවුව මැනවැයි කිසිවකුට භාරනොදී සත්දිනක් සියතින්ම වළඳවා අටවෙනි දිනයේ කළයුතු රාජකාරි ඇති හෙයින් ප්‍ර‍මාදවිය. රජගෙදරත් කිසිවකුට අණකර නොතිබූ නිසා අසුන් පනවා භික්ෂූන් වඩාහිඳුවා වළඳවන්ට නොලැබිණි. බොහෝ භික්ෂූහු අපට මෙහි සිටීම අපහසුයයි ආපසු වැඩියාහුය. රජු දෙවෙනි දිනයේද පමාවිය. එදිනත් බොහෝ භික්ෂූහු ආපසු වැඩියහ. තෙවෙනි දිනයේත් රජු පමාවිය. එදින ආනන්දතෙරුන් පමණක් තනිවම නවතා අවශේෂ භික්ෂූහු වැඩියාහුය.

පින්වන්තයෝ කාරණා සිතියහැකි අයවෙති. කුලයන්ගේ උපාසකවරුන් ප්‍ර‍සාදයත් රකිති. බුදුරජාණන්වහන්සේට සැරියුත් මහමුගලන් දෙඅගසව්වන්වහන්සේ හා ඛේමා උප්පලවණ්ණා අග්‍ර‍ශ්‍රාවිකා දෙනමක් හා චිත්තගෘහපති හත්ථාලවක යන උපාසකවරු හා වේළුකණ්ඨකී නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවරු යන මේ අටදෙනා ආදිකොට ඨානාන්තරවලට පත් සියලුම ශ්‍රාවකයෝ දසපාරමිතාවලින් කොටසක් හෝ පුරා ඇතිහෙයින් මහ පිනැතියෝය. උතුම් ප්‍රාර්ථනා ඇත්තෝය.

ආනන්දතෙරණුවෝත් කප්ලක්ෂයක පටන් පිරූ පාරමිතා ඇති උතුම් ප්‍රාර්ථනා ඇති මහපින්වන්තයෙකි. උන්වහන්සේ කාරණා සිතා ගැනීමේ දක්ෂතා ඇතිහෙයින් කුලයන්ගේ, උපාසකවරුන්ගේ ප්‍ර‍සාදය රකිමින් තනියම සිටියහ. උන්වහන්සේ පමණක් වඩා හිඳුවා වැළඳවූහ. රජු භික්ෂූන් ගිය පසු අවුත් ඒ ඒ තැන්වල තිබූ කෑයුතු බුදියයුතුදේ එලෙසින්ම තිබෙනු දැක, ඇයි ආර්යයන්වහන්සේලා නොවැඩිසේක්දැයි අසා ආනන්දතෙරණුවෝ තනියම වැඩිසේක දේවනයන්වහන්සැයි අසා, මගේ මෙපමණ ද්‍ර‍ව්‍ය සම්භාරයක් විනාශ කොළෝයයි භික්ෂූන් කෙරෙහි කිපී බුදුන් ළඟට ගොස්, ස්වාමීනි, මම පන්සීයක් භික්ෂූන් උදෙසා දානය පිළියෙල කෙළෙමි. ආනන්ද හිමියෝ පමණක් වැඩිසේක. පිළියෙල කළ දානය එහෙම පිටින්ම ඉතිරිව ඇත. පන්සීයක් භික්ෂූහු මගේ ගෙදරට දැන්වීමක් නොකළහ. ඊට හේතුව කුමක්දැයි විමසීය.

ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ දෝෂයක් නොවදාරා මහරජ, මගේ ශ්‍රාවකයන් ඔබ හා සම කුළුපග කමක් නැත. එනිසා භික්ෂූන් නොආවා වියහැකියයි පවසා, කුලයන් වෙත යායුතු කරුණුත් නොයායුතු කරුණුත් ප්‍ර‍කට කෙරෙමින් භික්ෂූන් අමතා මේ සූත්‍ර‍ය දේශනා කළසේක. මහණෙනි, අංග නවයකින් යුක්ත කුලයන් වෙත පළමුව නොපැමිණියත් පසුව යාම හෝ නොවටී. දෙවනුව ගියත් එහි වාඩිවී නැවතීමත් වටනේ නොවෙයි. කෙබදු අංග නවයකින්ද? ගෙට යනකල කැමැත්තෙන් නැගී නොසිටිත්ද? කැමැත්තෙන් නොවඳිත්ද, කැමැත්තෙන් අසුන් පනවා නොදෙත්ද, දෙන්ට දෙයක් ඇතත් නැතිබැරිකම් කියා නොදෙත්ද, බොහෝ ඇතත් ටිකක් දෙත්ද, ප්‍ර‍ණීත දේ ඇතත් කටුක දේ දෙත්ද, සකසා නොදෙත්ද, දෙනදෙය වුවත් අපිළිවෙලින් නොසැලකිලිමත් ලෙස දෙත්ද, අනුමෙවෙනි බණ නාසත්ද, මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත මුලින් නොපැමිණියත් පසුව හෝ නොපැමිණිය යුතුය. පැමිණියත් නැවතී හිඳ නොගත යුතුය. මහණෙනි, අංග නවයකින් යුත් කුලයන් වෙත පළමුවෙන් නොපැමිණියත් පැමිණිය යුතුවේ. පැමිණ නැවතී හිඳගැනීම යුතුය. කෙබදු අංග නවයකින්ද? යම් කුලයක්, පවුලක් කරා යනවිට මනාපෙන් හිඳිඅසුන්වලින් නැගිටිත්ද, කැමැත්තෙන් වැඳුම් පිදුම් කෙරෙත්ද, මනාපෙන් අසුන් පනවා දෙත්ද, ඇතිදේ නොසඟවා දෙත්ද, බොහෝදේ ඇතිවිට බොහෝ දෙත්ද, ප්‍ර‍ණීතදේ ඇතිවිට ප්‍ර‍ණීත දේ දේත්ද, සකස් කොටම දෙත්ද නොසකස්ව නොදෙත්ද, අනුමෝදනා බණ කැමැත්තෙන් රැඳී අසත්ද මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත පළමුව නොගියත් යායුතුය. දෙවනුව හෝ යායුතුය. පැමිණ නැවතී හිඳගතයුතුය.

මහරජ මේ කරුණු අනුව මගේ ශ්‍රාවකයෝ ඔබ වෙතින් විශ්වාසයක් නොලබා නොගියා වියහැකියයි වදාළහ. එසේ වදාරා පුරාණ නුවණැත්තෝත් විශ්වාසයක් නොමැති තැන සකස්ව උපස්ථාන කළත්, මරණාසන්න වේදනාවට පැමිණ විශ්වාසික ස්ථානයටම ගියහයි වදාළකල්හි, ස්වාමීනි, ඒ කවදාදැයි ඇසූවිට අතීත කථාවක් ගෙනහැරපෑහ.

අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය හැරදමා ගොස් සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහු අනුව ගොස් තවත් පුරුෂයෝ පන්සීයක්ද පැවිදිවූහ. ඔහු කේසවතාපස නමින් ප්‍ර‍කට විය. ඇඳුම් පැළඳුම් පළඳවන කපුවාද ගොස් පැවිදිව කප්පක නමින් අතවැසි වූයේය. කේසව තවුසා පිරිසත් සමග අටමසක් හිමවත වැස වර්ෂාකාලයෙහි ලුණුඇඹුල්, සේවනය සඳහා බරණැසට අවුත් පිඬුසිඟා ගියේය.

ඉන්පසු බරණැස් රජු ඔවුන් දැක පැහැදී ඉදිරි සිවුමස තමන් සමීපයෙහි වාසයකිරීම පිණිස ප්‍ර‍තිඥා ඇතිකර ගෙන උයනෙහි වාසය කරවා තෙමේ උදේ සවස උපස්ථානයට යයි. අවශේෂ තවුසෝ කීප දනික් සිට ඇතුන්ගේ ශබ්දාදිය ඉවසනු නොහැකිව කළකිරී ආචාර්යයෙනි, අපි කළකිරුණෙමු පිටත්වී යම්හයි කීහ. දරුවෙනි අපි කොහි යන්නෙමුද, ආචාර්යතුමනි, හිමවතට යමු. රජතුමා අප පැමිණි දිනයෙහිම සාරමසක් මෙහි විසීම පිණිස ප්‍ර‍තිඥාවක් ගත්තේය. ඉතින් දරුවනි, කෙසේ යන්නෙමුද, ඔබට අපට නොදන්වාම ප්‍ර‍තිඥා දුන්නෙහිය. අපට මෙහි විසිය නොහැකියි. මේ කිට්ටුව ඔබේ පුවත් දැනගත හැකි තැනක වසන්නෙමුයි වැඳ පිටත්ව ගියහ. කපුඅන්තේවාසිකයා සමග ආචාර්යවරයා නැවතුණේය.

උපස්ථානයට ආ රජු ආර්යයන් කොහේදැයි ඇසීය. මහරජ, කළකිරුණෙමුයි කියා හිමවතට ගියෝය. කපුඅතවැසියාද නොබෝ කලකින්ම කළකිරී ගුරුතුමා යළියළිත් නවතද්දීම සිටිය නොහැකියයි කියා යන්ට ගියේය. අනිත් තවුසන් ළඟට පැමිණ ආචාර්යයන්ගේ තොරතුරු අසාගෙන ළඟම තැනක විසීය. අතවැස්සන් ගැනම සතමන් හුන් ආචාර්යයන්ට පසුකලෙක උදරරෝගයක් හටගත්තේය. රජු වෙදුන් ලවා පිළියම් කරවන නමුත් රෝගය නොසංසිඳිණ. මගේ රෝගය සංසිඳුවීමට ඔබ කැමැත්තෙහිදැයි කේසවතවුසා ඇසීය. ස්වාමීනි, එය මට කළහැකි නම් මේ දැන්මම ඔබට පහසු කරවන්නෙමියි රජු කීවේය. මහරජ මා සනීප කරවනු කැමැත්තෙහි නම් මා මගේ අතවැස්සන් ළඟට යවන්නැයි කීය. රජු ස්වාමීනි, යහපතැයි කියා ඇඳක වැදහොවා නාරද නම් ඇමති ප්‍ර‍මුඛ තවත් ඇමතියන් සිව්දෙනෙකුන් සමග මගේ ආර්යයන්වහන්සේගේ තොරතුරු නිතර දන්වා එවන්නැයි කියා පිටත් කෙළේය.

කපුඅතවැස්සා ගුරුතුමා එන බව අසා පෙරගමන් කොට අනිත් අය කොහේදැයි ඇසූ කල අසවල් තැන වසතියි කීවේය. ඒ තවුසෝත් ගුරුතුමා ආ බව අසා එතැනට එකතුවී ඇදුරුතුමාට උණුවතුර සපයාදී වනඵලාඵලද ගෙනදුන්හ. එකෙණෙහිම රෝගය සංසිඳුණේය. කීප දිනකින්ම තවුස්තෙමේ රන්වන් සිරුරු ඇත්තෙකු විය. පසුව නාරද ඇමති මෙසේ ඇසීය:

හැම සම්පත් ඇති රජසැප හැරදා

කේසී කොහොමද ඔබ තුටු වන්නේ

කපුවා සමගින් දිවිය ගෙවන්නේ

වනඅසපුව කෙලෙසද සිත් ගන්නේ

සිත් අලවන ගස් වැල් මෙහි බොහොමයි

එයින් ගතත් සිත පිබිදී යයි

කපුවාගේ සුමිහිරිවූ වචනය මනෝරමයි සිත් සනසාලයි

මේ ඈ කරුණින් නාරද මැතිසඳ මගේ සිතේ රමණය වැඩිවෙයි

සුවදින් මුසු ඇල්හාලේ බත් කා

පිරිසිදු මස් ඈ අහරින් ගත කළ

ඌරුහැලින් හා ලුණු නැති අහරින්

කෙසේද ඔබ දිවි ගතවෙන්නේ

මිහිරිම හෝ අමිහිරි හෝ වේවා ටිකක්ම වූ හෝ බොහෝවුණත්

විස්වාසෙන් යම්දෙයක් බුදිනු නම් ඒ විස්වාසය පරම රසයි

ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරපා ජාතකය සසඳමින් එකල රජු මොග්ගල්ලානය. නාරද සාරීපුත්‍ර‍ය. කපුඅතවැසියා ආනන්දය. කේසවතාපස නම් මමමයයි වදාරා, මහරජ මේ ආකාරයෙන් අතීතයේද, පණ්ඩිතයෝ මාරාන්තික වේදනාවට ප්තව විශ්වාසික ස්ථානවලටම ගියාහුය. මගේ ශ්‍රාවකයෝ ඔබ හමුවෙහි විශ්වාවසය නොලබතියි සිතමියි වදාළහ. රජු භික්ෂුසංඝයා සමග මා විශ්වාස වියයුතුයි. එය කරන්නේ කෙසේදැයි සම්මාසම්බුදුන්ගේ ‍ඥාතිදුවණියක් මගේ ගෙදර නවත්වා ගතයුතුයි. එසේකල ළදරු සාමණේරවරුද මා සම්මාසම්බුදුන්ගේ නෑරජෙකියි මා සමග විශ්වාසවන්තව නිරන්තරයෙන්ම එන්නාහුයයි සිතා මට එක් දුවණියක් දෙව්යයි ශාක්‍යයන් වෙත පණිවුඩ යැවීය. කිනම් ශාක්‍යයාගේ දුවණියද යන්න දැනගෙන එව්යයි දූතයන්ට අණ කෙළේය. දූතයෝ ගොස් ශාක්‍යදුවණියක ඉල්ලූහ.

ඔවුහු එකට රැස්වී, මේ රජු පක්ෂබල ඇති කෙනෙකි. ඉදින් නොදී සිටියොත් අප විනාශකර දමනු ඇති. අපේ කුලය හා සමාන නොවූවත් මෙය කෙසේ හෝ කළ යුත්තකියි සිතූහ. මහානාම නම් ශාක්‍යරජු, මගේ දාසියගේ කුස උපන් වාසභඛත්තියා නම් දුව රූපයෙන් අගතැන්පත්ව සිටී. ඈ දෙමුයයි කියා දූතයන්ට මෙසේකීය. හොඳයි රජුට දැරියක් දෙන්නෙමු. ඈ කාගේ දුවක්ද? සම්මාසම්බුදුන්ගේ සුළුපියාගේ පුත් මහානාම ශාක්‍යයාගේ දුවූ වාසභඛත්තියා නමැත්තියයි. දූතයෝ ගොස් රජුට එපවත් දැන්වූහ. රජු ඉතින් එය මැනවි. වහා කැඳවාගෙන එවු. ක්ෂත්‍රියයෝ නම් බොහෝ මායා ඇත්තෝය. දාසී දුවක් වුවද එව්වොත්?යි පියා සමග එකම භාජනවල ආහාර අනුභවකරන්නියක ගෙන එවුයයි දූතයන් යැවීය.

ඔවුහු ගොස් දේවයන්වහන්ස, ඔබ සමග එකට ආහාර ගන්නා දුවණියක් රජු කැමති වන්නේයයි දැන්වූහ. මහානාම, දරුවනි යහපතැයි ඈ සරසවා තමන් ආහාර ගන්නා වේලාවෙහි කැඳවා ඈ සමග එකට ආහාර ගන්නාබව පෙන්වා දූතයන්ට භාරදුන්නේය. ඔවුහු ඈ කැටුව සැවතට ගොස් ඒ පුවත රජුට දැන්වූහ.

තුටුපහටුවූ රජු ඈ ස්ත්‍රීන් පන්සීයකට නායිකා කොට අග්‍ර‍මහේෂිකා තනතුරෙහි අභිෂේක කෙළේය. ඈ නොබෝ දිනකින් රන්වන් පුතකු වැදුවාය. ඔහුට නම්තබන දිනයෙහි රජු තමන්ගේ මවගේ මව ළඟට පුතා යැවීය. ශාක්‍යරාජ්‍ය දුහිතෘ වාසභඛත්තියා පුතකු වැදුවාය. ඔහුට නමක් තැබියයුතුය. එය දන්වා එවන්නැයි හසුනක්ද යැවීය. ඒ හසුන ගෙන ගිය ඇමතියා මදක් බිහිරි තැනැත්තෙකි. ඔහු ගොස් මිත්තනියට දැන්වීය. ඈ ඒ අසා වාසභඛත්තියා පුතුන් නොවදත් සියලු ජනයන් අභිභවා සිටී. දැන් ඈ රජුන්ට අතිශයින්ම වල්ලභ වන්නේයයි කීවාය. බිහිරි ඇමතියා වල්ලභ යන වචනය බාගෙට අසා, එය විඩුඩහයයි සලකාගෙන රජුන් වෙත ගොස් දේවයන්වහන්ස, කුමරාට විඩුඩහ කියා නම් කරන්නැයි දන්වා සිටියේය.

රජු එය තම කුලසන්තක පුරාණ නමක් වියයුතුයයි සිතා පුතාට විඩුඩහ යන නම තැබීය. ඉන්පසු ළමාකාලයේදීම ඔහු බුදුරදුන්ට ප්‍රියයෙකු කරනු කැමැත්තෙන් සෙන්පති තනතුරෙහි පිහිටුවීය. ඔහු කුමාරපෙරහරින් වැඩී සත්වයස් සපිරිකල, අනිත් දරුවන්ට මවුකුලයෙන් ඇත් රූප අශ්වරූපාදිය තෑගි වශයෙන් ගෙනඑනු බලා මෑණියන්ගෙන් මෑණියනි, අනිත් කුමාරවරුන්ට ඇත් අස් ආදි රූප පණිවුඩකරුවෝ ගෙන එති. මට කවුරුවත් එවැනි කිසිවක් නොඑවති. ඇයි ඔබට මවුපියන් නැද්දැයි ඇසීය. ඉන්පසු ඈ, දරුව ඔබේ ශාක්‍යරජදරුවෝ, මීමුත්තෝ බොහෝ දුර සිටිත්. ඔවුන් යම් යම් දේ එවනවා ඇතැයි කුමරා වංචාවෙන් රඳවා ගත්තාය. සොළොස් වයස්වූ පසු, මෑණියනි, ඔබේ මීමුතු කුලිකයන් දකිනු කැමැත්තෙමියි කීය. පුත, වැඩක් නැහැ. එහි ගොස් කුමක් කරන්ටදැයි වළක්වන නමුදු නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඉන්පසු ඈ එසේනම් යන්නැයි පිළිගත්තාය. ඔහු පියාටද දන්වා මහත්පිරිවර සහිතව පිටත්විය.

වාසභඛත්තියා කුමරා එහි යෑමට පෙරාතුව, මම මෙහි සුවසේ රැකෙමින් වසමි. මේ එන කුමරාට ස්වාමිදරුවන් විසින්, කිසිම තොරතුරක් නොදන්වන්නැයි ලිපියක් යැව්වාය. ශාක්‍යයෝ විඩුඩහගේ පැමිණීම ගැන අසා අපට වැඳිය නොහැකියයි කුමරාට වයසින් බාල කුමාරවරු ජනපදයට යවා විඩුඩහ කපිලපුරයට පැමිණිකල සන්ථාගාරයෙහි රැස්වූහ. කුමරා එහිගොස් සිටියේය. ඉන්පසු ඔහුට, දරුව මේ ඔබගේ මවගේ මවය, මේ මාමායයි කීපසු ඒ සියල්ලන්ටම වඳිමින් ගොස් තමන්ට වඳින එක් කෙනෙක් හෝ නොදැක, ඇයි මට වඳින්නෙක් නැද්දැයි ඇසුවේය. බාල ශාක්‍යකුමාරවරු ජනපදවලට ගොස් ඇතැයි කියා ඔහුට මහත්වූ සත්කාර කළාහුය. කුමරා කීපදිනක් එහි සිට සපිරිවරින් නික්මුණේය. ඉන්පසු එක් දාසියක් සන්ථාගාරයෙහි කුමරා සිටි ඵලකය ගෙන මෙය වාසභඛත්තියා දාසියගේ පුතා හිඳගත් පුවරුවයිය බැණබැණ කිරිදියෙන් සෝදයි.

ඉක්බිති එක් ආරක්ෂක පුරුෂයෙක් බැරිවීගිය තමන්ගේ ආයුධ සොයා යන අතර එහි නැවතී එය ගන්නා අතර ඒ විඩුඩහ කුමරාට බණින ශබ්දය අසා ඒ ගැන දාසියගෙන් අසා, කුමරා මහානාම ශාක්‍යයාට දාව වාසභඛත්තියා දාසියගේ කුස උපන් බව දැන බලහමුදාවට ඒ බව දැන්වීය. වාසභඛත්තියා දාසී දුවණියකැයි දැනගත්විට මහා කෝලාහලයක් ඇතිවිය. කුමරා ඒ අසා මොවුහු මා හිඳගත් පුවරුව කිරිදියෙන් සෝදති. මම රාජ්‍යයෙහි පිහිටිකල මොවුන්ගේ ගලලෝහිතයෙන් මගේ හිඳිනා පුවරුව සෝදවන්නෙමියි සිතාගත්තේය. ඔහු සැවැත්නුවරට ගියකල්හි ඇමතියෝ ඒ පුවත රජුට දන්වා සිටියහ. රජු මට දාසියකගේ දුවක් දුන්නාහුයයි ශාක්‍යයන් කෙරෙහි කිපී වාසභඛත්තියාවටත් පුතාටත් දුන් සැලකිලි කඩාදමා දාසදාසියන්ට ලැබියයුතු දේ පමණක් දෙවීය.

ඉන් කීපදිනකට පසු බුදුරජාණන්වහන්සේ රජමාලිගයට ගොස් වැඩහුන්සේක. රජු අවුත් වැඳ, ස්වාමීනි, නුඹවහන්සේගේ නෑදෑයෝ මට දාසිදුවණියක් දුන්නාහුය. එනිසා මම ඔවුන්ට දුන් සැලකිලි කඩකොට දාසදාසියන්ට ලැබියයුතු දේ පමණක් දෙවීමියි කීවේය. ශාස්තෘන්වහන්සේ, මහරජ, ශාක්‍යයන් විසින් කරනලද්දේ අයුක්තියකි. දෙන්නාහුනම් සමජාතිකයන් දියයුතුය. ඒ ගැන මම මෙසේ කියමි. වාසභඛත්තියා ක්ෂත්‍රිය රජකුගේ ගෙහි අභිෂේක ලැබුවාය. විඩුඩහත් ක්ෂත්‍රිය රජකුටම දාව උපන්නේය. මවු පක්ෂයේ ගෝත්‍ර‍ය කුමක් කරන්ටද? පියපක්ෂයේ ගෝත්‍ර‍යම ප්‍ර‍මාණවත්ය. පැරණි නුවණැත්තෝ දර විකුණා ජීවත්වන දිළිඳුස්ත්‍රියකට අගමෙහෙසුන් තනතුරු දුන්නාහුය. ඇගේ කුස උපන් කුමරා දොළොස්යොදුනක්වූ බරණැස රාජ්‍යයට පැමිණ කට්ඨවාහන නම් වීයයි කට්ඨහාරිජාතකය වදාළහ. ඒ දහම් කථාව අසා පීතෘගෝත්‍ර‍යම වුවත් ප්‍ර‍මාණවත්යයි සතුටුව මවුපියන්ට උචිත සැලකිලිම දෙවීය.

කුසිනාරාවේ බන්ධුලසේනාපතිගේ මල්ලිකාදේවියගේ දුවණියවූ මල්ලිකා නම් භාර්යාවද බොහෝ කල් ගතවීත් නොවැදුවාය. ඉන්පසු බන්ධුල තමන්ගේ කුලගෙයටම යන්නැයි පිටත්කෙළේය. ඈ බුදුන් දැක යන්නෙමියි දෙව්රමට ගොස් බුදුන් වැඳ සිටිකල්හි. බුදුහු කොයි යන්නීදැයි ඇසූවිට ස්වාමීනි, මගේ සැමියා මා කුලගෙදරට යවන්නීයයි කීවාය. කුමක් නිසාද? මම පුතුන් නොලබන වඳ එකියක්මි ඒ නිසාය. කාරණය එය නම් යාමට වුවමනාවක් නැත, නැවතුවයි වදාළහ. ඈ තුටුසිතින් බුදුන් වැඳ ආපසු රජමාලිගාවට ගියවිට නැවතුණේ ඇයිදැයි ඇසූකල දසබලයන්වහන්සේ මා නැවැත්වූහයි කීවාය. බන්ධුල තෙම, දුරදිග දක්නා බුදුන් විසින් යම්කිසි කරුණක් දකින්නට ඇතැයි සිතා භාරගත්තේය.

ඕතොමෝ නොබෝ කලකින්ම ගැබක් පිහිටා උපන් දොළදුකක් නිසා මට දොළදුකක් ඇතිවීයයි දැන්වූවාය. ඒ දොළදුක කුමක්ද? වේසාලී නගරයේ ගණරාජකුලයේ අයගේ අභිෂේකයේදී පැන් ගන්නා පොකුණට බැස නහා එයින් පැන් ටිකක් බීම ඒ දොළදුකයයි කීවාය.

බන්ධුල යහපතැයි පිළිගෙන දහසක්දෙනා ඔසවන දුන්න ගෙන එය රථයකට නංවා සැවැත්නුවරින් පිටත්ව රථය පදවාගෙන ගොස් මහාලි නම් ලිච්ඡවි විසින් දෙනලද දොරටුවෙන් වේසාලියට පිවිසියේය. මහාලි ලිච්ඡවිගේත් නිවස ඒ දොරටුව සමීපයෙහිම විය. හෙතෙම රථය එළිපත්තේ වැදුණු ශබ්දය අසා බන්ධුලගේ රියහඬ අද ලිච්ඡවීන් භය උපදවන්නේයයි කීය. පොකුණ ඇතුළතිනුත් පිටතිනුත් ආරක්ෂාව බලවත්ය. උඩින් වසා ඇති ලෝහමය දැල නිසා ප්කෂියෙකුටවත් යාමට ඉඩක් නැත. බන්ධුල සේනාපති රථයෙන් බැස ආරක්ෂකයන්ට වේවැලින් පහර දෙමින් ඔවුන් පලවාහැර ලෝහමය දැල සිඳදමා පොකුණ ඇතුළත භාර්යාව නහවා තමාත් නාගෙන නැවත රථයට නංවා නගරයෙන් නික්මී ආමගින්ම ආපසු ගියේය.

ආරක්ෂකයෝ ගොස් එය ලිච්ඡවීන්ට දැන්වූහ. කිපීගිය ලිච්ඡවී රජවරු පන්සීයක් රථවලට නැගී බන්ධුලමල්ලයා අල්වා ගනිමුයයි නික්මුණාහුය. ඒ පුවත මහලී ලිච්ඡවිටද දැන්වූහ. හෙතෙම, නොයව්, ඔහු ඒකාන්තයෙන් තොප සියල්ලන් මරාදමනු ඇතැයි කීවේය. ඔවුහු යන්නෙමුයයිම කීවාහුය. එසේ නම් ඔහුගේ රථයේ රථනාභිය පොළොවේ ගිළීගිය තැන් දැක එහිදී නැවතියව්. එතනදීත් නොනවතිව්නම් ඉදිරියේදී හෙණ ගසන්නාක් වැනි ශබ්දයක් ඇසුණුවිට එතැනදී නවතිව්. එතනදීත් නොනවතිව් නම් තොපගේ රථ පන්සීයේ වියසිදුරු එකඑල්ලේ සිටිනු දුටුවහොත් එතනදී නවතුව. එතැන නම් පසුකර නොයායුතුමයයි කීවේය.

ලිච්ඡවීහු ඔහුගේ වචනයෙන් නොනැවතී බන්ධුල ලුහුබැන්දාහ. මල්ලිකා ඒ දැක රථ සමූහයක් පෙනෙන්නේයයි කීවාය. එසේනම් එකරථයක් සේ පෙනෙනකලට දන්වවයි කීවේය. ඕතොමෝ සියලුරථ එකක්සේ පෙනෙනවිට එය දැන්වූවාය. එසේනම් මේ (තෝන්) ලණු අල්ලාගනුවයි ඒ ලණු ඈට භාරකොට රථයේ සිටම දුන්න නගාගත්තේය. ඒ රථයේ රෝද නාභිය දක්වා පොළොවේ ගිලීගියේය. ලිච්ඡවීහු එතැන දැකදැකත් නොනැවතුණාහ. බන්ධුල මද දුරක් ගොස් දුනුදිය (දුන්නේ ලණුව) ඇද පොලාපීය. හෙණ ගසන්නාක් වැනි හඬක් නිකුත්විය. ලිච්ඡවීහු එයිනුදු නොනැවතුණහ. ලුහුබඳිද්දීම බන්ධුල රථයේ සිටගෙනම එක් ඊයක් විද්දේය. ඒ ඊය පන්සීයක් රථවල රියහිස් සිදුරුකරගෙන ගොස් සන්නාහලාගෙන සිටි පන්සියය්ක රජදරුවන්ද විද පොළොවට පිවිසියේය. ඔවුහු තමන්ට විද්ද බව නොදැන එම්බල නැවතුව, එම්බල නැවතුවයි කියමින් ලුහුබැන්දාහුමය. බන්ධුල, තෙපි මියගොස්ය, මැරුණවුන් සමග මම යුද්ධ නොකරමියි කීහ. මැරුණවුන් අපවගේ සිටිත්ද? එසේ නම් සියල්ලන්ට පෙරටුව සිටින්නාගේ සන්නාහය මුදවයි කීහ. ඔවුහු සන්නාහය ගැළවූහ. එය මුදනවාත් සමගම ඔහු මැරී වැටුණේය.

ඉන්පසු බන්ධුල ඔවුන් අමතා, තොප සියලුදෙනාත් මේ වගේමය. එනිසා තමතමන්ගේ ගෙවල්වලට ගොස් සංවිධානය කටයුතු දේ සංවිධාන කොට අඹුදරුවන්ට අවවාදදී සන්නාහ මුදාහරිව්යයි කීවේය. ඔවුහු එසේ කොට සියලුදෙනාම ජීවිතක්ෂයට පත්වූහ. බන්ධුල, මල්ලිකාවන් සැවැත් නුවරට රැගෙන ගියේය. ඕතොමෝ සොළොස්වරකදී පුතුන් දෙතිසක් බිහිකළාය. ඒ සියල්ලෝම ශූර ශක්තිමත් අය වූහ. සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූහ. එක්කෙනාට පිරිවර දහස බැගින් විය. පියා සමග රජමාලිගයට යන ඔවුන්ගෙන්ම රාජාංගනය පිරීගියේය.

දිනක් විනිශ්චයශාලාවේ වංචාවෙන් පරාජය ලැබූ මිනිස්සු බන්ධුල එනු දැක මහ හඬින් කෑගසමින් විනිශ්චය ඇමතියන්ගේ වංචා සහිත විනිශ්චයකිරීම දන්වා සිටියහ. බන්ධුල විනිශ්චයට ගොස් ඒ වංචාව නිරාකරණය කොට දඬුවම් ලැබිය යුත්තාටම දඬුවම් හිමි කෙළේය. එය දුටු මහාජනයා මහහඬින් සාධුකාර පැවැත්වූහ. රජු ඒ කිමෙක්දැයි අසා එකරුණ දැන ප්‍රීතිවී ඒ සියලු ඇමතියන් පහකොට බන්ධුලටම විනිශ්චයකිරීම භාරකෙළේය. ඔහු එතැන් පටන් මැනවින් නඩු විභාගකෙළේය. ඒ පැරණි විනිශ්චයකරුවෝ අල්ලස් නොලැබ ලාභ අඩුවී ගොස් බන්ධුල රාජ්‍යය බලාපොරොත්තු වෙතියි බොරු කියා රාජකුලය හා තිබුණු සම්බන්ධතා බිඳ දැමූහ. රජු ඔවුන්ගේ කථා අසා සිත පාලනය කරගතනොහී මොහු මෙහිදීම මරා දැමුවහොත් ගර්හා ඇතිවිය හැකියයි නැවත සිතා තමන්ම යෙදූ පුරුෂයන් මගින් ප්‍ර‍ත්‍යන්තයට පහරදී, ප්‍ර‍ත්‍යන්තය කිපී ඇත. ඔබේ පුතුන් සමග ගොස් ඒ සොරුන් අල්වාගෙන එවයි එහි යවා, එහිදීම මොහුගේත් දෙතිසක් පුතුන්ගේත් හිස් සිඳගෙන එවයි ඔහුත් සමගම තවත් සමර්ථ මහායෝධයනුත් යැවීය.

ඔවුහු ප්‍ර‍ත්‍යන්තයට යනවාත් සමගම බන්ධුල සේනාපති එන්නේයයි යොදාසිටි සොරු පලාගියහ. හෙතෙම එපෙදෙස සොර බියෙන් පලාගියවුන් ගෙන්වා නවත්වා නගරයට එන්ට පටන්ගත්හ. නුවරට නුදුරු තැනක රැඳීසිටි යෝධයෝ පුතුන් දෙතිසක් සමග බන්ධුලගේත් හිස් සිඳ දැමූහ. එදින මල්ලිකා දෙඅගසවුවන් ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කොට සිටියාය. එදින උදය වරුවේම, ඔබේ සැමියාත් සමග පුතුන්ගේ හිස් සිඳදමනලදැයි, හසුනක් ගෙනවුත් දුන්හ. ඈ එපුවත අසා දැන කාටවත් කිසිවක් නොකියා හසුන ඉණ තබා භික්ෂුසංඝයා වැළඳවූවාය. ඉන්පසු ඇගේ පිරිවර ස්ත්‍රීහු භික්ෂූන්ට ආහාරදී ගිතෙල්සැළි ගෙන එනවිට තෙරුන් ඉදිරියේ වැටී බිඳිණි. ධම්මසේනාපති අනඳ හිමියෝ බිඳෙනසුලු දේ බිඳිණි. ඒ ගැන නොසිතන්නැයි කීහ.

ඕතොමෝ ඉණෙන් හසුනක් ගෙන දෙතිසක් පුතුන් සමග පියාගේ හිස සිඳිනලදැයි මොවුහු මේ හසුන ගෙනආහ. මම ඒ අසාත් ඒ ගැන නොසිතුවෙමි. ගිතෙල් හැළියක් බිඳුණේයයි මොනවා සිතන්ටද ස්වාමීනියි කීවාය. ධම්මසේනාපති හිමියෝ, අනිමිත්තමනඤ්ඤාතං ආදියෙන් දහම් දෙසා අසුනින් නැගිට විහාරයට වැඩියහ. ඈද දෙතිසක් යෙහෙළියන් කැඳවා නුඹලාගේ සැමියෝ නිරපරාධයහ. තමන් පෙරකළ කර්‍මවල විපාක ලැබුවාහ. ඔබ ඒ ගැන සිතා දුක් නොවන්න. ඒ රජුන් කෙරෙහි සිත් දූෂ්‍ය කරනොගන්නැයි අවවාද කළාය.

රජුගේ චරපුරුෂයෝ ඒ කථාව අසා ගොස් ඔවුන්ගේ නිදොස්බව රජුට කීවාහුය. රජු සංවේගයට පැමිණ ඇගේ නිවෙසට ගොස් මල්ලිකා හා යෙහෙළියන්ගෙන් සමාව ඉල්ලා, මල්ලිකාට වරයක් දුන්නේය. ඈ එය පසුව ගතයුත්තක් කොට තබා, ඔහු ගිය පසු මතකබත්දී නාගෙන රජුන්වෙත පැමිණ, දේවයිනි, ඔබ මට වරයක් දුන්නෙහිය. මට වෙනත් දෙයකින් ප්‍රයෝජනයක් නැත. මගේ දෙතිසක් යෙහෙළියන්ට ඔවුන්ගේ ගෙදරටම යන්ට අනුමතය දෙනු මැනවි. රජු එය භාරගත්තේය. ඒ දෙතිසක් පමණ යෙහෙළියෝ තමතමන්ගේ ගෙවල්වලට යැවූහ. මල්ලිකා කුසිනාරාවේ තමන්ගේ ගෙදරට ගියාය.

රජු බන්ධුල සේනාපතිගේ බෑණාවූ දීඝකාරායණට සේනාපති තනතුර දුන්නේය. හෙතෙම මොහු මගේ මාමා මරා දැමුවේ යයි රජුගේ ප්‍ර‍මාද අවස්ථාවක් සොයමින් සිටියේය. රජුද නිරපරාධ බන්ධුල මියගියදා පටන් විපිළිසරට පැමිණ, සිතේ ප්‍රීතියක් නැතිව රජසැප නොවින්ඳේය. එකල ශාස්තෘන්වහන්සේ ශාක්‍යයන්ගේම උලුම්ප නම් නියම්ගම ඇසුරුකොට වාසයකරනසේක. රජු එහි ගොස් ආරාමය සමීපයෙහි කඳවුරු බැඳ මද පිරිවරකින් යුක්තව බුදුන් වඳින්නෙමියි විහාරයට ගොස් පංචරාජකකුධභාණ්ඩ දීඝකාරායණටදී තනිවම ගඳකිළියට පිවිසියේය. සෙසු විස්තර ධම්මචේතිය සූත්‍ර‍ය අනුසාරයෙන් දැනගත යුතුය. රජු ගඳකිළියට පිවිසිකල්හි කාරායණ ඒ රාජකකූධභාණ්ඩ රැගෙන විඩුඩහ රාජ්‍යයෙහි පිහිටුවා, මේ රජුට එක් අශ්වයෙක්ද, එක් උපස්ථායිකා ගැහැණියකද නවතා සැවැත්නුවර බලා ගියේය.

රජු ශාස්තෘන්වහන්සේ සමග සතුටුසාමීචි කථාකොට එලියට අවුත් සේනාව නොදැක ඒගැන මාගමගෙන් අසා එපුවත දැන, මගේ බෑණනුවන් වූ (අජාසත්) කැඳවාගෙන විඩුඩහ අල්වා ගන්නෙමියි රජගහනුවරට යන්නේ විකාලයෙහි දොරවල් වසා ඇති බැවින් නුවරට පැමිණ එක්තරා ශාලාවක නිදා සිට අව්වැසිවලින් ක්ලාන්තවී රාත්‍රියේම මියගියේය. රාත්‍රිය පහව ගිය පසු, කොසොල්නරනිඳු අනාථවීයයි, විලාපනගන ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා රජුට දැන්වූහ. හෙතෙම මාමාවූ රජුගේ මෘතශරීරය මහත්වූ සත්කාරයෙන් දවාපීය.

විඩුඩහද රාජ්‍යය ලබා ඒ වෛරය සිහිකොට සියලු ශාක්‍යයන් මරන්නෙමියි මහත්වූ සේනා සහිතව නික්මුණේය. එදින බුදුහු උදෑසන ලෝකය බලන්නාහු නෑසමූහයාගේ විනාශය දැක නෑයන්ට සංග්‍ර‍හ කිරීම උචිතයයි සිතා උදේ වරුවේ පිඬු පිණිස වැඩමවා පිණ්ඩපාතයෙන් පසු ගඳකිළියෙහි සිංහශය්‍යාවෙන් මදක් සැතපී සවස්වරුවේ අහසින් වැඩමවා කිඹුල්වත්පුර එක් තුනීසෙවන ඇති රුකක්මුලක වැඩහුන්සේක.

එයින් මදදුරක් ගියතැන විඩුඩහගේ රාජ්‍ය සීමාවෙහි ඝනව වැඩුණු මහනුගයක් විය. විඩුඩහ බුදුන් දැක ළඟට අවුත් වැඳ ස්වාමීනි, කුමක් නිසා මෙබඳු මේ උණුසුම් වේලාවේ මේ තුනීසෙවන ඇති ගසමුල වැඩසිටින සේක්ද? මේ ඝනසෙවන ඇති නුගරුකමුල වැඩසිටිනු මැනවැයි කීවේය. මහරජ, එසේවේවා, එහෙත් නෑයන්ගේ සෙවන ඊටවඩා සිසිල්යයි වදාළ කල්හි, නෑයන් රැකගැනීමට බුදුන්වහන්සේ වැඩියා විය හැකි යයි සිතා, බුදුන් වැඳ නැවතී ආපසු සැවැත් නුවරටම ගියේය. ශාස්තෘන්වහන්සේ නැගිට ජේතවනාරාමයටම වැඩිසේක.

විඩුඩහ රජ දොස් සිහිකොට දෙවෙනි වරටත් පිටත්ව ගොස් බුදුන්වැඳ නැවතද නැවතුණේය. තෙවෙනි වරත් පිටත්ව ගොස් බුදුන් දැක නැවතුණේය. සතරවෙනිවර ඔහු පිටත්වූ කල ශාස්තෘන්වහන්සේ ශාක්‍යයන්ගේ පූර්වකර්මයන් දැක ඔවුන් ගංගාවකට විෂ මිශ්‍ර‍ කිරීමේ පාපකර්මය නැවැත්විය නොහැකි බව දැනගෙන සතරවෙනි වර එහි නොවැඩියහ. විඩුඩහ ශාක්‍යයන් වනසා දමන්නෙමියි මහත් බලසේනා රැගෙන පිටත්විය.

සම්මාසම්බුදුන්ගේ නෑයෝ ආයුධවලින් සෙස්සන් ඝාතනය කරන්නෝ නොවෙත්, තමන් මරාදැමුවත් අනුන් දිවි තොරකරන්නෝ නොවෙත්. එහෙයින් ඔවුහු, අපි දුනුශිල්පයෙහි පුරුදු, නිපුණ මහා ධනුර්ධරයෝ වෙමු. එහෙත් අප විසින් අනුන් මරාදැමීම කළ නොහැකිය. අපේ දස්කම් පෙන්වා පලවා හරිමුයයි සිතූහ. ඔවුහු සන්නාහ සන්නද්ධව පිටත්ව අවුත් යුද්ධය ආරම්භ කළහ. ඔවුන් විසින් විද හරිනලද ඊතල විඩුඩහයන්ගේ මිනිසුන් අතරින් යයි. පුවරු මැදින් කන්සිදුරු ආදිය මැදින්යයි. ඒ දුටු විඩුඩහ එම්බා සගයෙනි, ශාක්‍යයෝ අපි අසත්ථඝාතකයම්හයි කියති. එය එහෙම වුණත් ඔවුහු මගේ මිනිස්සු මරති.

ඉන්පසු එක් මිනිසෙක් විඩුඩහට මෙසේ කීය. කිම ස්වාමීනි, ඔබ නැවතී එය බැලුවෙහිදි? ශාක්‍යයෝ මගේ මිනිසුන් නසතියි කියන්නේ ඇයි? ඔබගෙන් කිසිම පුරුෂයෙක් මැරුණ් නම් නැත. එය බාර නොගන්නෙහි නම් ගණනය කරවන්න. ගණන් කර බලන විට එකෙක් හෝ අඩුනොවීය. විඩුඩහ නැවතී, සගයෙනි, යමෙක් අපි ශාක්‍යයම්හයි කියත්ද, ඒ සියල්ලෝ ඉතිරි නොකර මරා දමව්. මගේ මුත්තණුවන්වූ මහානාම ශාක්‍යයන් ළඟ හුන් අයට ජීවිත දානය කරවු. ශාක්‍යයෝ අල්වාගැනීමට යමක් නොලැබ සමහරු තණපඳුරුද, තවත් සමහරු හුණදඬුද අල්ලාගෙන සිටියහ. තෙපි ශාක්‍යයන් නොවේදැයි ඇසූවිට, දිවිගියත් මුසාවාද නොකියන හෙයින් සත්‍යය කියති. තෙපි ශාක්‍යයෝද නැද්දැයි ඇසූ විට මරතත් බොරු නොකියන හෙයින් මේ ශාක්‍යයෝ නොවෙත්. තණයයි කියති. උණදඬු අල්ලා සිටියවුන් මේ ශාක්‍යයෝ නොවෙත්, උණදඬුයයි කියති. ඔවුනතර මහානාම ළඟ සිටි අය ජීවිතය ලැබූහ. ඔවුන්ගෙන් තෘණ ඩැහැගෙන සිටියවුන් ශාක්‍යයෝ නොවෙතියි කීනිසා ඔවුහුද, උණදඬු අල්ලා සිටිය අයද ජීවිත ලැබූහ. තණ ඩැහැගත්තවුන් තෘණශාක්‍ය යයිද උණදඬු (නළ) අල්ලාගෙන සිටියවුන් නළශාක්‍යයනැයිද නම් ලැබූහ.

සෙසු කිරිබොන ළදරුවන්ගේ පටන් අත් නොහැර ඝාතනය කරමින් ලේගඟක් කොට ඔවුන්ගේ ගළලෝහිතයෙන් ඉඳගන්නා පුවරුව සෝදවාලූහ. මෙසේ ශාක්‍යවංශය විඩුඩහ විසින් සමූලඝාතනය කරන ලදි. හෙතෙම මහානාම ශාක්‍යයන් කැඳවාගෙන යනගමන් උදේ ආහාර ගන්නා වේලාවෙහි ආහාර ගන්නෙමියි එක් තැනක නැවතී බත්ගෙන ආ විට එක්ව කන්නෙමුයයි මුත්තාද එහි කැඳවීය. ක්ෂත්‍රියයෝ ජීවිතය ගියත් දාසීපුතුන් සමග එකට ආහාර නොබුදිත්, එහෙයින් මහානාම එක් විලක් දැක ඇඟ කිලිටිව ගොස් ඇත. පළමුකොට නාගන්නෙමියි කීය. ආර්‍ය්‍යයෙනි. මැනවි නහනු මැනවි. හෙතෙම මොහු මා සමග එක්ව ආහාර නොගනිතියි සිතා, මා මරා දමන්නේය, තමන්ම සියදිවි නසා ගැනීම යහපතැයි කෙස් මුදා එහි අග එක් ගැටයක් ගසා කෙල් පා ඇගිලිවල රඳවා දියෙහි ගිළුණේය. ඔහුගේ ගුණතෙදින් නාගලෝකය උණුසුම් ආකාරයක් ගත්තේය. නාරජු මේ කිමෙක්දැයි විමසා බලා ඔහු සමීපයට අවුත් ඔහු පෙණය මත තබාගෙන නාගහවනයට ප්‍ර‍විෂ්ඨ කරවීය.

හෙතෙම දොළොස් වසරක් එහිම විසීය. විඩුඩහ මගේ මුත්තා දැන් එතියි දැන්එතියි හිඳ ඔහු පමාවන හෙයින් ගෙදර සොයාබලවා පහන් එලියෙන් අන් අයගේ රෙදි අතර පවා බලවා නොදැක ඔහු යන්ට ඇතැයි ගියේය. හෙතෙම රාත්‍රි භාගයෙහි අචිරවතී ගඟ ළඟට පැමිණ එහි කඳවුරු බැඳ නැවතුණේය. සමහරු ගඟතුළ වැලිතලා මත්තෙහි වැදහොත්හ. සමහරු ගොඩ නිදාගත්හ. ගඟතුළ නිදාගත්තවුන් අතර පෙරපව් නොකළ අයදවූහ. පිටත සිටියවුන් අතර පෙර පව් කළවුන්ද වූහ. ඔවුන් නිදාගත් තැන්වල කඩියෝ නැගුණහ. ඔවුහු මා නිදාගත් තැන කඩියෝය, මා නිදාගත් තැන කඩියෝයයි නැගිට පව් නොකළ හෙයින් නැගිට ගොඩට ගොස් නිදාගත්හ. පව්කළ අය ගඟට බැස වැලිතලාවල නිදාගත්හ.

එකෙණෙහිම මහා වැස්සක් තදබල ලෙස වැස්සේය. ගඟේ දියපහර අවුත් විඩූඩහත් සමග පිරිසද මුහුදට ගසාගියේය. සියල්ලෝ එහිදී මත්ස්‍ය කැසුබු ආදීන්ගේ ආහාර බවට පත්වූහ. මේ අතර - මහාජනයා අතර ශාක්‍යයන් මෙසේ කඩුවලින් කොටකොටා මැරීම නුසුදුසුයි කථාවක් හටගත්තේය. මහණෙනි, මේ ආත්මභාවය අනුව නම් ශාක්‍යයන් මැරුණුහැටි එතරම් සුදුසු නැත. එහෙත් ඔවුන් පෙර කළකම් අනුව නම් එය යුතුම ආකාරයෙන් ඔවුන් විසින් ලබාගන්නා ලදැයි වදාළහ. ස්වාමීනි, මොවුන් පෙරකුමක් කරන ලද්දැයි විචාළෝය. මොවුහු එක්වී ගඟකට විෂ දමනලද්දාහුය.

නැවත දිනක දම්සභාමණ්ඩපයේ කථාවක් ඇතිවිය. විඩූඩහ මෙතරම් ශාක්‍යයන් මරා ආවත් තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවී තිබෙද්දීම මෙතරම් පිරිසකුත් සමග මහමුහුදේ මසුන්ටත් කැසුබුවන්ටත් ආහාරයක්වූයේ ඇයිද යනු ඒ කථාවයි. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා කිනම් කථාවක් කරමින් උන්නාහුදැයි විචාරා මෙනම් කථාවකිනුයි දැන්වූ කල්හි, මහණෙනි, මෙලොව සත්වයන්ගේ මනෝරථයන් මුදුන්පත් නොවීම, මරුවා අවුත්, නිදාසිටින ගමක් යටකරගෙන ගසායන මහගංවතුරක් මෙන් ජීවිතින්ද්‍රිය නැසී ගොස් සතර අපාය නමැති මුහුදේ ගිල්වාදමතියි වදාරා මේ ගාථාවද ප්‍ර‍කාශකළහ.

කම්සැපට ගිජුවී එයම සොයමින් ඇවිදින

ඒ ඇලුම් උදෙසා දිවිය කැපකළ මිනිසා

නොතිත් ආශා ඇතිකර එහිම වැනසීයයි

උයනකට ගිය මල්කරු එහෙමෙහ දුවන්නා සේ

නිදනා ගමක් යටකර වතුරෙන් ගසායනසේ

මාරදිය පාරෙන් ගසාගොස් වැනසීයයි

එහි බ්‍යාසත්තමනසං නරං යනු ලැබුණු දෙයෙහි හෝ නොලැබුණු දේවල ලැගී ඇලී සිටින මනසයි. යම්සේ මාලාකාරයෙක් මල්උයනකට පැමිණ මල් රැස්කරන්නෙමියි එයින් මල්නෙලාගෙන තවත් නොයෙක් මල්ගස් දැක සියලු මල් උයන කෙරෙහිම සිත යවයිද, මේ ගසිනුත් මල් ගනිමියි, මේ ගසිනුත් මල් ගනිමියි ඇවිදියිද, හමුවෙන මල්ගස් හැර වෙනත් ගස් කරා සිත යොදවයිද, මෙසේ ඒ ඒ ගස් කෙරෙහි සිත යොදවමින් ප්‍ර‍මාද වෙයිද, මෙපරිද්දෙන් පුද්ගලයා මල්උයනක් වැනි පංචකාමගුණ මැදට බැස මනරම් රූපයක් ලැබී තවත් මනෝරම්‍ය ශබ්ද ගන්ධ රස ස්පර්ශයනුත් දැක විඳ එයින් නොයෙක් දේ ප්‍රාර්ථනා කෙරෙයිද, එයින් කුමක් හෝ ලබාගෙන තවත් එකක් ප්‍රාර්ථනා කරයිද, රූපයක්ම ලැබ අනිකක් ප්‍රාර්ථනා නොකර එයම ආස්වාදය කරයිද, ශබ්දාදිය කෙරෙහිත් එසේම පවතියිද, ගවමහිස දාසිදාස කෙත්වතුගම්නියම්ගම් ආදියෙහිත් මේ නයින්ම හැසිරෙයිද අනගාරික පැවිදි කෙනෙක්වූ විට පිරිවෙන් විහාර පාසිවුරු ආදියෙහි යථෝක්ත ක්‍ර‍මයෙන්ම පවතීද, එසේ කාමගුණ සංඛ්‍යාත වූ මල්ම රැස්කරමින් ලැබූ නොලැබූ දේ ගැන බැඳුණු විසුරුණු සිත් ඇති මිනිසායි.

සුත්තංගාමං යුන ගමක ගෙවල් බිත්ති ආදියේ නිදාගැනීම් වශයෙන් නිදීමක් නැත. සත්වයන්ගේ නිදීම්මාත්‍ර‍ය සුප්ත නම් වෙයි. මෙසේ නිදා සිටින ගමක්, යොදුන් දෙකතුනක් පුළුල් ගැඹුරු මහගංවතුරක් වැනි මාරයා අවුත් ගසාගෙනයයි. ඒ මහ මාරගංවතුර ගෑණුමිනිසුන් ගවමහිසයන් කුකුළන් ආදි කිසිවෙකුත් ඉතිරි නොකර මුළු ගමම ගසාගෙන මුහුදට දමා ඒ සියලු අය මත්ස්‍ය කැසුබුවන්ගේ ආහාර බවට පත්කරයි. එමෙන් බ්‍යාත්සත්ත මනසක් (පස්කම්වල ඇළුණු බැඳුණු සිත) ඇති මිනිසා මරණය නමැති මරුවා අවුත් ඔහුගේ ජීවිතෙන්ද්‍රිය සිඳදමා සතරඅපා මුහුදුවල ගිල්වා දමන්නේය.

දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ. මහජනයාට දේශනාව සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.